2017 ජුලි 01 වන සෙනසුරාදා

හතළිහ පැන්නාද? හරියන කණ්ණාඩිය තෝරාගමු

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 273

හතළිහ පැන්නායින් පසු එන ඇස් දුර්වලතාව හඳුන්වන්නේ හතළිස් ඇඳිරිය කියලයි. හුඟක් අයට මේ තත්ත්වය ඉක්මනින් හටගන්නේ නෑ. නමුත් ඇස් ආබාධ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන නිසා හතළිහට වැඩි නම් ඇස් පරීක්ෂාවකට යෑම සුදුසුයි.

හතළිස් ඇඳිරියේදී සිදුවන්නේ ළඟ සියුම් පෙනුම දුර්වල වීමකි. මෙම අවස්ථාව විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් බලපායි.මෙම සංසිද්ධිය සරල සාමාන්‍ය දෙයකි. අපේ ඇස තුළ අපිට පෙනුම ලබාදීමට අක්ෂි කාචයක් ඇති බව අපි දනිමු. මෙම අක්ෂි කාචයේ විශේෂත්වය වන්නේ අප බලන, බලන දුරට වක්‍රතාවය වෙනස් කරගනිමින් ප්‍රතිබිම්බය දෘෂ්ටිවිතානය මත (ස්නායු සෛල ස්ථරය) නාභිගත කර ගත හැකිවීමයි.

නමුත් අවුරුදු හතළිහ පමණ වන විට (අප වයසට යෑමත් සමඟ) කාචයේ මෙම නම්‍යශීලීභාවය ක්‍රමයෙන් අඩුවෙයි. එසේ අඩුවන විට ළඟ ඇති දෙයක් දෙස බැලූ විට කාචයට වක්‍රතාවය වෙනස් කරමින් ප්‍රතිබිම්බය දෘෂ්ටිවිතානය මත නාභිගත කරගැනීමට නොහැකි වෙයි. එවිට ප්‍රතිබිම්බය දෘෂ්ටිවිතානය පසුකරමින් පසුපසට යයි. ඒ නිසා අපට ළඟ පෙනුම අඩුවෙයි.

මෙහිදී අප සිදුකළ යුත්තේ පිටතින් බලයක් යොදමින් පිටුපසට ගිය ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මතට ලබාගැනීමයි. ඒ සඳහා අප කිරණ එකතු කරන උත්තල කාච පැළඳිය යුතුවෙයි.මෙලෙස උත්තල කාච යුගලයක් පැළඳීමෙන් ඉතා පහසුවෙන් මේ තත්ත්වයෙන් මිදීමට පුළුවන.

පුද්ගලයාගේ අවශ්‍යතාවය මත නිවැරදි කාච පිළිබඳ වට්ටෝරුවක් (Prescription) ලබාගන්නේ කෙසේද කියා බලමු.

මෙහිදී සඳහන් කළ යුතුව ඇත්තේ බොහෝ දෙනා තවමත් හිතුමතේට තමන්ට කැමති පරිදි සාප්පුවකින් මිලදී ගෙන හෝ පදික වේදිකාවෙන් මිලදී ගෙන, නැතිනම් යහළුවෙක්ගෙන් ඉල්ලා ගනිමින් තමන්ගේ අවශ්‍යතාවය පිරිමසා ගැනීම පිළිබඳවයි. මෙය ඉතාම වැරදි ක්‍රියාවකි.

පළමුව කළ යුත්තේ පෙනුම පිළිබඳ ගැටලුවක් ඇති ඔබ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු හෝ පුහුණුව ලත් දෘෂ්ටි විශේෂඥවරයකු වෙත යොමුවීමයි. එහිදී ඔබව නිවැරදි දෘෂ්ටි පරීක්ෂණයකට භාජනය කරනු ලබයි.එවිට ඔබට අවශ්‍ය කාච වට්ටෝරුව (Prescription) ලැබෙනවාට අමතරව අනාගතයේදී තමාගේ පෙනුමට තර්ජනයක් විය හැකි බොහෝ රෝගාබාධ හඳුනාගැනීමටද, නොදැන සිටි ශාරීරික රෝගාබාධ හඳුනාගැනීමටද අවස්ථාව සැලසෙනු ඇත. උදාහරණ දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්.

දෙනෙත පරීක්ෂා කිරීමෙන් පසු අපි අපගේ අවශ්‍යතාවයට සරිලන පරිදි එම වට්ටෝරුව ලබාගත යුතුය.

ගෘහණියක් නම් පුවත්පතක් බැලීමට, පුංචි මැහුම් වැඩක් කරගැනීමට වැනි කාරණා සඳහා අවශ්‍යතාවය මුල් වේ නම්, සම්පූර්ණ උපැස් යුවළ කියවීම සඳහා සාදාගත්තාට වරදක් නැත. (Reading glasses) නමුත් මතක තබාගත යුතු වන්නේ Reading glasses දමාගෙන දුර බැලීම නොකළ යුතු බවයි. Reading glasses මගින් දුර බැලූ විට ක්‍රම ක්‍රමයෙන් දුර බැලීමට Reading glasses අවශ්‍ය වන තත්ත්වයට පත්වෙයි.

එසේ වූ විට හොඳින් පෙනුණු දුර පෙනුමද තේරුමක් නැතිව අඩු වී යයි. Reading glasses හරහා දුර බැලීම වැළැක්වීමට ක්‍රමවේදයක් තිබේ. එනම් Bifocal කණ්ණාඩිය පාවිච්චියට ගැනීමයි.

Bifocal කණ්ණාඩියක කියවීමට ඇති බලය ඇත්තේ ඇස් කණ්ණාඩියේ පහළ කොටසෙහිය. ඉහළ කොටසේ ඒ සඳහා බලයක් නැත. එමනිසා ඒ හරහා දුර බලන විට සිදුවන්නේ තමන්ගේ සාමාන්‍ය ඇසින් දුර බලනවා වැනි ක්‍රියාවලියකි.
Bifocal වලද වර්ග කිහිපයක් ඇත. එම වර්ග පිළිබඳව දෘෂ්ටි විශේෂඥවරයාගෙන් නොපැකිලිව විස්තර අසා දැනගෙන තමන්ට වඩාත්ම සුදුසු වර්ගය තෝරාගත යුතුය.

Bifocal කාචයක් හරහා පරිගණකයක් බැලීමට අවශ්‍ය වූ විට බෙල්ල උස් කරමින් ඇස් කණ්ණාඩියේ යට කොටස Segment එක තුළින් පරිගණකය බැලිය යුතුය. මෙය දිගින් දිගටම පරිගණක භාවිත කරන අයට ඉතාමත්ම පීඩාකාරී තත්ත්වයකි. එලෙස කාලයක් බැලූ විට එය බෙල්ලේ ඇති මාංශපේශීන්ට බලපා ප්‍රතිකාර කළ යුතු තත්ත්වයකට පත්විය හැක.

එමනිසා පරිගණක භාවිත කරන අයට Bifocal කණ්ණාඩියක් නුසුදුසුය. එවැනි අයටත් වයස්ගතභාවය පෙන්වීමට අකමැති අයටත් Segment වැඩි Virifocal කණ්ණාඩිය වෙත යොමුවිය හැක.Virifocal කණ්ණාඩියක දුර පෙනුම, මැද දුර පෙනුම, ළඟ පෙනුම යන දුරවල් තුනකටම බැලීමට හැකියාව ඇත.

තවත් වැදගත් කරුණු කිහිපයක් වන්නේ ඔබ පරිගණකය දිගටම භාවිත කරන්නේ නම්, ආලෝක සංවේදී නම්, රාත්‍රියේ වාහන පැදවීම අපහසු නම්, එම තත්ත්වයන් අවම කරගත හැකි විශේෂිත Malticoated කාච ඇස් කණ්ණාඩි ලබාගැනීමයි.එසේම හතළිස් ඇඳිරිය සඳහා ඇස් කණ්ණාඩිය නිතරම භාවිත කළ යුතු නොවෙයි. තමන්ට අවශ්‍ය වේලාවට පාවිච්චි කිරීමට පමණක් පුරුදුවීම වරදක් නොවෙයි.

 Web MD

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00