2017 ජුලි 08 වන සෙනසුරාදා

පිරිමින් හංගන රහස් ලෙඩ

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 7567

අපේ මේ සාකච්ඡා ආරම්භ කළ මුල් කාලයේ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ පැවැසුවේ ලංකාවේ පිරිමි තමන්ට තිබෙන ලිංගික ප්‍රශ්න ගැන එළිපිට වෛද්‍යවරුන් හා කතා කරන්නට යොමුවනවා අඩු බවය. ඒ අනුව බලන විට කාන්තා පක්ෂය වඩාත් විවෘතව ඉදිරිපත් වන බවය. විශේෂයෙන්ම තමා සේවය කරන ප්‍රදේශයේදී සිංහල ප්‍රජාව අතර මේ පසුබෑම දක්නට ඇතිබව ඔහු අපට පෙන්වා දුන්නේ ලිංගික සෞඛ්‍ය පිළිබඳ කතාබහට අපේ සමාජය තුළ තවමත් ඇත්තේ බොරු බියක් සහ ලජ්ජාවක් බව පවසමිනි. දේශයේ පාඨකයන් වෙනුවෙන් මේ ලිපි පෙළ ඉදිරිපත් කිරීමේ අරමුණ වන්නේද ඔවුන් වෙත මේ අංශය පිළිබඳ නිසි දැනුමක් ලබාදීමය.

පිරිමින් අතර ලොකුම ගැටලුව ලෙස සාකච්ඡා වන අප්‍රාණිකත්වයට අමතරව තවත් ලෙඩ රෝග බොහෝමයක් ලිංගාශ්‍රිතව ඇතිවිය හැකි යි. නමුත් මේවා ගැනද කතා කරන්නට බොහෝ දෙනා මැලිකමක් දක්වයි. ඒ නිසා දුරකතනයෙන් අමතා හෝ ලිපියකින් අමතා සිය ගැටලුව ඉදිරිපත්කර බෙහෙත් ඇත්නම් ඒවාත් තැපෑලෙන් ගෙන්වා ගන්නට තරම් අපේ අය මුලාවකට පත්ව සිටිති. මේ කියන ව්‍යාජ ලජ්ජාව, මුලාව දොර හැර දෙන්නේ හොර බේත් කඩවලටය. දොස්තර නාමධාරී ජාවාරම්කරුවන්ටය. 

අප්‍රාණිකත්වය හැරුණු විට පිරිමින්ට බලපාන ලෙඩ ගණනාවක්ම දැක්විය හැකිය. පිරිමින්ගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව රෝග ඇතිකරන ප්‍රධාන ඉන්ද්‍රියන් දෙකක් ඇති බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ පෙන්වා දෙයි. ඒවා නම් වෘෂණ සහ පුරස්ථි ග්‍රන්ථීන්ය. මේ ගැන දැන් අපි පිළිවෙළින් සාකච්ඡා කරමු.

සාමාන්‍යයෙන් වෘෂණ ආශ්‍රිතව හටගන්නා පිළිකා දුලබය. ඒවා බොහෝවිට තරුණ කාලයේදී දක්නට ලැබේ. නමුත් පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම හෝ විශාල වීම මෙන්ම එම ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා හටගැනීම වැඩිහිටි පිරිමින් අතර බහුලය. නමුත් වේලාසනින් හඳුනා ගත්තොත් මේවා සුවකරගත හැකිය.

වෘෂණ පිළිකා

මේ පිළිකාව ඉතා දුර්ලභ අතර සාමාන්‍යයෙන් වයස 15-35ත් අතර තරුණ උදවිය අතර දක්නට ලැබෙන්නකි. තම වෘෂණ කෝෂ ස්වයං පරීක්ෂාවකට ලක්කිරීම මගින් මුල් කාලයේදීම හඳුනාගතහොත් නිට්ටාවටම සුවකිරීමට දැන් හැකියාව තිබේ.
සාමාන්‍යයෙන් දරු කලල අවස්ථාවේ පිරිමි දරුවකුගේ වෘෂණ පිහිටන්නේ උදරය තුළය. එය පහළට එන්නේ පසුවය. සමහර අයගේ වෘෂණයක් එසේ පහළට පැමිණ වෘෂණ කෝෂ තුළ තැන්පත්ව නොතිබෙන්නට හැකිය. එවිට එම අවස්ථාව Undesended Testicle ලෙස වෛද්‍ය විද්‍යාව හඳුන්වයි. මෙසේ පහළට නොපැමිණ උදරය තුළ සිරවී ඇති වෘෂණ කුඩා කාලයේදීම ශල්‍යකර්මයක් මගින් නිසි තැනට ගෙන ඒමෙන් පිළිකා හටගැනීම වළක්වා ගන්නට හැකිය.

වෘෂණ පිළිකාව හටගන්නා මුල් අවදියේ දක්නට ලැබෙන්නේ වෘෂණයේ පැත්තක හටගන්නා ඝනකමැති වේදනා රහිත ගැටිත්තක් හැටියටය. තමන්ගේ වෘෂණ නිතිපතා ස්වයං පරීක්ෂාවකට ලක්කරන ඕනෑම අයකුට මෙය ලෙහෙසියෙන්ම හඳුනාගත හැකි බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් වෘෂණ පිළිකා වේදනාකාරී වන්නේ එය ඇතිවී කලක් ගියාට පසුවය. තම වෘෂණකෝෂ තුළ මෙබඳු අස්වාභාවික ගැටිත්තක් හසුවුවහොත්, එය වේදනාවක් නැතැයි කියා නිකම් බලා නොසිට වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුව ඒ ගැන උපදෙස් පැතිය යුතුය. එමගින් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුව පිළිකා අවදානමෙන් වැළැකිය හැකිය.

සාමාන්‍යයෙන් වෘෂණ ගැටිත්ත ඉවත්කළ පසු එතැන හිදැස පිරැවීම සඳහා කෘත්‍රිම ප්ලාස්ටික් වෘෂණයක් යොදනු ලබන බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ පෙන්වා දෙන්නේ එමගින් ශාරීරික විකෘතිතාවක් ඇතිවීම වළක්වන බව කියමිනි. එසේම අවශ්‍ය නම් වෛද්‍යවරයා ශල්‍යකර්මයට අමතරව ප්‍රතිපිළිකා ඖෂධ ප්‍රතිකාර මෙන්ම කිරණ ප්‍රතිකාරද නියම කරන්නට හැකිය.

දැන් ඉතින් මේ කතාව ඇසූ විට බොහෝදෙනා භීතියට පත්වෙන කාරණාවක් තිබේ. එනම් කෙනෙකුගේ වෘෂණයක් ඉවත්කළ විට ඔහුට තාත්තා කෙනෙක් වීමට බැරිද යන ගැටලුවය. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ පෙන්වා දෙන්නේ අනෙක් වෘෂණය සෞඛ්‍යමත් තත්ත්වයක ඇත්තේ නම් එබඳු කෙනෙකුට තාත්තා කෙනෙක් වන්නට කිසිම බාධාවක් නැති බවය. 

 සුගත්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00