2017 ජුලි 01 වන සෙනසුරාදා

උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතරද?

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2657

උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වුණත්, කාගේ හරි ඇඟේ උණ රෝගය සමඟ රතු පැල්ලම් හෝ ලප මතු වුණොත්  ඕනෑම කෙනෙකු බියට පත්වෙයි. විශේෂයෙන් කුඩා දරුවන් තුළ මේ තත්ත්වය සුලබ වන අතර දෙමාපියන් වහා දරුවා රෝහල් ගත කරන්නට පෙළඹෙති. ඩෙංගු මේ අතර ප‍්‍රධන වෙයි.

ඩෙංගු රෝගයේ දී උණ සමග රතු පැල්ලම් වැඩිපුර දකින්නට ලැබෙන්නේ දිව සහ විදුරුමස මතයි. මීට අමතරව ශරීරයේ තැනින් තැන රතු පැල්ලම් ඇති වන්නේ ඩෙංගු රෝගයට පමණක් නොවෙයි. උණ සමග ඇතිවන රතු පැල්ලම් දකින්නට ලැබෙන වෙනත් රෝග තිබෙනවා. ඒ සම්බන්ධව දැනුවත්ව සිටීම වැදගත් වෙනවා.

සරම්ප 

උණ සමඟ රතු පැල්ලම් දකින්නට ලැබෙන තවත් රෝග තත්ත්වයකි මේ. සරම්ප රෝගියාගේ කෙළ බිඳිති, නාසයේ ස‍්‍රාවයන් සමඟ තව කෙනෙකුට මෙය බෝ වෙයි. පුද්ගලයෙකු තුළට වෛරසය ඇතුළු වී දින 10ක් 14ක් ගත වූ පසුවයි. ඔහුට රෝග ලක්ෂණ ඇති වන්නේ රෝගය වැළඳී දින 4 – 5ක් පමණ වන විට උණ රෝගය වැඩි වී අඩු වන්නට පටන් ගන්නා අතර ඇඟ පුරා රතු පැහැ පැල්ලම් මතුවෙයි. මේ විදියට උණ අඩුවී යන කාලයට මෙම පැල්ලම් කන දෙපස සිට පහළට මුළු ශරීරය පුරාම පැතිර යයි. පැතලි රතු පැහැ ලප වන අතර, තදින් තද කළ විට නැවත මතුවේ. ඇතැම් විට මෙම ලප ඉහළට මතුවී හොඳින් අතින් අල්ලන්නටද පුළුවනි. මෙම ලප දින 09 ක් පමණ වන විට අඩුවී යයි. කට ඇතුළත හක්ක ප‍්‍රදේශයේ සුදු පැහැ පැල්ලම් (Koplik’s spots) දින 2 ක් පමණ ගත වන විට ඇති වී දින 5 - 6 පමණ වන විට අඩු වී යයි. කැස්ස, ඇසේ රතු පැහැය වැනි රෝග ලක්ෂණ ද ඇතිවෙයි.

රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප 

මවගෙන් දරුවාට ගර්භනී සමයේ දී සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස රුබෙල්ලා වැදගත් ස්ථානයක් හිමිකරගෙන තිබෙයි. රෝගී ශ්වසන පද්ධති ස‍්‍රාව හරහා අනෙක් පුද්ගලයින්ට වැළඳෙයි. රෝග බීජ ශරීර ගත වී දින 14ක් 21ක් ගත වූ පසුව රෝග ලක්ෂණ මතුවෙයි. ආරම්භයේ දී මඳ උණ ගතියක් පවතින අතර, පසුව රතු පැහැ ලප පැල්ලම් මතුවෙයි. මුලදී මූහුණ ප‍්‍රදේශයේ හට ගන්නා මේ ලප පසුව සිරුර පුරා ව්‍යාප්ත වෙයි.

දින 3 - 5 කින් මේ ලප නොපෙනී යයි. කුද්දැටි ඉදිමීමත් දකින්නට පුළුවනි. හන්දි අමාරුව, එන්කෙපලයිටිස්, හෘද පේශි ආසාදනය, රුධිර පට්ටිකා අඩුවීම වැනි අතුරු ආබාධ ඇති වෙයි. රෝගය වැළඳුණු පසු විශේෂ වෛද්‍ය ප‍්‍රතිකාර නොමැති අතර  පූර්ව ප‍්‍රතිශක්තීකරණය ලබාගෙන සිටීම වැදගත් වෙයි.

කවසාකි රෝගය 

මෙය තරමක් දුලබ රෝගයක් වුණත්, මෙම රෝගයෙන් පෙළෙන ළමයි ලංකාවෙන් ද විටින් විට වාර්තා වෙති. මාස 06 ත් වයස 04 ත් අතර වයසේ දරුවෝ මෙම රෝගයට බහුලව ගොදුරු වෙති. රෝගයට බලපාන හේතුව ස්ථීර ලෙසම හොයාගෙන නැතත්, ඇතැම් බැක්ටීරියාවන් නිකුත් කරන විෂ වර්ග මෙයට හේතු වෙතැයි අනුමාන කරති.

මෙම රෝගයේ දී කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ රුධිර නාල හානි වෙයි. හෘදයේ කිරීටක ධමනි වලටත් හානි සිදුවෙයි. මේ නිසා හෘදයාබාධ වැළඳී ළමයි මිය යති. රෝග ලක්ෂණ ලෙස දින 5 කට වඩා පවතින උණ, ඇස් රතුවීම, තොල් පැලීම, දිව තද රතු පැහැ වීම, ගෙල අවට වසා ගැටිති ඉදිමීම,  රතු පැල්ලම් සහ ලප මතුවීම දැකිය හැකියි.
මෙහි දී අත්ල හා පත්ල පළමුව රතු පැහැවී පසුව සම ගැලවී යාම හට ගනියි.

මෙනින්ගො කොකල් රෝගය 

Nesseria meningitides බැක්ටීරියාව නිසා ඇතිවන මෙනින්ගො කොකල් රෝගයේ දී උණ සමග ඇඟේ රතු පැහැ පැල්ලම් මතුවීම සිදුවෙයි. මෙම ලප මත පීඩනයක් යෙදුවද ඒවා නැති වී නොයයි. ඇතැම් රටවල මෙය වසංගතයක් ලෙස ඇතිවන රෝගයකි. මෙම රෝගයේ දී මෙනෙන්ජි පටල හෙවත් මොළයේ පටල ප‍්‍රදාහයද (මෙනෙන්ජයිටීස්) ඇතිවෙයි. මෙම රෝගය මගින් පැය කිහිපයක් ඇතුළත දරුවෙකු මිය යා හැකිය.

හර්පීස් වෛරසය ද ශරීරයේ පැල්ලම් ඇති කරන අතර මෙයින් ආකාර කිහිපයකට රෝග ලක්ෂණ මතුවිය හැකිය. ශරීරයේ සැරව බිබිලි, පැල්ලම්, සුදු පැහැ ඉදිමුණු සැරව ගෙඩි ලෙස මතුවිය හැකියි. මෙම රෝගකාරකයා සම හෝ ශ්ලේෂමල පටක හරහා ශරීරගත වෙයි.

පැපොල රෝගය 

දෙයියන්ගේ අසනීපය හෙවත් පැපොල ලෙස හඳුන්වන රෝගයේ දී රතු පැහැ ලප ද පසුව මේවා සැරව පිරී ගෙඩි බවට ද පත්වෙයි. රෝග කාරක Varicella zester වෛරසය ශරීර ගතවී දින 10 - 23 අතර කාලයේ දී රෝග ලක්ෂණ මතුවෙයි. උණ ඇතිවෙලා දින 3 - 5 ගත වන විට සැරව පිරී රතු පැහැ ගෙඩි ඇතිවෙයි. මෙම සැරව ගෙඩි ද්විතියිකව මෙනින්ජි පටල ප‍්‍රදාහය මෙන්ම ඇතැම් විට නිව්මෝනියාව, රුධිර වහනය වැනි අතුරු ආබාධ ඇති කරන හෙයින් මුල් අවස්ථාවේ දීම ප‍්‍රතිකාර ගැනීම වැදගත් ය. මේ අනුව පුද්ගලයෙකු විශේෂයෙන් කුඩා දරුවෙකුට උණ රෝගය සමඟ සමේ පැල්ලම්, ලප, සැරව බිබිලි මතුවන්නේ නම් වහාම රෝහල් ගත කර පළපුරුදු වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර ලබාගැනීම වැදගත්ය.