2017 ජුනි 10 වන සෙනසුරාදා

ස්වභාවික තිරිහන් බේත තැඹිලි

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2529

තැඹිලි ලංකාවට ආවේණික ගසකි. තැඹිලි වර්ග කිහිපයක්ම ලංකාවේ ඇත. දේශීය වෙදකමෙහිලා අනාදිමත් කාලයක පටන් තැඹිලි භාවිත කර ඇති බවට සාක්ෂි තිබේ. තැඹිලි වතුර මේ ලොව ඇති සුපිරිසුදුම පානයක් වෙයි. මාස 7, 8ක් පුරා ජෛව පිරිසුදු වීමේ ක්‍රියාවලියට ලක්වී නිපදවෙන තැඹිලි වතුර, ජීවානුහරිතය. එහි සංයුතිය අපගේ සෛල ප්ලාස්මාවේ, රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්ම සමාන වෙයි. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම සුළු වශයෙන් ඇති ස්වභාවික සීනි නිසාවෙන් අයනිකතාව අතින් විශිෂ්ට ගුණ දක්වයි. එමෙන්ම තැඹිලි වතුර හා ළා මදය ආහාරමය තන්තුවලින්ද පොහොසත්ය. මැන්ගනීස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, හා විටමින් සී, බී හා ඊ ද ඇත. තවද මෙහි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක, ජෛව ක්‍රියාකාරී එන්සයිම වර්ග, ශාක රසායන වර්ග, ශාක හෝමෝන වර්ග සහ හදවතට හිතකර මේදය ද අන්තර්ගත වෙයි.

වයසට යාම වළක්වා තරුණකම රැකදීමටද සමත් තැඹිලි වතුරෙහි තිබෙන ආශ්චර්යමත් ගුණ සමුදායෙන් බිඳක් මෙන්න.

බටහිර ඖෂධ අධි මාත්‍රාවලින් ශරීරගතවීමකදී, (Over dose) ඒවායේ විෂහරණය කිරීමටත්, ආහාර වර්ගවල තිබෙන පළිබෝධනාශක ශරීරයට විෂ සහිත ශේෂ කොටස් මෙන්ම ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසා සිදුවන හානිය අවම කිරීමටත් පොල්, තැඹිලි වතුර ඉවහල් වෙයි.

තැඹිලි තුළ ඇති මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කෙරෙන නිසා රෝගවලින් අප ආරක්ෂා කෙරෙන බවත් සොයාගෙන තිබේ.
දියවැඩියා රෝගය පාලනයෙහිලා ද තැඹිලි වතුර වැදගත් වන බව සොයාගෙන ඇත.

තැඹිලි වතුරෙහි තිබෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා හෘදයාබාධ හා අධි රැධිර පීඩනය වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස, විද්‍යාඥයන් විසින් තැඹිලි වතුර හඳුන්වා දී ඇත.

තැඹිලි වතුර මිලි ලීටර් 100ක පොටෑසියම් මිලිග්‍රෑම් 250ක් පමණ තිබෙන බැවින් මෙය හදවත රකින විශිෂ්ට පානයකි. තැඹිලි වතුරෙහි අහිතකර කොලෙස්ටරෝල් නොමැති අතර, අධ්‍යයනවලදී හෙළිවී ඇත්තේ, අපගේ සිරැරේ තිබෙන අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමට ඉවහල් වන, හිතකර කොලෙස්ටරෝල් (HDL) මට්ටම තැඹිලි වතුර බීම නිසා ඉහළ යන බවයි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, මුත්‍රා ආසාදන, වකුගඩු රෝග වළක්වයි

රුධිර කැටි ඇතිවීම වළක්වාලන ගුණයක්ද තැඹිලි වතුරෙහි අඩංගු වන බැවින්, දරුණු හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලින් ඇතිවන අවදානම අඩුකරගන්නට ද තැඹිලි වතුර පානය ඉවහල් වන බව සොයාගෙන ඇත.

සයිටොකයිනීන් නමැති රසායනයෙන් පොහොසත් ආහාර සුලභව ලබාගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යාමේදී, මතුවන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැකගැනීමටත් ඉවහල් වෙයි. පොල්, කුරැම්බා සහ තැඹිලි වතුර වනාහි සයිටොකයිනීන් වලින් පරිපූර්ණ ආහාරයන්ය. 

සයිටොකයිනීන් මගින් වයසට යාම පාලනය කිරීමට අමතරව, නිරෝගි සෛල විභාජනය යහපත්ව පවත්වාගෙන යමින්, පිළිකාමය සෛල විනාශ කිරීමටත් හේතුවන බව විද්‍යාඥ බ්රෑස් ෆීෆේ අවධාරණය කර ඇත.
පොල්, කුරුම්බා සහ තැඹිලි වතුර, පිළිකා ඇතිවීමට හේතුවන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින් ද පොහොසත් බව සොයාගෙන ඇත.

වකුගඩු තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසා වකුගඩුවලට සිදුවන හානි වැළැක්වීම තැඹිලි වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව, පර්යේෂකයන් පෙන්වා දෙයි. එබැවින් මත්පැන්, වස විස සහ බැර ලෝහ නිසාවෙන් සිදුවන වකුගඩු නරක් වීම පාලනය කිරීමට ද තැඹිලි වතුර ප්‍රයෝජනවත් වනු ඇත.

මුත්‍රාශයේ ගල් දියකර දමන්නටද තැඹිලි වතුර ඉවහල් වන බව සොයාගෙන තිබේ. අනෙක් අතට තැඹිලි වතුර හොඳ මුත්‍රකාරකයක් ද වෙයි. (Diuretic) මුත්‍ර හොඳින් පහවීමටත්, මුත්‍ර මාර්ගයේ ඇතිවන ආසාදන සුවවීමටත් පොල්, තැඹිලි වතුර හොඳ ඖෂධයක් ලෙස සැලකේ.

පොල් සහ තැඹිලි වතුර සීනි සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇතිවන කෑදරකම පහකරන බැවින්, බර අඩුකර ගැනීමට කදිම පානයක් ලෙස යොදාගැනීමට හැකිය. අනෙක් අතට විටමින් සී සුලභ ආහාර ලබාගන්නා උදවිය බර පාලනය කරගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති අධ්‍යයනයකදී හෙළි වී ඇත. තැඹිලි වතුර විටමින් සී වලින් ද අනූනය.

තැඹිලි වතුරෙහි සින්ක් හා සෙලිනියම් වැනි ඛනිජ ලවණ වර්ග තිබෙන බැවින්, ලිංගික සරුභාවයටත්, මඳසරුභාවය දුරුකිරීමටත් තැඹිලි වතුර ගුණදායක බව පැවසෙයි.

තැඹිලි වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබාගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරැරට උරාගැනීමටත් තැඹිලි වතුර සහාය දක්වන බව සොයාගෙන ඇත.

මහළු උදවියට හා ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබාදිය හැකි විශිෂ්ට පෝෂණීය පානයකි.

තැඹිලි වතුර එළකිරිවලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ටය. 

මව්කිරිවල තිබෙන ලෝරික් අම්ලය පොල් සහ තැඹිලි වතුරෙහිද තිබෙන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ගවලට වඩා තැඹිලි වතුර ඉතා ගුණදායකය. 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00