2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

ලේ පිටවෙන්නේ භයානක ලෙඩකටද?

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 4094

ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ගැටලු ගැන සාකච්ඡා කරන්නට අපේ බොහෝ දෙනා ලජ්ජාවක් දක්වන බව රහසක් නෙමෙයි. මේ අන්දමට සාකච්ඡා කිරීමට දක්වන බිය ලජ්ජාව නිසාම බොහෝමයක් සරලව විසඳාගත හැකි කරුණු සංකීර්ණ බවට පත් කරගෙන හිතින්ද දුක්වෙනවා පමණක් නොවේ, ව්‍යාජ බේත් ඖෂධ සොයාගොස් වැඩේ තවත් වණ කරගන්නා අවස්ථාද බහුලව දක්නට ලැබෙයි. මේ ලිපිපෙළේ අරමුණ ඒ කියන බොරු ලජ්ජාව ඉවත්කර මිත්‍යාවන්ට ගොදුරුවීමේ අනතුරුදායක තත්ත්වයෙන් ඔබ වළක්වා ගැනීමයි. පිරිමින් මුහුණ දිය හැකි හැබැයි කතා කරන්නට ලජ්ජා වන ඒ වගේම වරදවා වටහාගෙන බොරු බයකට පත්වන තවත් රෝග තත්ත්වයක් ගැනයි මේ.

ධාතු සමඟ ලේ පිටවීම

සමහරවිට ඉතා කලාතුරකින් අවස්ථවාක පුරුෂ ජන්මානු තරලය සමඟ රුධිරය පිටවිය හැකියි. එවිට එය දිස්වන්නේ රෝස පැහැයකින් යුතුවයි. මේ වගේ තත්ත්වයක් පවතින විට පිරිමි බොහෝවිට භීතියට පත්වෙන බව දකින්නට හැකියි. හුඟක් වෙලාවට හිතන්නේ තමන්ට සමාජ රෝගයක් වැළඳී ඇති බවයි. නැතිනම් පිළිකාවක් හැදී ඇති බවයි. මේ අන්දමට ධාතු සමග රුධිරය පිටවෙන්නට හේතුවන කාරණා කිහිපයක්ම තිබෙනවා. එයින් ඉතා සරලම හේතුව සුරාතාන්තයේදී ධාතු පිටවීමත් සමඟ එම වේගයට මුත්‍ර මාර්ගයේ පිහිටි සියුම් රුධිර නාල පුපුරා රුධිරය ස්වල්පයක් එකතුවීමයි. මේ තත්ත්වය බොහෝවිට ඉබේම සුවවන්නකි. නමුත් එය දිගටම දක්නට ලැබෙනවා නම් කළයුත්තේ පවුලේ වෛද්‍යවරයා හමුව උපදෙස් පැතීමයි.

පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු නිසාද මේ වගේ රුධිර පිටවීමක් දකින්නට හැකියි. පුරස්ථි ග්‍රන්ථිය ඉදිමී එහි රුධිරය ශිරා තුළ තදවීම නිසා ශුක්‍රාණු සමඟ රුධිරය පිටවිය හැකියි. මේ සඳහා  ඖෂධ ප්‍රතිකාර පවතින අතර සැත්කම් මගින්ද පිළියම් යෙදිය හැකියි. ඒ වගේම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා නිසාත් රුධිරය පිටවන්නට හැකියි. මෙහිදී සැත්කම් හෝමෝන ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර හෝ රසායණික ප්‍රතිකාර ලබාගන්නට හැකියි.

පුරස්ථි ග්‍රන්ථියේ, මුත්‍රා නාලයේ නැතිනම් ශුක්‍ර ආශයිකා ආශ්‍රිතව හටගන්නා ආසාදන තත්ත්ව නිසාත් යම් අවස්ථාවන්හිදී රැධිරය පිටවීමට හැකියි. මේ සඳහා වෛද්‍ය උපදෙස් ගැනීම කළයුතු අතර ප්‍රතිජීවක ඖෂධ මගින් ඔය කියන රෝගී තත්ත්වය වහාම සුවකරගත හැකියි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00