2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ප්‍රියැපිසම් ලෙඩෙත් එපාකරපු වැඩක්

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 318

පසුගිය කාලයේ අපේ දේශපාලකතුමෙක් ගැන අපුරු කතාවක් එළියට ආවා. ඕපාදූපයක් හැටියට පළවුණු මෙයින් කියැවුණේ එතුමාට සිය ප්‍රාණවත් භාවය නැති නොවීම නිසා මුහුණපෑමට සිදුවූ ඇබැද්දියක් ගැනයි. ප්‍රාණවත් වූ ලිංගය යලි යථා තත්ත්වයට පත්නොවී තිබීමේ මේ තත්ත්වය හටගන්නේ විවිධ හේතු රැසක්ම නිසායි. වයග්‍රා පදමට වැඩියෙන් ගැනීම මෙයට බලපානා එක් හේතුවක් පමණයි.

පුරුෂ අවයවය දිගටම ප්‍රාණවත්ව තිබීම නිසා හටගන්නා මේ අසාමාන්‍ය තත්ත්වය හඳුන්වන්නේ ප්‍රියැපිසම් Priapism කියලයි. බොහෝ විට මෙහිදි ප්‍රාණවත් වීම සිදුවන්නේ කිසිම ලිංගික උත්තේජනයකින් තොරවයි. 

පුරුෂ ලිංගය ප්‍රාණවත් වන්නේ එහි පටක තුළට රුධිරය ගලාවිත් තදවීම නිසයි. ලිංගික උත්තේජනය මේ සඳහා මුල්වෙයි. එම ලිංගික උත්තේජනය නැතිව ගිය පසු හෝ සුරතාන්තයට පත් වූ පසුව රුධිරය නැවත ශිරා මගින් හෘදය දෙසට ගලා යාම සිදුවෙයි. යම් හෙයකින් ප්‍රධාන ශිරාවක් තුළ රුධිර කැටයක් ඇති වී හිර වුණොත් ඒ හේතුවෙන් රුධිරය ගලායාම ඇණ හිටියි. ඒ නිසා සිදුවන්නේ දිගටම ශිෂ්ණය ප්‍රාණවත්ව තිබීමයි. මෙය වේදනාකාරි තත්ත්වයකි. වහාම වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගත යුතුයි. එසේ නොකළහොත් ශිෂ්ණයේ පටකවලට අනතුරු සිදුව ඉරීයාම තුවාල වීම සිදුවෙයි.

ප්‍රියැපිසම් සඳහා හේතු කිහිපයක්ම වෛද්‍ය විද්‍යාත්මකව සොයාගෙන තිබේ. රුධිරගත රෝගවන ලියුකේමියාව මෙන්ම දැකැති හැඩැති රතු රුධිර සෛල හෙවත් සිකල්සෙල් නිසා ඇතිවන රුධිර රෝග බොහෝවිට මෙයට හේතුවකි. තවත් බලපෑමක් වන්නේ ලිංගාශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන්ය. ලිංගික අප්‍රාණිකත්වය සඳහා ලබාදෙන පැපවරන් නමැති නික්ෂේපණය නිසාත් මෙය ඇතිවෙයි. අනෙක් කාරණය තමා වයාග්‍රා. ව්‍යාග්‍රා හෙවත් සල්ඩෙනෆිල් සිට්රේට් වැඩිපුර මාත්‍රාවක් ගැනීම නිසාත් ඉතාමත් කලාතුරකින් මේ තත්ත්වය ඇතිවේ.

ප්‍රියැපිසම් තත්ත්වය ඇති වූ විට බොහෝවිට රෝහල්ගත වීමට සිදුවෙයි. එහිදී නිර්වින්දනය ලබාදී සුළු සැත්කමක් මගින් ශිරාවල අවහිරවී ඇති රුධිරය ඉවත් කිරීම සිදුවෙයි. මේ තත්ත්වය ඇතිවිට වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.