2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

දිනකට 500ක් බිලිගන්නා සැඟවුණු වසංගත

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1160

දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හෘදයාබාධ නිසා ශ‍්‍රී ලංකාව තුළ දිනකට 500 ආසන්න පමණ රෝගීන් ප‍්‍රමාණයක් මියයයන බව මේ වන විට හෙළිවී ඇත. මෙම ප‍්‍රකාශනයට අනුව ඉහත සඳහන් රෝගවලින් වසරකට 130000කට ආසන්න ප‍්‍රමාණයක් මියයති. මෙතෙක් කලක් අප වැඩි අවධානයට ලක් කළේත්, වැඩි වශයෙන් කතාබහ කළේත් අප බියට පත් වූයේත් බෝවන වසංගත රෝග සම්බන්ධවය. එහෙත් සියල්ල උඩු යටිකුරු වී ඇත. දියවැඩියාව, අධිරැධිර පීඩනය සහ හෘදයාබාධ  වැනි බොනොවන රෝග වසංගතයන් මෙන් අප අතර පැතිර යමින් පවතියි. සොයා බලන්න, මේ ලිපිය කියවන ඹබ හෝ ඔබේ පවුලේ කවර හෝ සාමාජිකයෙකු අනිවාර්යයෙන්ම ඉහත රෝගවලින් පෙළෙනවා ඇති.

සංවර්ධිත රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද සෞඛ්‍ය අංශ දැන් වැඩි පිරිවැයක් දරන්නේද  ශ‍්‍රම දායකත්වයක් ලබා දෙන්නේද මෙම බෝ නොවන රෝග වෙනුවෙන්ය. එය එතරමටම වසංගතයක් වි ඇත. නිදන්ගත රෝගයක හෙවත් බෝ නොවන රෝගයක ප‍්‍රධාන ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැක. එහිදී ඇති වන රෝග ලක්ෂණ සදාකාලික විය හැක. රෝගය අවසානයේදී දිගු කල් පවතින අතුරැ ආබාධ ඇති වෙයි. තවද නිදන්ගත රෝගවලදී ශරීර අභ්‍යයන්තර වෙනස් වීම් නැවත වෙනස් කළ නොහැකි ලෙස විපර්යාස වලට භාජනය වෙයි.

මෙහිදී ජනිත වන රෝග ලක්ෂණ සමඟ රෝගියාට දිගු කලක් පොර බැදීමට වන හෙයින් ඒ සඳහා ඔහු හුරු කිරීමටත් පුනරුත්ථාපනයටත් උනන්දු විය යුතුය. මෙවැනි රෝගීන්ට වරක් දෙවරක් ප‍්‍රතිකාර කොට අතහැර දැමීම කළ නොහැකි නිසා දිගූ කලක් සායනවලට ගෙන්වා ගැනීමට පෙළඹවීමක්  සිදු කළ යුතුය. එහෙත් අපේ රටේ මෙවැනි නිදන්ගත රෝග වලින් පෙළෙන බොහෝ දෙනෙකු රෝගයට ප‍්‍රතිකාර ගැනීම අතරමඟදි නතර කර දමයි. ආර්ථික සහ සමාජීය හේතු බොහොමයක් මෙසේ දිගු කලක් රෝගවලට ප‍්‍රතිකාර ලබා නොගැනීමට මග පාදන අතර මෙහි ප‍්‍රතිඵලයක් ලෙස බරපතල අතුරු ආබාධවලට මුහූණ දී දුක් විඳ මියයාමට සිදු වෙයි.

අප අවට සිඝ‍්‍රයෙන් පැතිර යන බෝ නොවන රෝග මොනවාදැයි මීළඟට මදක් විමසා බලමු. මේ අතරින් හෘදය ආශ්‍රිත රෝග වලට ප‍්‍රමුඛස්ථානය හිමි වෙයි. මීට අමතරව වකුගඩු රෝග, ස්නායු ආශ්‍රිත රෝග, සන්ධි ආබාධ, දිගු කල් පවතින ශ්වසන රෝග (ඇඳුම වැනි), හදිසි අනතුරු වලින් අත්වන සදාකාලික ආබාධ, වියපත් වීම ආශ්‍රිත රෝග මේ අතර පෙරමුණේ සිටියි. මිට අමතරව අන්ධභාවය, පිළිකා රෝග, දියවැඩියාව, තරබාරැ බව හා වෙනත් පරිවෘත්තීය රෝග පෙරමුණට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණවලින් පෙරමුණේ සිටින්නේ හෘදයාබාධයන්ය. දෙවන ස්ථානය පිළිකා රෝග වලටත් තෙවන තැන පෙනහළු ආශ්‍රිත රැධිර සංසරණ ගැටලුවලටත් හිමි වී ඇත. මොළය ආශ්‍රිත රැධිර සංසරණ ගැටලු (අංශභාගය) පත්ව ඇත්තේ සිව්වන ස්ථානයටය. ඉන් අනතුරැව පිළි‍ෙවලින් ශ්වසන රෝග, සත්ත්වයින් හා බැක්ටීරියා මගින් බෝවන රෝග, හඳුනා නොගත් රෝග, මුත‍්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග හා හදිසි අනතුරු නිසා වන මරණවලට ප‍්‍රමුඛතාව ලැබෙයි.

අපේ රටේ රෝහල් ගතවීම් වැඩිම සංඛ්‍යාවකට හේතූව හදිසි අනතුරැ වන අතර දෙවන ස්ථානය ශ්වසන පද්ධතිය ආශ්‍රිත වලට හිමි වෙයි. හඳුනා නොගත් රෝග, වෛරස රෝග, ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග සහ ගර්භනී භාවය ආශ්‍රිත රෝග තත්ත්ව අනෙක් හේතු සාධකයෝය.

වර්තමානය වන විට නිදන් ගත රෝග ඇතිවීමට බලපාන ප‍්‍රධාන හේතු සාධක හයක් පමණ හඳුනාගෙන ඇත. අඩු වයසින් රෝගී වීමටත් මරණය පත් වීමටත් මෙම කරැණු බලපාන බව පෙනී යයි.

1. සිගරට් සහ විවිධ වර්ගයේ දුම් පානය.

2. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය.

3. රෝග වළක්වා ගැනීම කෙරෙහි උනන්දුවක් නොදැක්වීම. (නිදසුනක් වශයෙන් අධි රුධිර පීඩනය පාලනය, පිළිකා කල්තියා හඳුනා ගැනීම, දියවැඩියාව පාලනයට උනන්දු වීම ආදිය නොකර සිටීම දැක්විය හැක).

4. ජීවන චර්යාව අහිතකර ලෙස වෙනස් කර ගැනීම. (ආහාර රටාව, කායික ව්‍යායාම ආදිය උනන්දුවක් නොදැක්වීම).

5. අහිතකර පාරිසරික සාධක ගොඩනැගීම. (පරිසර දූෂණය, විනාශකාරී යූද අවි භාවිතය ආදිය තවත් නිදසුනකි).

6. මානසික පීඩනය ඉහළ යාම. 

මෙම ප‍්‍රධාන අවදානම් සාධකයෝය.

බෝනොවන රෝග වළක්වා ගැනීම කෙරෙහි අහිතකර ලෙස බලපාන කරුණුද කිහිපයක් පවතියි. මින් එක් සාධකයක් වන්නේ රෝග පිළිබඳව අප කෙරෙහි පවතින අඩු දැනුමයි. විශේෂයෙන් රෝග ඇති වීමට බලපාන හේතු සාධක සම්බන්ධව සමහර විට නිසි දැනුමක් අපට නොවන අවස්ථාද ඇත. ඇතැම් රෝග ඇති වීමට එක් සාධකයක් නොව සාධක කිහිපයක්ම බලපාන අවස්ථාද ඇත. පාරිසරික මෙන්ම චර්යාමය හේතූ මේ අතර ප‍්‍රධානය.

නිදන්ගත රෝග වලින් බොහොමයක් පූර්ව හඳුනාගැනීම් හරහා (screening test) අවබෝධ කර ගත හැක. 

 

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
හම්බන්තොට

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00