2017 මැයි 13 වන සෙනසුරාදා

මාසික වේදනාවට, බඩේ පිළිකාවට, දියවැඩියාවට, කියාපු බේත පැපොල්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 572

ලංකාවේ අපට සුපුරුදු සහ බහුලව දක්නට ලැබෙන පළතුරක් වන ගස්ලබු හෙවත් පැපොල් තුළ අඩංගු ඉහළ පෝෂණ ගුණය ගැන මේ විස්මිත කරුණු ඔබ දැන සිටියාද?

• විටමින් සරුසාර පෝෂණය

පැපොල්වල කැලරි ප්‍රමාණය අඩුවේ. එය විටමින් A වලින් සරුසාරය. එසේම ඉදුණු පැපොල් කෑල්ලක් තුළ විටමින් C ද බහුලය. විටමින් Bවල අත්‍යවශ්‍ය කාණ්ඩ ගණනාවක්ම එහි අන්තර්ගතය. 

ෆෝලික් අම්ලය, තයමින් හෙවත් B1, රයිබෝ ෆ්ලෙමින් හෙවත් B2, පැන්ටෝතෙනික් අම්ලය හෙවත් B5 සහ පිරිඩොක්සින් හෙවත් B6 එලෙස අන්තර්ගත ද්‍රව්‍ය වේ.

ඒ හැර පැපොල් යනු ඉහළ කෙඳිති ප්‍රමාණයක් සහිත ආහාරයකි. ඒ තුළ මැග්නීසියම් පොටෑසියම්, තඹ මෙන්ම විටමින් K ද අන්තර්ගතය.

• ඇසට ගුණයි

විටමින් A සරුසාර නිසාම, එය ඇසට ගුණදායකය. වයසත් සමග ඇතිවන මාංශපේශි දුර්වලවීම සහ දිරාපත්වීම අවම කිරීමට මේ තුළ අඩංගු සේසැන්තීන් සහ ලුටින් සමත්ය.

• ප්‍රතිශක්තිය ඉහළ දමයි

විටමින් C, විටමින් A, සරු නිසාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රබෝධමත්ව ක්‍රියාත්මකව තබයි. මේ නිසා පැපොල් රෝගාබාධවලින් වැළකීමටද උපකාරයකි.

• බඩවැලේ පිළිකා නසයි

කෙඳිතිවලින් සාර නිසා බඩවැල් තුළ පිළිකා කාරක රැඳීම වළක්වයි. පැපොල් තුළ සරු විටමින් C, විටමන් E, බීටා කැරොටින්, ෆෝලේට් ආදිය පිළිකා නාශක ගුණයෙන් අනූනය.

• හෘද රෝගවලට ගුණයි

ප්‍රතිඔක්සිකාරක වන බීටා කැරොටින් සහ ලයිකෝපින් මෙන්ම විටමින් C සහ E ආදිය නිරෝගී නහර පද්ධතියක් පවත්වා ගැනීමට ආධාර වන්නේ කොලෙස්ටරෝල් ඉවත් කිරීමෙනි. ෆෝලීක් අම්ලය මගින් හෘදයාබාධ සහ ආඝාතය වැළැක්වීමද සිදුවෙයි. පැපොල්වල අන්තර්ගත කෙඳිති නරක කොලෙස්ටරෝල් LDL අඩු කිරීමට ආධාරයකි. පැපොල් තුළ පොටෑසියම් සරු නිසා රුධිර පීඩනය සහ ස්පන්දනය නිරෝගීව තබා ගැනීමටත් එය ආධාරයකි. ඉදුනු පැපොල්වලටත් වඩා අමු පැපොල්වල පොටෑසියම් බහුලයි.

• දීප්තිමත් සමක්

ප්‍රතිඔක්සිකාරක වන විටමින් C සහ E මෙන්ම කැරොටිනොයිඩ නිසා සෛල වයසට යාම වළක්වයි. මෙනිසා සමරැලි වැටීම දුර්වර්ණ වීම නවතියි.

• දියවැඩියාවට ගුණයි

පැණි රස වුණත් මෙහි ඇත්තේ අඩු ග්ලූකෝස් ප්‍රමාණයකි. මේ නිසාම එය දියවැඩියාව ඇති රෝගීන්ට ගුණදායකය. මෙහි ඇති ස්වභාවික ප්‍රතිඔක්සිකාරක ගුණයද සමබල පෝෂණයකට උපකාරයකි.

• මාසික වේදනාවට සහනය

කාන්තාවන්ගේ මාසික ශුද්ධිය ඇති දිනවල පැපොල් වැඩියෙන් ආහාරයට ගතහොත් එය ඒ දිනවල ඇතිවන වේදනාව සමනයට ආධාරයක් වෙයි. පැපොල් තුළ ඇති එන්සයිම සරු බව මගින් මේ ප්‍රතිලාභය හිමිකර දෙයි.