2017 ජුනි 10 වන සෙනසුරාදා

මාරක ලෙඩ හදන විටමින් කෑම

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1016

වැඩිපුර එළවළු හා පලතුරු අනුභව කිරීම මගින් පිළිකා, දියවැඩියාව සහ හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවම වන බව දැන් තහවුරු කර ඇති වෛද්‍ය විද්‍යාත්මක කාරණාවකි. එයට හේතුව ඒවායේ අන්තර්ගත ඇන්තොසයනින්, ප්ලැවනොයිඩ, බීටා කැරොටින්, ලයිකොපීන්, විටමින් ඊ, විටමින් සී වැනි පෝෂක කොටස් සහ ශාක රසායනික ද්‍රව්‍යයන්ය. මෙකී ශාක රසායනික ද්‍රව්‍යයන්ගේ පැවැත්ම සහ ඒවායින් මිනිස් සිරුරට ලැබෙන දිව්‍යමය ගුණයන් පිළිබඳ වන දැනුමෙන් සමාජය පොහොසත් වීම හා ඒවා සම්බන්ධයෙන් වන උනන්දුව වැඩි වීම නිසා ඒවා වෙන් වෙන්ව නිස්සාරණය කරගනිමින් ආහාර අනුපූරක (Food supplements) පෙති හා කරල් ලෙසින් විකිණීමට ඉදිරිපත් කිරීම ද කලෙක පටන් සරුසාරව සිදුකෙරෙයි. ඇත්ත කතාන්දරය වන්නේ මෙකී පිළිකා වළක්වන ස්වභාවික විටමින් වර්ගවල කෘත්‍රිම මාදිලිය ආහාර අනුපූරකයන් ලෙසින් පමණ ඉක්මවා ලබාගැනීම පිළිකා ඇතිවීමේ අවදානම වැඩිකරන්නට හේතුවන බවය. එය මේ වන විට තහවුරැ වී තිබේ. කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පිළිකා මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය ටිම් බයර්ස් පෙන්වා දෙන්නේ විටමින් ඒ (බීටා කැරොටින්) ආහාර අතිරේකයන් ලෙසින් පමණ ඉක්මවා ගැනීම හෘද රෝග අවදානම සහ පිළිකා අවදානම සියයට 20කින් වැඩි කිරීමට ඉවහල් වන බවය.

දි ඇමෙරිකන් ජනරල් ඔෆ් ක්ලිනිකල් න්‍යුට්‍රිෂන්ස් වෙබ් අඩවියේ පළකෙරී තිබුණු පර්යේෂණ පත්‍රිකාවක සඳහන්ව තිබූ අයුරු කෘත්‍රිම විටමින් සී ප්‍රභේදය වන ඇස්කොබික් ඇසිඩ් සම්බන්ධයෙන් කළ පර්යේෂණයක ප්‍රතිඵල අප තැතිගන්වන සුළුය. එනම්, කෘත්‍රිම විටමින් සී වලින් හෝ විටමින් බී මාදිලියක් වන ඇස්කෝබික් අම්ලයෙන් කෘත්‍රිමව සරුකර ඇති ආහාර අනුපූරක හෝ සකස් කළ ආහාරවලින් දිනකට මිලිග්‍රෑම් 1,000 ඉක්මවා ලබාගැනීමෙන් කෙනෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කරන්නටත්, ශක්තිය බෙලහීන කරන්නටත්, සෛලවල මයිටකොන්ඩ්‍රියාහි ක්‍රියාකාරිත්වය අඩපණ කරන්නටත් ඒවා හේතුවන බව සොයාගෙන තිබීමය. මෙම තත්ත්වය කුඩා ළමුන් සම්බන්ධයෙන් භයානක ලෙස බලපාන බව වාර්තා වේ.
ස්වභාවික විටමින් සහ විවිධ පෝෂක කොටස් අන්තර්ගත වන්නේ යැයි ලේබල්වල සඳහන්ව තිබෙන නා නා ප්‍රකාරයේ කිරිපිටි වර්ග ඇතුළු ආහාර ද්‍රව්‍යවල ඇත්තේ කිසිසේත්ම ස්වභාවික පෝෂකයන් නොවන බව පැහැදිලි කරගන්නට ඉවහල් වන තවත් කාරණාවක් වන්නේ බොහොමයක් ස්වභාවික පෝෂක කොටස් අධික උෂ්ණත්වයකට ලක් කිරීම වැනි නිෂ්පාදන ක්‍රියාවලියේදී විනාශ වීමය. එබැවින් ලේබල්වල සඳහන් කර ඇත්තේ කෘත්‍රිමව එකතු කළ විටමින් වර්ග සහ පෝෂක කොටස් බව පැහැදිලි වෙයි. තවත් වැදගත් කාරණාවක් වන්නේ ඇතැම් කෘත්‍රිම විටමින් වර්ග අපගේ ශරීරයේදී ක්‍රියාත්මක වන්නට නම් තවත් පෝෂක කොටස්  හා විටමින් වර්ග යහමින් අවැසි වීමය. උදාහරණයක් ලෙස ෆෝලික් ඇසිඩ්වලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නම්, විටමින් සී, නියැසින් සහ විටමින් බී 12 යහමින් අවැසි වෙයි. ඒ නිසා ෆෝලික් ඇසිඩ් පෙති පමණක් අහුරු ගණන් ගිල්ලවීම සහ ෆෝලික් ඇසිඩ්වලින් සරැකර ඇති කෘත්‍රිම ආහාර ගිලදැමීම ගඟට ඉනි කැපීමක් බව පැහැදිලි වෙයි.
කෘත්‍රිමව නිෂ්පාදනය කළ විටමින් ඩී ප්‍රභේද (Calcitriol, Doxercalciferol, Calcipotriene) ආකාර සියල්ලම පමණ ඉක්මවා ගැනීම විෂ සහිත වන බව සොයාගෙන තිබේ. එහෙත් පෙරවරු හිරු එළියෙන් ලැබෙන විටමින් ඩී කොපමණ ලැබුණත් පමණ ඉක්මවා යාමක් නොමැත. උදේට අත් පා සහ මුහුණට හිරු එළිය විනාඩි 15ක් 25ක් පමණ ලැබීමෙන් කෙනෙකුගේ දෛනික විටමින් ඩී අවශ්‍යතාවය සපුරා ගන්නට පිළිවන. 

මනුෂ්‍යයාගේ නිරෝගී යහපැවැත්ම උදෙසා යකඩ, කැල්සියම්, අයඩින්, තඹ වැනි ඛනිජ ලවණ වර්ග කොපමණ වැදගත් වුවද ආහාර අතිරේක ලෙස සහ කෘත්‍රිමව ඒවා පමණ ඉක්මවා ලබාගැනීම අතිශයින්ම භයානකය. උදාහරණයක් ලෙස යකඩ සහ කොපර් වැඩිවීම සිරුර තුළ විනාශකාරී නිදහස් මුක්ත ඛණ්ඩක නිෂ්පාදනය වන්නට හේතුවකි.

මෙසේ වන්නට හේතුව ලෙසින් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, ස්වභාවික ආහාරවල පවතින ශාක රසායනික ද්‍රව්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයන් විටමින් වර්ග, විවිධ ඛනිජ ලවණ වර්ග සහ විවිධ ශාක රසායනික ද්‍රව්‍යයන් එකිනෙකා සමඟ දක්වන අන්තර් සම්බන්ධතා නිවැරදි ලෙස හඳුනාගන්නට නවීන විද්‍යාව තවමත් අපොහොසත් වීමය. සරලව කිවහොත් ස්වභාවික ආහාරයක අන්තර්ගත වන බීටා කැරොටින් හුදෙකලාව නොපවතින අතර, ආහාරයේ ඇති විවිධ ජෛව කොටස් හා සම්බන්ධව ක්‍රියාකාරී වන්නේ නම් පමණක් පිළිකා මර්දන ගුණයන් හා අනිකුත් හිතකර ප්‍රතිඵලයක් ලැබෙන බවය. මේ අනුව ආහාරයක්, ආහාරයක් ලෙසින්ම අනුභව කරනු විනා ආහාරයක අන්තර්ගත එක් එක් කොටස් වෙන් වෙන්ව ගිලදැම්මවීමේ වෙළෙඳපොළ ක්‍රමවේදය සෞඛ්‍ය ආරක්ෂිත නොවන බව පැහැදිලිය. මෙකී විද්‍යාත්මක කරැණු කාරණාවලින් යළි යළිත් සනාථ වන්නේ, අහවල් විටමින්වලින් සරැකර ඇතැයි කියන ආහාර ද්‍රව්‍ය සඳහා ඉදිරිපත් කරන ආශ්චර්යවත් වෙළෙඳ පාඨයන්ද ව්‍යාජ මවාපෑම්ය බවය. නිරෝගී බවේ රහස් සැඟව ඇත්තේ, ක්‍රියාශීලී ජීවන රටාව මෙන්ම, ස්වභාවික පලතුරැ සහ එළවළු වලින් ලබාගන්නා පෝෂණය තුළය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00