2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

කැස්ස පැණිවලට වඩා දෙහි දොඩම් යුෂ වඩාත් ගුණදායකයි!

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 700

කැස්ස, මේ දිනවල තදින්ම කතාබහට ලක්වන භයානක රෝගයකද පෙරනිමිත්තකි. කැස්ස හැදුන විට කැස්ස පැණියක් වෛද්‍ය උපදෙස් මත හෝ රහිතව මිලදී ගෙන භාවිතයට අපේ අය පුරුදු වී තිබේ. නමුත් දැන් බටහිර වෛද්‍යවරුන්ම මේ කැස්ස පැණිවල අගුණ ගැන කතාබහ කරති. එබඳු සමහර කතා ඇසූ විට අපට සිහියට එන්නේ “සියරට දේ සිරි සැපදේ” යැයි කියනා පැරුණි කතාවය.

මෑතකදී බ්‍රිතාන්‍ය ජාතික බටහිර ළමා රෝග විශේෂඥයකු වන වෛද්‍ය ඔලිවර් බෙවින්ග්ටන්  කළ එළිදරව්වද  ඉහත කී කතාව තහවුරු කරන්නකි. වෛද්‍ය බෙවින්ටන් පෙන්වා දී ඇත්තේ දරුවන්ගේ කැස්ස සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේදී නිර්දේශ කරන සිරප් වර්ග හෙවත් කැස්ස පැණිවලට වඩා දෙහි දොඩම් යුෂ සහ මී පැණි සුසංයෝගය වඩාත් ගුණදායක සහ ප්‍රතිඵලදායක විශ්වාසවන්ත ප්‍රතිකාරයක් බවය.

මේ බටහිර වෛද්‍යවරයා අනතුරු අඟවා ඇත්තේ දොස්තර බෙහෙත්වලට ලබාදෙන කැස්ස පැණිය වැඩි මාත්‍රාවන් ලෙස ගැනීමෙන් ශරීරයට විස විය හැකි බවය. එසේම ඒ මගින් අතුරු ආබාධ රුසක්ද අසාත්මිකතා ලක්ෂණද ඇතිකරන අතර දරුවන්ට මේවා මගින් හොඳට වඩා ලැබෙන නරක ප්‍රතිඵල වැඩි බවත් ඔහු කියයි.

බොහෝමයක් බටහිර කැස්ස පැණි තුළ පැරසිටමෝල් අඩංගු බව පෙන්වා දෙන වෛද්‍යවරයා කැස්ස පැණි දිගින් දිගටම භාවිතය මගින් ඉතා පහසුවෙන්  පැරසිටමෝල් අධි මාත්‍රාවක් ලෙස ශරීරගත වීමට හැකි බව පෙන්වා දෙයි. එය බොහෝවිට වයස අවුරුදු 6 ට අඩු දරුවන්ට හානිදයාක බව ඔහු කියයි. මේ නිසා ඔහු අවවාද කරන්නේ දරුවන්ගේ කැස්ස සුව කිරීම සඳහා පැරුණි අම්මලා ගෙදර දොරේ භාවිත කළ දෙහි දොඩම් යුෂ සහ මී පැණි මිශ්‍රණය භාවිතා කරන ලෙසටය. ඇඹුල් දොඩම්, දොඩම් හෝ දෙහි ඇඹුලට මී පැණි යොදා සාදාගන්නා පැණිය කැස්ස නිට්ටාවට සුව කරන අතර අහිතකර අතුරු ආබාධ රහිතව ගුණාත්මක ප්‍රතිඵල පමණක් ලබාදෙන බව ඔහු කියයි. 

කැස්ස සඳහා බොහෝවිට හේතුකාරක වන වෛරස ආසාදන බොහෝමයක් ප්‍රතිජීවක ද්‍රව්‍ය රහිතව, ඇඳ විවේකය ලබා වැඩිපුර දියර වර්ග පානය කිරීමෙන්ම පමණක් සුවකරගත හැකි බව වෛද්‍යවරයා කියයි. එවන් තත්ත්වයක් යටතේ ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඇතුළත් ඖෂධ ලබාගන්නවා වෙනුවට ගුණාත්මක බවෙන් ඉහළ සහ ආරක්ෂාවක් සහිත මීපැණි දොඩම් පැණිය භාවිතාව සාර්ථක බව වෛද්‍යවරයා කියයි.

මේ පැරුණි කැස්ස පැණිය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය සමස්ථයක් ලෙස සිරුරට සුවදායී වන අතර පෝෂණයක්ද සපයන ද්‍රව්‍යයන්ය. මී පැණි අතීතයේ සිටම හොඳ පෝෂකයක් ලෙස හඳුනාගන තිබේ. බැක්ටීරියා නාශකයක් වන එය තුළ පෝෂක ද්‍රව්‍ය ගොන්නක් අඩංගුය. ඒවා අතර කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක්, තඹ, මැංගනීස්, සෙලෙනියම් සහ ෆ්ලෝරයිඩ් අඩංගුය. මේවා ප්‍රතිඔක්සිහාරක ද්‍රව්‍ය ලෙස ක්‍රියාත්මක වන අතරම ඒ නිසා සිරුරු ගත නිදහස විෂ ද්‍රව්‍ය අවශෝෂණය කරයි. එසේම පටක වර්ධනයටද උපකාර වෙයි.

දෙහි දොඩම් යුෂ තුළ සරුසාර ලෙස විටමින් සී අන්තර්ගතය. දෙහි ගෙඩියක යුෂ තුළ කෙනෙකුට දිනකට අවශ්‍ය විටමින් සී ප්‍රමාණයන් තුනෙන් එකක් අඩංගුය. විටමින් සී ප්‍රතිශක්තිකරණ පද්ධතිය කාර්යක්ෂම කරන අතර එයද ප්‍රතිඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන්නේය. එසේම ප්‍රති වෛරස සහ බැක්ටීරියා කාරකයක් ලෙස ක්‍රියාකරයි.

මෙම පැණිය සාදා ගැනීමේදී පාරම්පරික වට්ටෝරුවට එක්කරන ඉඟුරුද ශරීරයට සෞඛ්‍ය සම්පන්න ප්‍රතිඵල රුසක් ලබාදෙයි. ඉදිමුම් සමනය කරයි. සෙම ගැලීම වළක්වයි. එය තුළද ප්‍රතිඔක්සිකාරක අඩංගුය.

- සුගත්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00