2017 ජුනි 24 වන සෙනසුරාදා

ඇස්වලට නැතිවම බැරි විටමින් ඒ

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 746

රෙටිනෝල් (retinol), කැරොටිනෝයිඩ් ඇසිඩ් (carotenoid acid) යන විවිධ නම් වලින් හඳුන්වන විටමින් ඒ යනු මේදයේ ද්‍රාව්‍ය විටමිනයක් ලෙස හැඳින්විය හැකිය. එලෙසම විටමින් ඒ (Vitamin A) යනු අපේ ශරීරයේ පැවැත්මට ඉතා වැදගත් සාධකයක් ලෙස හැඳින්විය හැකිය. මන්ද, ඉතා සුළු ප්‍රමාණ වලින් අවශ්‍ය වුවද ශරීරයේ ක්‍රියාකාරීත්වයේදී විටමින් ඒ (Vitamin A) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බැවිනි. ඒ අනුව සමබල ආහාර වේලක ඉතා වැදගත් සංඝටකයක් ලෙස විටමින් ඒ හඳුන්වා දිය හැකිය.

 ශරීරයේ පැවැත්මට විටමින් ඒ වල වැදගත්කම කුමක්ද?

ඇසෙහි මනා ක්‍රියාකාරීත්වය සහ විටමින් ඒ

විටමින් ඒ වල ප්‍රධාන වැදගත්කම ලෙස දැක්විය හැක්කේ පෙනීමට සම්බන්ධව එහි ඇති කාර්යභාරයයි. අපේ ඇසෙහි ක්‍රියාකාරීත්වය රඳා පවතිනුයේ ආලෝකය වැටීමත් සමඟම සිදුවන ඉතා සංකීර්ණ රසායනික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව මෙම ක්‍රියාවලියේ අවසාන වශයෙන් දෘෂ්ටික ස්නායුව උත්තේජනය වීම සිදුවේ. එමගින් අපට පෙනීම ලැබේ. නමුත් මෙම ක්‍රියාවලිය අඩු ආලෝකයේදී සිදුවන්නේ ඉතා අක්‍රමවත් ලෙසටය. මෙය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා විටමින් ඒ අත්‍යවශ්‍ය වේ.

සමෙහි පැවැත්ම සහ විටමින් ඒ

සමෙහි බාහිර සෛල ස්ථරය අපිචර්මය ලෙස හඳුන්වනු ලැබේ. ඒ අනුව මෙම අපිචර්මයේ මනා ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ විටමින් ඒ වල සැපයුම මතය. ඒ අනුව සමහර සමේ රෝග සඳහා ප්‍රතිකාරවලදී සහ රෑපලාවන්‍ය කටයුතුවලදී විටමින් ඒ භාවිත කිරීම සිදුවේ.

ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සහ විටමින් ඒ ප්‍රතිශක්තීකරණ පද්ධතිය යනු විවිධ අවයව සහ සෛල වර්ග රාශියක එකතුවකි. එය බාහිර රෝගකාරක වලින් අපව ආරක්ෂා කිරීමට ඉතා විශිෂ්ට කටයුත්තක් සිදු කරයි. සම හා විවිධ ආවරණ පටක රාශියක ක්‍රියාකාරීත්වය රඳා පවතිනුයේ විටමින් ඒ මතය. ඒ අනුව මනා ප්‍රතිශක්තීකරණයක් සඳහා විටමින් ඒ ඉතා වැදගත් වේ.

ජානවල නියමිත ක්‍රියාකාරීත්වය සහ විටමින් ඒ ජාන යනු අපේ ශරීරයේ ඉතා වැදගත් කොටසකි. සෛල න්‍යෂ්ටියේ ඇති වැදගත්ම කොටස ලෙස මේවා දැක්විය හැකිය. මේවා අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පාලනයේදී හා ඉදිරි පරම්පරාවට දත්ත රැගෙන යාමේදී ඉතා වැදගත් වේ. ජාන ගොඩනැගීමේ කාර්යයේදී අත්‍යවශ්‍යයම සාධකයක් වන්නේ විටමින් A ය.

මෙලෙසම බොහෝ අවයව හා පද්ධතිවල ක්‍රියාකාරීත්වය සඳහාද විටමින් ඒ ක්‍රියාකාරීත්වය ඉතා වැදගත්ය.

 විටමින් ඒ ඌනතාවය හඳුනාගන්නේ කෙසේද??

මෙහි වැදගත්ම හා මූලිකම රෝග ලක්ෂණය ලෙස සැඳෑ කාලයේ නොපෙනීමයි. (අඩු ආලෝකයේ/ night blindness)

 විටමින් ඒ ශරීරයට ලබාගන්නේ කෙසේද?

මූලිකවම ආහාර මේ සඳහා වැදගත් වේ. කැරට් වැනි කහ පැහැති ආහාරවල වැඩි වශයෙන් විටමින් ඒ අඩංගු බව සඳහන් වෙනවා. ඊට අමතරව අල, බතල, නිවිති වැනි ශාක ආහාර මෙන්ම පීකුදු වැනි සත්ව ආහාරවලද මේවා දක්නට ඇත. එයට අමතරව අපට පෙති වශයෙනුත් මේවා ලබාගත හැකි වෙනවා. නමුත් විටමින් ඒ විෂ විය හැකි තත්ත්ව ඇතිවිය හැකි නිසා වෛද්‍ය උපදෙස්වලින් තොරව ඒවා ලබා නොගත යුතුයි.