2017 මැයි 27 වන සෙනසුරාදා

ගොටුකොළ දිවඔසුව

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3738

ලංකාවේ අපට ගොටුකොළ අමුතු දෙයක් නොවේ. ගොටුකොළ මැල්ලුම, ගොටුකොළ කැඳ අපේ ආහාර අතර ඉස්සර නම් මුල්තැන ගෙන තිබූ දෙයක්. දැන් දැන් නැවතත් අපේ ආහාර සංස්කෘතියේ, ජීවන රටාවේ ඇති වෙමින් පවතින වෙනසත් එක්ක ගොටුකොළවලට හොඳ ඉල්ලුමක් උදාවෙලා තියෙනවා. මේ නිසා ගොටුකොළ වල ඇති ගුණය ගැන අපි පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා හිතුණා.

අපේ රටේ පැරැන්නන් ගොටුකොළ හැඳින්වූයේ දීර්ඝායුෂ ලබාදෙන මොළය මතකය, නුවණ වඩවන සොබාවික දිව්‍ය ඖෂධයක් හැටියටයි. නමුත් ගොටුකොළවල ඇති විස්මිත ගුණ සමුදාය එපමණක්ම නොවේ. දීර්ඝායුෂ ලබාදීම ගැන ගොටුකොළවලට ඇත්තේ ඉතා පැරැණි වාර්තාවක්. දිනපතා ආහාරයට තමන් ගොටුකොළ අනිවාර්යයෙන්ම එක්කර ගත් නිසා අවුරුදු 256ක් ජීවත්වීමට හැකිවූ බවට චීනයේ ශාඛ විද්‍යාඥයකු හා ආගමික ගුරුවරයකු වන ලී සින්ග් යූඒන් සටහන් කර තිබෙනවා.

මතක ශක්තිය වැඩි කිරීමටත්, මොළයේ සෛල නැවත වර්ධනයටත්, ස්නායුක හා රැධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත්, ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව සොයාගෙන තිබෙනවා.

නුවණ වර්ධනය කරගන්නත්, මතකය වැඩිකර ගන්නත් කියාපු බේත ගොටුකොළ  බව නවීන පර්ෙය්ෂණ මගිනුත් සනාථවෙලා තියෙනවා. කිසිම අතුරු ආබාධයක් රහිතව මොළේ වැඩෙන්න කියාපු බේත ගොටුකොළ බව සනාථ කළ එක පර්ෙය්ෂණයකදී දිනපතා පිටිකළ ගොටුකොළ ග්‍රෑම් භාගයක් භාවිතයට ගත් දරුවන්ගේ මතක ශක්තිය දැනුම අවධානය ඒකාග්‍රතාව මාස 06න් ඉහළ ගිය බව සනාථ වෙලා තියෙනවා. ගොටුකොළ තුළ අඩංගු රසායන මගින් මොළයේ අර්ධ දෙක අතර කටයුතු සක්‍රීය කරන බවයි වාර්තා වී ඇත්තේ.

ගොටුකොළ භාවිතාව මගින් ස්නායු අග්‍ර හොඳින් වර්ධනය වන බවත් ඒ නිසාම ශරීරයේ පූර්ණ ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත් සනාථ වී හමාරයි. ඒ වාගේම අවපීඩනය හෙවත් විශාදය, කාංසාව, නින්ද නොයාම වගේ අද සමාජයේ බහුල රෝග රැසකට හොඳම බේත ගොටුකොළයි.

හොඳ රුධිර සැපයුමක් සිරැර පුරා පවත්වා ගන්නටත්, රුධිරයට පෝෂණය සැපයීමටත් ගොටුකොළ සමත්. මේ නිසා හොඳ අඛණ්ඩ ඔක්සිජන් සාන්ද්‍රනයක් සහ අත්‍යවශ්‍ය පෝෂණ සැපැයුමක් ශරීරයට ලැබෙන නිසාම ශරීරයේ තරුණ බව රැකදීමට එයට හැකියි.

ගොටුකොළ ගැන සඳහන් වෙන තවත් වාර්තාවකට අනුව එහි ඇති සුවකිරීමේ ගුණය දැන් තහවුරු වී තියෙනවා. ඒ අනුව ගොටුකොළ හෙපටයිටිස්, උදරයේ තුවාල, පාචනය, උණ. ඇදුම, අපස්මාරය, මානසික වෙහෙස නසන අතරම සිපිලිස් කියන සමාජ රෝගයටත්, සොරයිසිස් හෙවත් පොතු කබර සමේ රෝගය සුවකරන ආලේපයක් ලෙසත් ක්‍රියාකරනවා. ඒ හැර අමෙරිකාව හා යුරෝපය තුළ ගොටුකොළ වෙරිකෝස් හෙවත් නහර ගැට ගැසීමේ රෝගයට සාර්ථක ඖෂධයක් ලෙස භාවිත කෙරෙනවා. ගොටුකොළ තුවාල සුව කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. හන්දිපත් රුදාව නැති කිරීමටත් සමේ රෝග නැසීමටත් එයට හැකියි. අපිට පුරුදු මැල්ලුම්, කැඳ වුණාට වෙනත් රටවල ගොටුකළ පිටි, පෙති, තේ, සිරප් වගේම ක්‍රීම් බඳු ආලේපන හැටියටත් රෝග සුවකාරකයක් හැටියට භාවිත වෙන බව ඔබ දැන සිටියාද?

ගොටුකොළ ග්‍රෑම් 100ක් තුළ අඩංගු පෝෂණ ගුණය මෙන්න.

ශක්තිය කිලෝ කැලරි  3.7
ප්‍රෝටීන් ග්‍රෑම් 2.1
මේදය ග්‍රෑම් 0.5
පිෂ්ඨය ග්‍රෑම් 6.0
කැල්සියම් මිලිග්‍රෑම් 224
පොස්පරස් මිලිග්‍රෑම් 32
යකඩ මිලිග්‍රෑම් 68.8
විටමින් C මිලිග්‍රෑම් 6.8

ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑ කියන්නා වාගේ ගොටුකොළ වුණත් දිගට භාවිතාව හොඳ නෑ. සාමාන්‍යයෙන් සති හයකට වරක් සති දෙකක පරතයක් ඇතිව භාවිතා කළයුතු බවයි බටහිර වෛද්‍ය පර්ෙය්ෂකයන්ගේ මතය. විශේෂයෙන්ම අක්මාවේ අමාරු ඇති අයට සමහර ඖෂධ ගන්නා අයට, පිළිකා රෝග ඉතිහාසයක් ඇති අයටත් ගොටුකොළ භාවිත කරන විට වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

සුගත්