2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

දරුවන්ට වැළඳෙන දත් ලෙඩ

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3216

පාසල් දරුවන් අතර සුලබ මුඛ රෝග හා ඒ ආශ්‍රිත ගැටලු මොනවාදැයි සලකා බලමු. එලෙසම එම ගැටලු විසඳා ගත යුත්තේ කෙසේදැයි දැනුවත් වෙමු. එමගින් මුඛ රෝග මුල් අවස්ථාවේම හඳුනාගෙන ඔබේ දන්ත සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීමට උත්සහ ගනිමු. මේ ලිපිය ඒ සඳහාය.

 

පාසල් දරුවන් අතර බහුල මුඛ සෞඛ්‍ය ගැටලු

• විදුරුමස් ප්‍රදාහය (Gingivitis)

• දත් දිරායාම/ දන්ත ව්‍යාසනය (Dental Caries)

• අක්‍රමවත්ව දත් පිහිටීම (Malocclusion)

• දත්වලට සිදුවන හදිසි අනතුරු (Dental Trauma)

• දත් දුර්වර්ණ වීම (Discoloration Teeth)

• මුඛයෙන් දුගඳ හැමීම (Bad Breath)

 

විදුරුමස් ප්‍රදාහය (Gingivitis)

විදුරුමස් ඉදිමීම පාසැල් දරුවන් අතර නිතර දකින්නට ලැබෙන රෝගී තත්ත්වයකි. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ විදුරුමස් රතු පැහැ වීම හා දත් මදින විට විදුරැමසින් ලේ ගැලීමයි. ඒ නිසා ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ ඇත්දැයි සැලකිලිමත් වන්න. මේ අතර මුඛයෙන් දුගඳක් හැමීමට ප්‍රධාන හේතුවක් වන්නේ විදුරුමස් රෝගවලින් පෙළීමයි.

විදුරුමස් ඉදිමීමට ප්‍රධාන හේතුව දන්ත පථ නමින් හඳුන්වන විදුරුමස් දාරය හා දත මතුපිට තැන්පත්වන ද්‍රව්‍යයයි. මේවා ක්‍රමානුකූලව දත් මැදීම මගින් ඉවත් කර ගත යුතුයි. එසේ නොවුනහොත් සුදු/ ලා කහ පැහැති ද්‍රව්‍යයක් ලෙස ක්‍රමයෙන් තැන්පත් වී කල් යත්ම කෙළවල ඇති කැල්සියම් මගින් මේවා ඝන තත්ත්වයට පත් වේ.

දන්ත අශ්මිය (Calculus) ලෙස විදුරුමස් දාරයේ දැකිය හැකි වන්නේ මෙලෙස ඝන වූ දන්ත පථ වේ. මේවා මත ක්‍රියාකරන බැක්ටීරියා මගින් නිපදවන විෂ ද්‍රව්‍ය නිසා විදුරුමස් ඉදිමීමම ඇති වේ. 

මෙවැනි රෝග ලක්ෂණ ඔබටත් පහළ වී ඇත්නම් නොපමාව දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔබ වයස අවුරුදු 13ක් හෝ ඊට අඩු පාසල් දරුවකු නම් පාසල් දන්ත චිකිත්කවරියන්ගෙන්ද උපදෙස් ලබා ගත හැකිය.

නිවැරදිව, ක්‍රමානුකූලව දන්ත පථ ඉවත් වන සේ දිනකට දෙවරක් උදෑසන හා රාත්‍රී නින්දට පෙර දත් මදින ආකාරය ගැන උපදෙස් ලබාගෙන ඒවා මනාව පිළිපැදිය යුතුයි.

ඇතැම් අවස්ථාවල විෂබීජ නාශක, මුඛ ශෝධන ද්‍රාවණ (Mouth Washes) හෝ උග්‍ර විදුරුමස් ඉදිමීම සඳහා ප්‍රතිජීවක ඖෂධ දන්ත වෛද්‍ය උපදෙස් මත තාවකාලිකව භාවිතා කළ යුතුවෙයි.

අක්‍රමවත්ව දත් පිහිටීම (Malocclusion)

අක්‍රමවත්ව දත් පිහිටීම පාසල් දරුවන් පෙළන තවත් සුලබ මුඛ ආබාධිත තත්ත්වයකි. දත් ඉදිරියට නෙරා ඒම, පොකුරු ගැසී පිහිටීම, දත් අතර හිදැස් පැවතීම, දත් ඇඳි එක්වීමේදී යටි ඇන්දේ දත් උඩු ඇන්දේ දත්වලට පිටතින් පිහිටීම වැනි විවිධාකාර තත්ත්වයන් මේ යටතේ දැකිය හැකි වෙයි.

අක්‍රමවත් දත් පිහිටීමට හේතු වන්නේ ප්‍රවේණිගත සාධක, ඇඟිලි ඉරීම වැනි වැරදි පුරුදු හා කිරි දත් නොසලකා හැර දිරා ගොස් ඒවා හැලී යාමට පෙර ගැලවීමට සිදුවීම වැනි දේයි.

අක්‍රමවත්ව පිහිටි දත් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම පවතී. ඒ නිසා එවැනි තත්ත්වයක් ඔබටත් පවතී නම් දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගන්න. 

දත් දිරායාම/ දන්ත ව්‍යාසනය (Dental Caries)

දත් දිරායාම විශේෂයෙන්ම අවුරුදු 12ට අඩු පාසැල් දරුවන් අතර සුලබව දැකිය හැකි රෝගී තත්ත්වයකි. දතේ හපන මතුපිට හා දත් අතර පැතිවල දත් දිරායාම සිදුවෙයි. මෙය සිදුවන්නේ දන්ත පථවල ඇති බැක්ටීරියා ඇලෙන සුළු පැණි රස මත ක්‍රියා කර නිපදවන ලැක්ටික් අම්මලය මගින් දත මතුපිට එනැමලය දිය කර හැරීමෙනි. බිත්තර කටුවක් මතට විනාකිරි ද්‍රාවනයක් දැමූ විට සිදුවන ක්‍රියාවට මෙය සමාන කළ හැකිය.

දත් දිරායාමේ මුල් අවස්ථාව එනැමලය මත ඇතිවන සුදු ලපයයි (White Spot) පසුව මෙය ක්‍රමයෙන් ව්‍යාප්ත වී කහ/ දුඹුරු/ කළු පැහැ වී දත් කුහරයක් දක්වා වර්ධනය වේ. දන්තිනය තෙක් පැතිර ගිය විට උණුසුම්/ සීතල ආහාර පාන, පැණිරස ගන්නා විට හිරිවැටීම සිදුවෙයි, දත් කුහරයේ කෑම සිරවීම සිදුවෙයි. ඉන්පසු කල්ක කුහරය තෙක් පැතිරුණු විට දතෙහි වේදනාව ඇතිවෙයි. පසු අවස්ථාවලදී දත ආශ්‍රිත පටක ඉදිමීම, පණු ගෙඩි (දන්ත මුල කෝෂ්ඨ) සැදීම වැනි සංකුලතා ඇතිවිය හැකිය. ඒ නිසා දත් දිරායෑමේ අවස්ථාව අනුව කළයුතු ප්‍රතිකාර වෙනස් වෙයි. 

දත් දිරායාම වළක්වා ගනිමු!

• සුදු ලප අවස්ථාවේදී ආහාර රටාව පාලනය කර ගැනීම, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් නිවැරදිව දත් මැදීම හා ෆ්ලෝරයිඩ් අධි සාන්ද්‍රණයෙන් යුතු ජෙල්, වාර්නිෂ්, මුඛ ශෝධන ද්‍රාවන වැනි ක්‍රමවේද මගින් යථාතත්වයට පත්කර ගත හැකිය. එනිසා නොපමාව දන්ත වෛද්‍ය උපදෙස් ලබාගන්න.

• කුහර සෑදුණු දත්වලට විවිධ පිරවුම් ද්‍රව්‍ය හා ක්‍රම භාවිතා කර ප්‍රතිකාර කිරීම සිදුකරයි. ගැඹුරු කුහර සඳහා තාවකාලික පිරවුම් ද කල්ක කුහරය තෙක් ගැඹුරු නොවන කුහර සඳහා ජී.අයි.සී. (G.I.C.) ඇමල්ගම් වැනි පිරවුම් ද්‍රව්‍ය භාවිතා කෙරේ.

• තාවකාලික පිරවුම් කළ දතකට දන්ත වෛද්‍යවරයා/ දන්ත චිකිත්සකවරිය නියම කරන දිනක නැවත ස්ථිර පිරවුම යෙදිය යුතුය.

• කල්ක කුහරය තෙක් දිරාගිය කිරි දත් හෝ ස්ථිර දත්වලට කරනු ලබන විවිධ පිරවුම් ක්‍රමවේද තිබේ. එමනිසා නොපමාව දන්ත වෛද්‍යවරයෙකු හමුවන්න. 

දන්ත ව්‍යසනය පාලනය කර ගැනීමට ඔබට කළ හැකි දේ.

• දිනකට දෙවරක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මැදීම, නිවැරදි ආහාර රටාවකට හුරුවීම, ටොෆි චොකලට් වැනි පැණිරස ආහාර පාන, බනිස්, බිස්කට්, පේස්ට්‍රී වැනි ඇලෙනසුළු ආහාර හැකිතරම් සීමා කිරීම. ඒ වෙනුවට පළතුරැ, පලාවර්ග, ධාන්‍ය වර්ග හා අනෙකුත් පෝෂ්‍යදායි ආහාර වාර්ග ගැනීම.

• එබඳු ආහාර ගැනීමට සිදුවූවහොත් කට සෝදා දැමීම/ පිරිසුදු ජල පානය කිරීම.

• මාස හයකට වරක්වත් දන්ත වෛද්‍ය / දන්ත චිකිත්සක මුඛ සෞඛ්‍ය පරීක්ෂාවකට යොමු වීම.

 

දත්වලට සිදුවන හදිසි අනතුරු (Dental Trauma)

දත් කැඩීම, සෙලවීම, දත මුළුමනින්ම ගැලවී යාම මේ තත්ත්වයන්ට උදාහරණ වෙයි.

• ඔබේ දතකට/ දත්වලට යම් අනතුරක් සිදුවූ වහාම දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙයි. එයට හේතු වන්නේ අනතුරුවලට පත් වූ දත් නොසලකා හැරීමෙන් කල්ගත වූ විට එම දත් අජීවි තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බැවිනි.

• හදිසි අනතුරකට පත්වී ඔබේ ඉදිරිපස ස්ථිර දතක් මුළුමනින්ම ගැලවී ගියහොත්, එය ඔබගේම මුඛය තුළ රඳවා ගෙන හෝ ජීවානුහරණය කරන ලද කිරිවල බහා හැකි ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙක් වෙත යන්න. එසේ කළහොත් විශේෂ ප්‍රතිකාර ක්‍රම මගින් එම දත නැවත සවිකොට සුවකර ගැනීමට ඔබට හැකි වෙයි.

 

දත් දුර්වර්ණ වීම (Discolorations of Teeth)

ඔබටත් දත්වල පැහැය පිළිබඳ ගැටලුවක් ඇත්නම්, ඒ ගැන ලතනොවී දන්ත වෛද්‍ය උපදෙස් ලබාගන්න. 

මුඛයෙන් දුගඳ හැමීම (Bad Breath)

මුඛයෙන් දුගඳ හැමීම ඇතැම් පාසල් දරුවන් නිතර ලතවන තත්ත්වයකි. මෙයට විවිධ හේතු බල පෑ හැකියි. එනම් කෑම සිරවන කුහර සහිත දිරාගිය දත් පැවතීම, විදුරුමස් ඉදිමීම, ක්‍රමානුකූලව දත් පිරිසිදු නොකිරීම හා ආමාශගත රෝගයි. එම නිසා ලතනොවී දන්ත වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න. ඇතැම් විට වෛද්‍ය උපදෙස් සඳහා ඔබව යොමු කරනු ලබයි. ඉතින් මුඛ සෞඛ්‍ය ගැටලුවකදී කළ යුත්තේ කුමක්දැයි දැන් ඔබට යම් තරමකින් හෝ අවබෝධ වූවා නේද?

 වෛද්‍ය අයි.ආර්. පෙරේරා
ප්‍රජා මුඛ සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00