2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

ගැටවර වියේ තනිකම් දෝසේ

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 282

තාරුණ්‍යයේ සිටින ඔබේ දරුවා දකින ඔබට හරිම ආඩම්බරයක්. ඔබ වයසට යාමත් සමඟ උස මහතට වැඩුන ඔහු හෝ ඇය ඔබේ මුළු ජීවිතයම කියලා ඔබට හිතෙන්න පුළුවන්. මේ සිතුවිලි ඇතුළෙම ඔබට ලොකු බයක් ඇතිවෙනවා. ඔබගේ බලාපොරොත්තු තුළට ඔහු හෝ ඇය තල්ලු කරගෙන යන්න අපොහොසත් වුණොත් කුමකින් කුමක් වේදැයි සිතාගත නොහැකිව හීන තුළම ඔබ අතරමං වෙනවා. දරුවාගේ ඇතිවන මානසික සහ ශාරීරික වෙනස්කම් නිසි ලෙස අවබෝධ කර නොගැනීම නිසා ඔබ හා දරුවා අතර ඇති සම්බන්ධතාවය බොහෝ විට ගිලිහී යන්නත් පුළුවන්.

ගැටවර වියේ සිටින ඔබේ දරුවාගේ මනස වැඩ කරන ආකාරය පිළිබඳ ටිකක් විමසා බලමු. කිපෙන සුළු බව, නොරුස්නා බව, ඇහුම්කන් නොදීම, විරුද්ධ දේ කිරීමට ඇති ආශාව හා පණ්ඩිතකම, මේ සියල්ල දකින දෙමාපියන් වන ඔබ දරුවාගේ අනාගතය පිළිබඳ ලොකු බියක් ඇතිකර ගන්නවා. ඔහු හෝ ඇය දැඩි ලෙස පාලනය කිරීමට යනවා. සමහර විට ඔහුගේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. අධ්‍යාපනය දෙසට පමණක් තල්ලු කරන ඔහු හෝ ඇය අනෙකුත් සියලු ක්‍රියාකාරකම් වලින් ඈත්කොට හුදෙකලා කරනවා. දෙමාපියන් සහ දරුවන් අතර බොහෝ ඝට්ඨන ඇති වීමට මෙය බලපාන බව දන්නේ අතළොස්සක් පමණි.

ගැටවර විය හෙවත් තවමත් තාරුණ්‍යයට පිවිසෙමින් සිටින දරුවන්ට හැඟීම් පාලනය අපහසු වන්නේ ඇයි?

තරුණ මනස ගැන අපූරු සොයාගැනීම් රාශියක් මේ වන විට විද්‍යාඥයන් සිදු කර තිබෙනවා. ගැටවර විය සහ තරුණ කාලය අවු: 11 සිට 25 දක්වා දිවෙන බව අලුත්ම පිළිගැනීමයි. මේ කාලය තුළ දරුවාගේ පෞරුෂයට අදාළ මොළයේ ඉතාමත්ම වැදගත් කොටසක් තවමත් වර්ධනය වෙමින් පවතින බව නූතන සමීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා. මොළයේ ඉදිරිපස මස්තිෂ්කයේ තියෙන මේ කොටසට කියන්නෙ ‘ෆ්‍රි-ප්‍රොන්ට්ල්’(Pre-frontal cortex) කොටස කියලයි. ප්‍රශ්න විසඳාලීම, තීරණ ගැනීම, තමාගේ සහ අනෙක් අයගේ හැඟීම් හඳුනා ගැනීම, ලිංගික ආශාවන් පාලනය කිරීම වැනි සියලු ක්‍රියාකාරකම් පාලනය කරන්නේ ඉහත කී මධ්‍යස්ථානයෙනි. මේ මධ්‍යස්ථානයට මොළයේ විධායකය කියලත් කියන්න පුළුවන්. අද සමීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ ගැටලුකාරී දරුවන්ගේ මේ ෆ්‍රි-ප්‍රොන්ට්ල් කොටස තවමත් නිසි ලෙස මෝරා ගොස් නොමැති බවයි. හැඟීම්බර සමහර විට ශාරීරික හෝ මානසික තීරණවලට දරුවන් පෙළඹෙන්නෙ ‍මෙන්න මේ හේතුව නිසයි.

නිලූකා අපට හමුවූයේ රෝහල් සායනයේදීය. ඇය ඇගේ මව සහ පියා සමඟ පැමිණ සිටියාය. ඇගේ මව දියවැඩියාවට බොන පෙති විශාල ප්‍රමාණයක් බී ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කර තිබූ ඇයගේ ජීවිතය වාසනාවකට බේරී අප වෙත යොමු කර තිබුණි. නිලූකා ඇගේ කතාව මෙසේ පැවසුවාය. මම O/L හොඳට පාස් වුණා. A/L කරන්න කොළඹ පාසලකට තේරුණා. මගේ පෙම්වතා හමු වුණේ බසයකදි. අපේ සම්බන්ධතාවයට දැන් වසරක් පමණ වෙනවා. අපි වැඩිම වුණොත් හමුවුණු විට විනාඩි 10-15 ක් කතා කරනවා. ඊට වැඩි දෙයක් නෑ. ඒත් දවසක් ලොකු වැරදීමක් මා අතින් වුණා. ඔහු මගේ නේකඩ් ෆොටෝ ටිකක් එවන ලෙස මට ඇවිටිලි කළා. මගේ ප්‍රශ්න කියන්න හිටිය එකම පුද්ගලයා ඔහුයි. ඔහුගේ ඉල්ලීම මට ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. මම ඒ photos යැව්වා. මගේ යාළුවොත් මේ photos දැකලා තියෙනවා. මගේ අම්මයි තාත්තයිත් දැන් මේ ගැන දන්නවා. මට ඔහු ගැන තිබුණ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වුණා. මගේ පියා මට හොඳටම ගැහුව්වා. අම්මා මගෙ මූණ බලන්නෙත් නෑ. අම්මා නිතරම මට බනින්නෙ උඹ මහ කාලකන්නි ගැහැනියෙක් කියලා. මට ටිකෙන් ටික ජීවිතය එපා වුණා. වැඩිම කාලයක් ගත කළේ මම කාමරයට වෙලා. මගෙ හිතේ තියන දුක පීඩනය කලකිරීම කියන්න කිසිම කෙනෙක් නෑ. මා මේ ලෝකයේ අතරමං වී ඇති බවක් මට නිතරම දැනුනා. නිලූකාගෙන් ඇසූ ප්‍රශ්න කීපයකට දුන් පිළිතුරු මෙසේ විය. 

ප්‍රශ්නය :- 
ඔබ කියන්නේ ඔබේ ප්‍රශ්න කියන්න කිසිම කෙනෙක් නැහැ කියලා. ඇයි ඔබේ අම්මා තාත්තා...?
නිලූකා:-

මට තව මල්ලියෙක් ඉන්නවා. අපි දෙන්නම තාත්තට හරිම බයයි. මගේ තාත්තට හරියට තරහ යනවා. තාත්තා කවදාවත් අපි ළඟට අරගෙන ආදරෙන් කතා කරපු දවසක් මතක නෑ. අම්මා ඉන්නෙ එයාගෙ ලෝකෙ. අම්මට ගෙදර හරියට වැඩ. ඇය හොයන්නෙ මම පාඩම් කළාද නැද්ද විතරයි. මට දවසක් හිතුණා, මගේ ප්‍රශ්නය පාසලේ උපදේශනය භාර ගුරුතුමිය සමඟ කතා කරන්න. මම ඒකටත් බය වුණා. අපේ ඉස්කෝලෙ ළමයි කියන්නෙ එයාට කීවොත් හරියට පත්තරේ දැම්ම වගෙයි කියලා. ඉතින් මගේ ප්‍රශ්නය මම කාට කියන්නද? 

නිලූකාගේ නිවස තුළ පරිසරය ගතහොත් දරුවන්ට දැනෙන්න ආදරය කරන පරිසරයක් නොවන බව පැහැදිලියි. ඇයගේ හැඟීම් තේරුම් ගැනීම, දරුවා සමඟ මිතුරකු ලෙස දරුවාට ළංවීම, එහෙමත් නැත්නම් දරුවාට දැනෙන්න ආදරය කරන පරිසරයක් නිවස තුළ ඇතිකර ගැනීමෙන් ගැටවර වියේ සිටින ඔබේ දරුවාට සිදුවන බොහෝ මානසික පීඩන හා හානි අවම කරගත හැකි බව සමීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. 

►කිරිබත්ගොඩ 
මූලික රෝහලේ ප්‍රධාන මනෝ රෝග විශේෂඥ වෛද්‍ය 
නයනානන්ද කුමාරනායක