2017 ජුලි 22 වන සෙනසුරාදා

නහින දෙහින කාලේ හැදෙන එපා කරපු ලෙඩේ

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1381

නහින දෙහින කාලේ ඒ කියන්නේ 56-60 පැන්නට හැදෙන ලෙඩක් නිසා අපේ පිරිමි උදවිය හරිම අසීරුවට පත්වෙනවා. පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මෙය හැඳින්වෙන්නේ පුරස්ථ ග්‍රන්ථි පිළිකාව හැටියටයි. සාමාන්‍යයෙන් 55 පැන්න පිරිමින් අතර තමා සියයට 80ක්ම වගේ මේ පිළිකා අවදානම වැඩි බව වාර්තාවෙලා තියෙන්නේ. මේ පිළිකාවෙන් වැළකෙන්න හොඳම බේත තමා ක්‍රියාශීලි ජීවිතයක්, ව්‍යායාම සහිත ජීවිතයක් ගත කරන එක.

පුරස්ථි පිළිකාවේ රෝග ලක්ෂණ කිහිපයක්ම දකින්න පුළුවනි. හැබැයි ඒවා ඉදිමුම නිසා හටගන්නා රෝග ලක්ෂණවලටත් බොහෝ සමානයි. මේ නිසා මේක ඉදිමුමද පිළිකාවද කියලා රෝගියාටම වෙන්කරගන්න අමාරුයි. ඒ නිසා වෛද්‍යවරයකු වහාම හමුවිය යුතුයි. 

පුරස්ථි පිළිකාව ඇති අයටත් මුත්‍රා කිරීමේ අපහසුව මතුවෙනවා. ඉක්මණින් මුත්‍රා පිට කිරීමට යාමේ අවශ්‍යතාවක් හෙවත් උසුලාගෙන සිටින්නට බැරිකමක් එනවා. ඊළඟට මුත්‍රා පිට කරන වාර ගණන ඉහළ යනවා. මුත්‍රාධාරාව හොඳින් එක දිගට එක වේගයෙන් ගලා නොයන එක ප්‍රධාන රෝග ලක්ෂණයකි. මේ ලක්ෂණ ඇති විට වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුව කලින් කියා ඇති PR හෙවත් ගුද මාර්ගය ඔස්සේ කෙරෙන පරීක්ෂාව කරගත යුතුයි. ඊට පෙර වෛද්‍යවරයා විශේෂ රුධිර පරික්ෂාවක් වන පුරස්ථි විශේෂිත ප්‍රතිදේහ ජනක පරික්ෂාව සිදුකරන්නට කටයුතු යොදාවි. පිළිකා ඇති අයගේ මේ කියන ප්‍රතිදේහ මට්ටම ඉහළයි.

ඉහත පරික්ෂණ මගින් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ගැන ඉව වැටුණොත් රෝගියාගේ එම ග්‍රන්ථියේ ජීවි කොටසක් ලබාගෙන පරික්ෂාවකට ලක්කරන්නට කටයුතු කරයි. එහිදී පිළිකා සෛල දක්නට ලැබුණහොත් සැකය තහවුරැ වෙයි. පුරස්ථි පිළිකාව පහසුවෙන්ම අස්ථි පද්ධතියට පැතිර යා හැකියි. මේ නිසා ඒ ගැන පරික්ෂාවක්ද සිදුකරන්නට කටයුතු යොදාවි. 

සාමාන්‍යයෙන් 50 පැන්න විට විශේෂයෙන්ම 55 පැන්න විට සම්පූර්ණ සිරැරැ පරික්ෂාවක් කරවා ගැනීමෙන් එහිදි පුරස්ථි ග්‍රන්ථිවල නිරෝගිතාව සොයාබලා පරික්ෂණ සිදුකරගැනීමත් ඉතාමත් වැදගත්. එහෙම කළහොත් පුරස්ථි පිළිකාව තමන්ට හඳුනාගැනීමටත්, ප්‍රතිකාර ගන්නටත් ඇතිවිය හැකි සංකූලතා මෙන්ම පැතිරයාම වළක්වා ගන්නටත් හැකියි. 

පුරස්ථි පිළිකාව සඳහා ඇති ප්‍රතිකාරය ශල්‍යකර්ම මගින් පිළිකාව ඉවත් කිරීමයි. නැතිනම් විකිරණ ප්‍රතිකාර මගින් පිළිකා විනාශ කිරීමයි. ටෙස්ටෙස්මෙරෝන් වගේ සමහර හෝර්මෝන පිළිකාව පැතිරීමට උදවු වන නිසා වෘෂණ ඉවත් කිරීමටද හැකියාවක් මෙහිදී තියෙනවා. නැතිනම් හෝර්මෝනයේ බලය අඩු කිරීම සඳහා ඊස්ට්‍රජන් ස්ත්‍රී හෝර්මෝනය ලබා දෙන්නත් පුළුවන්. මෙකේදී වෙන්නේ පිළිකාව හැකිලීමයි.

සමහරැ බයේ ඉන්නවා තමන්ගේ පියාට සහෝදරයාට ඥාතියෙකුට පුරස්ථි පිළිකාව තිබුණොත් තමන්ටත් ඒක හැදෙයි කියලා. නමුත් පුරස්ථි පිළිකාව මෙහෙම ආරෙට යන බව තහවුරැ වෙලා නෑ. හැබැයි සූදානම් ශරීරේ කියලා පරික්ෂාවක් කරගන්න එක හොඳයි.

පුරස්ථි ග්‍රන්ථි සැත්කම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවද?

මේ තවත් ගැටලුවක්. සමහරවිට අදාළ ස්නායුව ශල්‍ය කර්මයේදී හානි වුවහොත් එහෙම වෙන්න පුළුවනි. නමුත් දැන් ඇති නවීන පහසුකම් නිසා එහෙම වෙන්න තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි. මේ නිසා මුත්‍රා පිටකිරීමේ යම් අපහසුතාවක් අසාමාන්‍යතාවක් දුටුවිට වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ පරික්ෂාවට ලක්වුණොත් මේ කරදරයෙන් මිදෙන්න පුළුවනි. ඒ වගේම එකතැනම වාඩිවෙලා ඉන්නේ නැතිව හොඳට ඇවිදලා දුවලා පැනලා ව්‍යායාම කරලා කඩිසරව හිටියොත් මත්පැන් දුම්පානය අත්හැරලා හොඳ එළවළු පළතුරු සහිත සෞඛ්‍යසම්පන්න ආහාර ගත්තොත් පිළිකාවට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නෑ ඔබට කරදර කරන්න.

 සුගත්