2017 මැයි 06 වන සෙනසුරාදා

ප්‍රමාණය ගැන අප්‍රමාණ භීතිය

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1148

පුරුෂයන් බොහෝමයක් දෙනා ජීවිතයේ කොයියම්ම කාලයක හෝ මුහුණදෙන ගැටලුවක් ගැනයි අද කතාව. අනෙක් අයට වඩා තමන්ගේ ලිංගික අවයවය කුඩා යැයි කියන මනස්තාපයට ලක් නොවුණ කෙනෙක් නැති තරම්. ලොකු උස මහත අයට ලොකු අවයවයකුත් කෙට්ටු පුංචි අයට පුංචි අවයවයකුත් තියනවා කියලයි මේ ගැන මිත්‍යාව පැතිරිලා තියෙන්නේ. ඉතින් මේ ගැන දිගටම හිතලා හිතෙන් ලෙඩවෙලා අප්‍රාණිකත්වය වගේ සාර්ථක පවුල් ජීවිතයක් ගෙනයාමට බාධකයක් වන කායික දුබලතාත් හදාගන්න අවස්ථා එමටයි. 

ඊළඟට මේ කියන කතාව දඩමීමා කරගෙන තෙල් බේත්, ගුලි, පෙති, බාම් විකුණාගන්නා ජාවාරම්කරුවන්ට අසුවෙලා නොයෙකුත් ආබාධ අනතුරුවලට ලක්වන අයත් එමටයි. ඉතින්, මොකක්ද මේ හරි ප්‍රමාණය. උස මහත අයට ලොකු අවයවයකුත් පුංචි අයට කුඩා අවයවයකුත් තියෙනවා කියන කතාවේ ඇත්තක් තියෙනවාද? අපි විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතාගෙන් මේ දැවෙන ගැටලුවට පිළිතුරු විමසුවා. මෙන්න ඔහු ලබාදුන් විශේෂඥ උපදෙස.

මේ කතාවේ කිසිම ඇත්තක් නෑ. ලිංගයේ ප්‍රමාණය කෙනෙකුගේ සිරුරේ ප්‍රමාණයට කිසිම අනුරූපතාවක් නෑ. ලොකු අවයව තියෙන පුංචි අයත්, පුංචි අයව තියෙන ලොකු මහත අයත් ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම තමන්ගේ අවයවය කුඩාය කියලා හිතාන බේත් හොයාන යන එක බොරු වැඩක්. එහෙම බෙහෙතක් තාම නෑ. පුදුම කාරණේ මේ ගැන හුඟක් තැවෙන්නේ හොඳට උස මහත සිරුරක් තියෙන අය වීමයි. හැබැයි මේ කියන හැමෝටම සාමාන්‍යයෙන් තිබිය යුතු විශාලත්ව පරාසය තුළ පිහිටි අවයව තමා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනෑ කාරණාව සාර්ථක පවුල් ජීවිතයකට මේ ප්‍රමාණය කියන සාධකය කොහෙත්ම බලපාන්නේ නැති බව. නමුත්, අපි කොහොම කිව්වත්, මේ ගැන තැවෙන අය ඕනෑතරම් ඉන්නවා. මේ කියන තැවිල්ලට හේතුව සමාජය තුළ පැතිර ඇති මිත්‍යාවක්. අනෙක් කාරණය වරදක් ලෙස හිතට දැනෙන තවත් ක්‍රියාවක්. ඒ තමා නිල් චිත්‍රපට, නිල් සඟරා බැලීමේ රැල්ල. දැන් ඉතින් අන්තර්ජාලය තුළත් ඕනෑතරම් මේ අස්වාභාවික ලිංගික සම්භෝගය ඇතුළත් චිත්‍රපට දකින්න පුළුවන්නේ.

මේ කියන නිල් චිත්‍රපටවල පෙන්වන අස්වාභාවික ඉරියව් වගේම, ඒවායේ වේගය, ගතකරන කාල සීමාව, නැවත නැවත විවිධ ක්‍රියාවල යෙදීම හරියට මැෂින් වගේ සිදුවන ක්‍රියාවලිය දුටුවම ඕනෑ කෙනෙක් හිතින් අතරමං වෙලා මුලාවට පත්වෙනවා. ඒ වගේම ඔය චිත්‍රපටවල, සඟරාවල දක්නට ලැබෙන කලාතුරකින් හමුවන අස්වාභාවික සිරුරු අවයවයන් දැකීම නිසා බොහෝ අය හිතනවා අනේ මම පුංචියිනේ. මට ඒ වගේ නැහැනේ කියලා. ඉතින් මේ නිසා හිතෙන් පුංචි වෙලා, ලිංගික අකර්මන්‍යතාවටත් පත්වෙන අවස්ථා තියෙනවා.

ඊළඟ කාරණය මේ කියන දුර්මතය පතුරන ව්‍යාජ වට්ටෝරුකාරයන්ගේ දැන්වීම්වලින් ලැබෙන ඇඟවුම්කරණය. සිරුර කෙට්ටුද? ඉන්ද්‍රිය කුඩාද? මෙන්න, එක රැයින් ලොකුකර දෙන ආලේපය ඔය වගේ දේවල් දැක්කම ඕනෑම කෙනෙකුට හිතෙනවා තමන්ගේ ප්‍රමාණය මදි. ඉතින් ලොකු කරගන්න බෙහෙතක් තියෙන එකේ උත්සාහයක් දරලා බලමු කියලා. නමුත් මේ කතාව සම්පූර්ණ මිත්‍යාවක්. ඒ නිසා ඇතිවෙන්නේ සම්මෝහයක්, මුලාවක්.

ඊළඟට මේ මිත්‍යාවට හේතුවන කාරණාවක් තමා අපේ පොරොන්දම් බැලිල්ල. ඔය පොරොන්දම්වල යෝනි පොරොන්දම් ගැලපීමකුත් තියෙනවානේ. මී යෝනි, ඇත් යෝනි, සා යෝනි, අශ්ව යෝනි කියලා. අපේ සාමාන්‍ය ජනතාව තුළ හැඟීමක් ඇතිවෙලා තියෙනවා මේ කියන්නේ ඒ ඒ අයගේ අවයවයේ ප්‍රමාණය ගැනය කියලා. නමුත් ඒකේ එහෙම සත්‍යතාවක් නෑ. කොටින්ම අපේ වෛද්‍ය පරීක්ෂණවලදී ඔය කියන අන්දමේ කිසිම වෙනසක් හමුවෙලා නෑ. මේ ප්‍රමාණය ගැන මතය මුළුමනින්ම මිත්‍යාවක්. ඕකේ ඇත්ත කතාව ගැන අපි ඊළඟට කතා කරමු.