2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

දරුවන්ගේ නින්දටත් තට්ටු කරන ටච් ස්ක්‍රීන්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

ස්මාර්ට් ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිගණක සමඟ වැඩි කාලයක් ගත කරන කුඩා දරුවන් එවැනි උපාංග භාවිතයක් නොමැති දරුවන්ට වඩා අඩු නින්දක් ලබන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

සමීක්ෂණය පැවැත්වූ විද්‍යාඥ කණ්ඩායම සිය වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ටච් ස්ක්‍රීන් හෙවත් ස්පර්ශ කිරීමෙන් ක්‍රියාත්මක කෙරෙන පරිගණක සහ ස්මාර්ට් දුරකතන උපාංග සමඟ කුඩා දරුවන් ගත කරන සෑම පැයකදීම ඔවුන්ගේ නින්දෙන් මිනිත්තු පහළොවක් අඩුවන බවය.

කෙසේ වෙතත් ටච් ස්ක්‍රීන් සහිත උපාංග සමඟ කෙළි සෙල්ලම් කරන සිඟිත්තන්ගේ චලන ක්‍රියාකාරකම් ඉතා ඉක්මණින් වැඩි දියුණු වන බවද සමීක්ෂකයෝ පෙන්වා දෙති. කෙසේ නමුත් දරුවන්ගේ චලන ක්‍රියාකාරකම් කාලයත් සමඟ කොහොමත් වැඩි දියුණු වන බව පෙන්වා දෙන විද්‍යාඥ කණ්ඩායම පවසන්නේ, ඒ වෙනුවෙන් ඔවුන්ගේ නින්ද කැප නොකළ යුතු බවය.

වර්තමානයේ නිවෙස්වල ටැබ්ලට් පරිගණක සහ ස්මාට් ජංගම දුරකතන භාවිතයේ තාක්ෂණික පෙරළියක් ඇතිව තිබෙන නමුත් එම උපාංගවලින් කුඩා දරුවන්ගේ ළමා කාලයට ඇති කෙරෙන බලපෑම් පිළිබඳව බොහෝ දෙමව්පියන් දැනුවත් වී නොමැත.

බ්‍රික්බෙක් ලන්ඩන් විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලැබූ එම සමීක්ෂණය සඳහා වයස අවුරුදු තුනෙන් අඩු දරුවන් සිටින මව්පියන් හත්සිය පහළොවක් යොදා ගෙන ඇත.

සමීක්ෂණයේදී විද්‍යාඥ කණ්ඩායම විසින් දරුවන් ටැබ්ලට් පරිගණක හෝ ස්මාර්ට් ජංගම දුරකතන සමඟ කෙළි සෙල්ලම් කරන කාලය සහ ඔවුන්ගේ නිදා ගැනීමේ රටා නිරීක්ෂණය කරනු ලැබ තිබේ.

සමීක්ෂණයෙන් එක්රුස් කරගත් තොරතුරු අනුව ටච් ස්ක්‍රීන් සහිත පරිගණක හෝ දුරකථන උපාංග සමඟ කෙළි සෙල්ලම් කරන සෑම පැයකටම දරුවෙකුට සිය නින්දෙන් මිනිත්තු පහළොවක කාලයක් අහිමිවන බව හෙළිවී තිබේ.
“දිනකට පැය දහයකුත් දොළහකුත් අතර කාලයක නින්දක් ලැබෙනවානම් ඔබට මිනිත්තු පහළොවක නින්දක් අහිමිවීම එතරම් විශාල හානියක් නෙවෙයි, නමුත් ළදරුවන්ගේ වර්ධනයට නින්ද කොතරම් අත්‍යවශ්‍ය කාරණයක්ද කියනවා නම් ඔවුන්ගේ නින්දෙන් දිනකට මිනිත්තු පහළොවක් අහිමි වීම ඉතා බරපතළයි. සමීක්ෂණය මෙහෙයවූ වෛද්‍ය ටිම් ස්මිත් කියා තිබුණි.

ඒ අනුව කුඩා දරුවන් රූපවාහිනී නරඹන කාලය සහ ටච් ස්ක්‍රීන් සහිත ඉලෙක්ට්‍රොණික උපාංග සමඟ ගත කරන කාලය සීමා කරමින් ඔවුන්ට ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමට අවස්ථාව ලබාදීමද නින්දට යාමට පැය කීපයකට පෙර සියලු ඉලොක්ට්‍රොණික තිර සමඟ දරැවාට කාලය ගත කිරීමට ඉඩ නොදීමටද දෙමව්පියන් සැලකිලිමත් විය යුතු බව සමීක්ෂණය මගින් පෙන්වා දෙයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00