2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

කෙල්ලෙක් වගේ පියයුරු විශාල වෙලාද?

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1867

පුන් පියයුරු එහෙමත් නැතිනම් පිරුණු පියයුරු කාන්තාවන්ගේ ද්විතියික ලිංගික ලක්ෂණයක්. නමුත් පිරිමින්ගේ එහෙම නැහැනේ. ඒත් කලාතුරකින් සමහර පිරිමින්ගේ පියයුරු විශාල වෙනවා. කාන්තාවකගේ වගේම විශාල වන අවස්ථා දකින්නත් පුළුවනි. ඉතින් මේක මහා වදයක්නේ. මේ නිසා බොහෝදෙනා මනසින් කඩා වැටෙනවා. සමාජයට එන්න ලජ්ජයි. ප්‍රසිද්ධියේ කමිසය ගලවන්නේවත් නෑ. මෙහෙම වෙන්නේ ඇයි?

පිරිමි අයගේ පියයුරු මේ වගේ කලාතුරකින් විශාල වීමට ලක්වීම හඳුන්වන්නේ Gynecomastia ගයිනෙකොමැස්ටියා හැටියටයි. ඒ සඳහා බලපාන කරුණු කාරණා කිහිපයක්ම හඳුනාගත හැකියි.

එය උපතේදීම හටගන්නා තත්ත්වයක් වන්නට පුළුවනි. තවත් අයගේ යොවුන් වයසේදී හටගන්නා හෝමෝන වෙනස්කම් නිසා සිදුවන්න පුළුවනි. ස්ත්‍රී හෝර්මෝනය වැඩියෙන් ශ්‍රාවයවීම මෙයට හේතුව වෙන අවස්ථා තියෙනවා. සමහර ඖෂධවර්ග භාවිතා කරනවිටත් මේ තත්ත්වය ඇතිවෙනවා. ඒ වගේම වඩාත් වැදගත්ම කාරණාව තමා මත්පැන්. දිගුකලක් අධිකව මත්පැන් ගන්නා විට ශරීරයේ හෝර්මෝන සමතුලිත බව කඩා වැටෙනවා. වෘෂණ කෝෂ හරියට වැඩ නොකර යනවා. ටෙස්ටොස්ටෙරොන් කියන හෝමෝනය නිපදවීම අඩුවෙනවා. මේ නිසා කාන්තා ලක්ෂණ ඉහළ යනවා. එහි ප්‍රධානම ලක්ෂණය තමා පියයුරු විශාල වීම.

පියයුරු විශාල වීම ඖෂධයක් නිසා සිදුවන්නේ නම් ඒ ඖෂධය නවත්වා දැමූ පසු සාමාන්‍ය තත්ත්වයට කුඩා වෙන්න ගන්නවා. මත්පැන් පානය කරන අයට ඇති හොඳම බෙහෙත පානය නතර කර දැමීමයි. යොවුන් වියේදී පියයුරු සාමාන්‍යයෙන් සුළු වශයෙන් විශාල වුවත් ඒක ටික කලකින්ම නැතිවෙලා යනවා. එතැන්දී මේ ස්වභාවික තත්ත්වය ගැන පහදලා දීලා හිත හැදීමයි කළයුතු.

පියයුරු විශාලවීම දිගුකලක් පවතින විට ඒ සඳහා ඇත්තේ එකම විසඳුමයි. ඒ තමා ප්ලාස්ටික් ශල්‍යකර්මය. මුලින්ම පවුලේ වෛද්‍යවරයා වෙත යොමුවී පරීක්ෂා කර ගත යුතුයි. ඊළඟට ඔහුගේ උපදෙස් අනුව සුදුසුකම් ලත් ශල්‍ය වෛද්‍යවරයකු හමුවිය යුතුයි. දැන් රජයේ රෝහල් හැමකෙකම වාගේ ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදුකරන නිසා මේ ගැන තැවි තැවී සිටින්න ඕනෑ නැහැ.