2017 ජුනි 10 වන සෙනසුරාදා

ඔබටත් ෆ්‍රෙෂර්ද? කියවලාම බලන්න

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3544

ගැහැනු පිරිමි අතර රුධිර පීඩනය

තරුණ ගැහැනු අයගේ රුධිර පීඩනය තරුණ පිරිමි අයගේ රුධිර පීඩනයට වඩා මදක් අඩුයි. නමුත් මැදිවයසේදී මේ තත්ත්වය වෙනස් වෙයි. වැඩිහිටි ගැහැනු අයගේ රුධිර පීඩන අගයන් වැඩිහිටි පිරිමි අයගේ රුධිර පීඩන අගයන්ට වඩා මදක් වැඩිවෙයි. මෙයට හේතුව වයස්ගතවීමේදී ගැහැනු අය මුහුණදෙන ආර්ථවහරණය තත්ත්වයේදී ඇතිවන හෝමෝන වෙනස්වීමයි. ඒ වගේම ජානමය පසුබිම අනුවත් රුධිර පීඩන අගයන් වෙනස් වේ. සමහර අයගේ ළඟම ඥාතීන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන විට ඔහුට හෝ ඇයට ද අධි රුධිර පීඩනය වැළඳීමේ සම්භාවිතාව වැඩියි. ඒ වගේම රට රටවල විවිධ ජන කොටස් අතර ඔවුන්ගේ ජානමය පසුබිම අනුව රුධිර පීඩන අගයන් වෙනස් වෙයි. උදාහරණයකට අමරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ගේ රුධිර පීඩන අගයන් සුදු ජාතිකයන්ට සාපේක්ෂව වැඩියි.

අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා කියන්නේ කොහොමද?

සාමාන්‍ය රුධිර පීඩන අගයන් වනුයේ 120/80mmHg. මෙහි 120 යනු හදවත හැකිලෙන විට ඇතිවන ආකුංචන රුධිර පීඩනයයි. 80mmHg යනු හදවත ඉහිල්වන විට ඇතිවන විස්ථාර රුධිර පීඩන අගයයි. නමුත් වැඩිහිටියෙකුගේ රුධිර පීඩනය 140/90mmHg දක්වා වැඩිවෙන්න පුළුවන්. නමුත් ඊට වඩා රුධිර පීඩනය වැඩිවෙනවා නම් ඔහු හෝ ඇය අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා කියල කියන්න පුළුවන්. නමුත් එම තීරණයට එළඹීමට පෙර වෛද්‍යවරුන් අවස්ථා කීපයකදීම රුධිර පීඩන දත්තයන් නිරීක්ෂණය කරනවා. මොකද සමහර අයට වෛද්‍යවරයකු දැක්කහම වුණත් රුධිර පීඩන අගයන් වැඩිවෙනවානේ.

අධි රුධිර පීඩනය ඇතිවීමට හේතු මොනවාද?

ජානමය සාධක නිසා අධි රුධිර පීඩනය ඉහළ යයි.

අධික තරබාරැකම නිසා අධි රුධිර පීඩනය වගේම වෙනත් රෝග රැසකටද අත වනනවා. තරබාරැ අයගේ රුධිරය මේද කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම නිසා ඒවා රුධිරනාල අභ්‍යන්තරයේ තැන්පත් වී කුහරය කුඩාවෙන නිසා රුධිර පීඩනය වැඩිවෙනවා. ඒ වගේම රැධිරයේ මේද කොටස් වැඩි නිසා රුධිරයේ ඝනත්වය වැඩි වෙනවා. එවිටද රුධිර පීඩනය වැඩිවෙනවා. ඊට අමතරව තරබාරු අයගේ දේහ ප්‍රමාණය වැඩි නිසා හදවතට වැඩි වැඩ කොටසක් කරන්න වෙනවා රුධිරය පොම්ප කරන්න. එතකොටත් රුධිර පීඩනය වැඩිවෙනවා.

අධික මත්පැන් ගන්නා අයගේ අධි රුධිර පීඩනය දැකිය හැකියි. නමුත් මත්පැන් ගැනීම අඩුකළ විට රුධිර පීඩන අගයන්ද ක්‍රමයෙන් අඩුවෙනවා.

අධික ලුණු පරිභෝජනයද අධි රුධිර පීඩනයට හේතුවිය හැකියි. මේ ගැන විවිධ මතභේද වාද විවාද පවතිනවා. නමුත් රුධිර ප්ලාස්මාවේ ලුණු අධිකව පවතින විට ඒවා රඳවා ගැනීමට වැඩි ජල ප්‍රමාණයක්ද තබාගත යුතු නිසා තරල ප්‍රමාණය වැඩි වී රුධිර පීඩන අගය වැඩිවීමට හේතුවෙනවා.

මානසික ආතතිය ඇතිවන විට රුධිර පීඩනය වැඩිවෙනවා. ඉස්සරවෙලා විස්තර කළ විදිහට ආතතිය ඇතිවිට ඇඩ්‍රිනලින්, කෝටිසෝල් වැනි ආතති හෝමෝන වැඩිවෙලා හෘද සංකෝචන වේගයත් වැඩිවෙනවා. ඒ වගේම ධමනි සංකෝචනය වෙනවා. මේ නිසා රුධිර පීඩන අගයන් වැඩිවෙනවා.

දුම්පානය නිසාද අධි රුධිර පීඩනය ඇතිවෙනවා. දුම්කොළවල ඇති නිකටින් උත්තේජකයක් වන බැවින් හෘද සංකෝචන වේගයද වැඩි කරනවා. ඒ නිසා දුම්පානයෙන් වෙන්වීම ඉතා ප්‍රයෝජනවත්.

අධිවෘක්ක ග්‍රන්ථිවල ඇතිවන අර්බුද, ඉදිමුම් නිසාද අධි රුධිර පීඩනය ඇතිවෙනවා. මේ තත්ත්වයේදී ඇඩ්‍රිනලින් හෝමෝනය වැඩියෙන් ස්‍රාවය වෙනවා.

වකුගඩුවල රෝගාබාධ නිසාද අධි රුධිර පීඩනය ඇතිවෙනවා. 

අධි රුධිර පීඩනය වැළඳුණු විට ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මෙම රෝගය ඇතිවීම වළක්වා ගැනීමට පියවර ගන්න එකත් එකසේ වැදගත් වෙනවා. අධික තරබාරුව පාලනය කිරීම, අධික මේද කොලෙස්ටරෝල් අඩංගු ආහාර සීමා කිරීම, මත්පැන් හැකිතාක් දුරට සීමා කිරීම හෝ නතර කිරීම, දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම මිදීම, අධික ලුණු සහිත ආහාර සීමා කිරීම, අධික සීනි ආහාර සීමා කිරීම (දියවැඩියාව හා අධි රැධිර පීඩනය අතර සම්බන්ධයක් ඇති නිසා) වගේම කායික ව්‍යායාමවල නිතර නිතර යෙදීමත් මානසික සැහැල්ලුභාවය නිරතුරුවම දිවියේ පවත්වා ගැනීමත් හරිම වැදගත්.