2017 මැයි 27 වන සෙනසුරාදා

බර අඩුවීම ලෙඩක්ද? බර අඩුවෙන්න බලපාන සාධක මොනවාද?

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 943

ඔබත් අඩු බර එහෙමත් නැත්නම් සිහින් සිරුරක් තියෙන කෙනෙක් නම් ඔබට ඒ සඳහා බලපාන හේතුවට සම්පූර්ණ වෙනස් හේතුවක් වෙනත් කෙනකුට බලපාන්න පුළුවන්.

මොනවද මේ බර අඩුවෙන හේතු

ජානමය ගැටලු (poor genetic potential)

ළමාවියේ සිදුවන වර්ධනයේ දුර්වලතා (poor growth during childhood)

ආසාදන රෝග (inflectious diseases)

පෝෂණ ඌනතා (malnutrition)

අධික ශරීර ව්‍යායාම (excess of excsercise)

මානසික ආතතිය (mental stress)

හෝමෝනමය ගැටලු (hormonal problems)

ජානමය ප්‍රශ්න කියන්නේ මොනවාද?

අපි හැමදෙනාම හැදිලා තියෙන්නේ මවගේ හා පියාගෙන් ලැබුණ ජානවලින්. ඒ අනුව අම්මා සහ තාත්තා මිටි නම් ඔබත් බොහෝ විට මිටියි. නමුත් ඊට වෙනස් වන අවස්ථා තියනවා. කොහොම නමුත් අපේ උස, බර වගේ දේවල් ඒ වගේ එක දෙයකට සීමාවෙන්නෙ නෑ. ඒ නිසා ඔබ ජාන අනුව මිටි පුද්ගලයෙක් වුණත් ඔබ නියමිත පෝෂණයක් හා අනෙකුත් දේවල් සම්පූර්ණ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ළමා කාලයේ බර අඩුවීම බලපාන්නේ කොහොමද?

අපේ ජීවිතේ වර්ධනයට අනුව වැදගත්ම කාලය තමයි ළමා කාලය. ඊටත් එහා ගියොත් ගර්භනී අවධිය. ඒ කාලයේ ඇතිවන ගැටලු දිගුකාලීනව පවතින්න පුළුවන්.

දීර්ඝකාලීන ආසාදන රෝග?

අපට ක්ෂුද්‍ර ජීවීන් මගින් ලෙඩක් හැදුණාම අපේ ශරීරයට ඊට එරෙහිව සටන් කරන්න වෙනවා. එතකොට අපේ වර්ධනයට ති‍ෙයන ශක්තිය ඒ සඳහා වැය වෙනවා. ඒ නිසා අපේ බර අඩුවෙනවා. උදාහරණයක් විදියට ක්ෂය රෝගය ගන්න පුළුවන්.

පෝෂණ ඌනතා කියන්නේ මොනවාද?

අපි හැමෝම දන්නවා අපේ ආහාර වේල සමබර ආහාර වේලක් විය යුතුයි කියලා. ඒ කියන්නේ ඒකෙ නියමිත තරම් කාබෝහයිඩ්‍රේට් (carbohydrate), ප්‍රෝටීන (protein), මේදය (fat), විටමින (vitamins), ඛනිජ ලවන (minerals) හා ජලය (water) තිබිය යුතුයි. එහෙම නැත්නම් අපේ වර්ධනය බාල වෙනවා.

අධික ව්‍යායාම?

ව්‍යායාම කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට වගේම වර්ධනයටත් අත්‍යවශ්‍ය දෙයක්. ඒත් අධික ව්‍යායාම නිසා අපේ ඇඟේ තියන ගබඩා කරපු සියලු ශක්තිය නැති වෙනවා. වර්ධනය දුර්වල වෙනවා.

මානසික ආතතිය බලපාන්නේ කොහොමද?

අපි අධික මානසික ආතතියෙන් ඉන්න විට කෝටිසොල් (Cortisol) වගේ අපේ සමහර හෝමෝන අධිකව ස්‍රාවය වෙනවා. මේ නිසා අපේ ශක්තිය දහනය වෙලා වර්ධනය අඩු වෙනවා.

හෝමෝනමය ගැටලු බලපාන්නේ කොහොමද?

හෝමෝන කියන්නේ අපේ ශරීරයේ බොහෝ දේ පවත්වාගන්න වැදගත් වන දෙයක්. සමහර හෝමෝනවල අඩු වැඩිවීම් නිසා වර්ධනය අඩු වෙනවා.

උදාහරණයක් විදියට වර්ධක හෝමෝන (GH), ලිංගික හෝමෝන (sex hormones), වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්.