2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

අධිරුධිර පීඩනයද? එහෙනම් අමතක වීමත් ෂුවර්

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 440

රුධිර පීඩනය වැඩිවීම හේතුවෙන්, පිටතට නොපෙනෙන ආකාරයේ රෝග, එනම් ‘නිසල හෝ අඩු මට්ටමේ ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකි බව පර්යේෂකයෝ පවසති. පනස් වියේදී දක්නට ලැබෙන අධිරුධිර පීඩනය සහ ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීම අතර සම්බන්ධයක් ඇති බව, පුද්ගලයන් 8,639 දෙනකු යොදාගෙන කළ අධ්‍යයනයකදී පෙනී ගොස් ඇත. මේ නිසා ඔබ මැදි වයසේ පසුවන්නේ නම් සෞඛ්‍ය මට්ටම ඉහළ නංවාගැනීමේ සැලසුම් තවත් දිනකට කල් තැබීම සුදුසු නැත. වහාම අද - අදම යහපත් ජිවන පුරුදු ඇරඹිය යුතුය.

අලුතින් සිදුකළ අධ්‍යයන දෙකක් පෙන්වා දෙන්නේ මැදි වයසේ ඇතිවන අධිරුධිර පීඩනය හේතුවෙන් පුද්ගලයන් පසුකාලීනව ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරු වීමට ඇති අවදානම ඉහළ බවයි.
වයස අවුරුදු 45 සිට සෑම පුරුෂයන් දස දෙනකුගෙන් එක් අයෙකුටත්, සෑම කාන්තාවන් දස දෙනකුගෙන් පස් දෙනකුටත් සුලබ ඩිමෙන්ෂියා තත්ත්වයක් වන ඇල්ෂයිමර් අවදානම පවතින බව ඇස්තමේන්තු කර තිබේ. මැදි වියේදී මෙලෙස ශරීර සෞඛ්‍ය දුර්වල වීම, අඩු වයසෙන් මරණයට පත්වීමට ඇති හැකියාව ඉහළ නංවන බව මින් එක් වාර්තාවක වැඩිදුරටත් දැක්වේ.

‘යුරෝපියන් හාට් ජර්නල්’ හි පළකර ඇති අධ්‍යයන වාර්තාවකට අනුව, හදවත සංකෝචනය වන අවස්ථාවේ පීඩනය, එනම් සංන්‍යස්ත රැධිර පීඩනය (systolic pressure) රසදිය මිලිමීටර 130 හෝ ඊට වැඩි පනස් වැනි වියේ පසුවන පුද්ගලයන් ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරු වීමේ අවදානම, සාමාන්‍ය රුධිර පීඩනය සහිත පුද්ගලයන්ට වඩා 1.5 ගුණයකින් වැඩිය.

ජීවිතයේ මුල් අවධියේදී දුර්වල වීම, රෝගී සෞඛ්‍ය තත්ත්වයකට සහ අඩු වයසින් මරණයට පත්වීමේ අවදානමකට හේතුවිය හැකි යයි පෙනෙන්නට ඇති බව පුද්ගලයන් 493,737 දෙනකුගේ දත්ත පරීක්ෂාවට ලක් කළ තවත් අධ්‍යයනයක් මගින් සොයා ගනු ලැබ ඇත.

පහත සඳහන් සෞඛ්‍ය ගැටලුවලින් තුනක්වත් ඇති පුද්ගලයන්, ‘දුර්වල වීමට ගොදුරු වූ පුද්ගලයන් ලෙස හැඳින්විය හැකිය.

ශරීර බර අඩුවීම, අධික වෙහෙස, දෙයක් ග්‍රහණය කර ගැනීමේ ශක්තිය දුර්වල වීම, ශාරීරිකව ක්‍රියාශීලීත්වය අඩුවීම, ඇවිදීමේ වේගය අඩුවීම.
සෙසු කරුණු (සමාජ ආර්ථික තත්ත්වය, දීර්ඝ කාලීන තත්ත්වයන්, දුම්බීම, මත්පැන් භාවිතය සහ ස්කන්ධ දේහ දර්ශකය) සලකා බලා අවුරුදු 37 - 45 අතර වයසේ පසුවන පුද්ගලයන්, එම වයස් කාණ්ඩයේම දුර්වල නොවන පුද්ගලයන්ට වඩා 2.5 ගුණයක් මරණයට පත්වීමේ අවදානමක පසුවන බව පර්ෙය්ෂකයන් විසින් සොයා ගනු ලැබ ඇත. සෙසු සියලුම වයස් කාණ්ඩවලට (45-55, 55-65 සහ 65-73) ද එම අගය සමාන වේ.

දුර්වල යයි විනිශ්චය කළ සහ වයස අවුරුදු 45 හෝ ඊට වැඩි කාන්තාවන් සම්බන්ධයෙන් ද සමාන තත්ත්වයන් සොයා ගනු ලැබ ඇත. ශරීරයේ පටක ඝනවීමේ රෝග තත්ත්වය (multiple sclerosis) සහ නිදන්ගත වෙහෙසකාරී සින්ඩ්‍රෝම තත්ත්වය (chronic fatigue syndrome) දුර්වල පුද්ගලයන් තුළ වැඩි වශයෙන් දැකිය හැක.

මුල් අවධියේදීම දුර්වල වීම හඳුනාගැනීම සහ ඒ සඳහා ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය යයි ඉහත කී සොයාගැනීම් මගින් පෙන්නුම් කරයි. ශාරීරිකව දුර්වල වීම පිළිබඳ කළ අධ්‍යයනයේ සම කතෘ ආචාර්ය පීටර් හැන්ලොන් පවසන්නේ දුර්වල වීම කලින් හඳුනාගතහොත් එම තත්ත්වය වෙනස් කිරීමට හැකියාවක් පවතින බවය.

මැදි වියේදී ශරීර යෝග්‍යතාව පිරිහුණු පුද්ගලයන් ‘හැකි ඉක්මනින් යහපත් සෞඛ්‍ය වෙනස්කම් ඇතිකරගත යුතු බවත්, ප්‍රධානම දේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ව්‍යායාම  බවත්  වෛද්‍ය  නිර්දේශයයි. ශරීර බර අඩුකර ගැනීම, දුම්පානය නැවැත්වීම, මත්පැන් භාවිතයෙන් වැළකීම, දිනපතා ව්‍යායාම කිරීම සහ ලුණු අඩු වශයෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය අවම කර ගැනීමට ගත හැකි ප්‍රධාන පියවරය. වයස්ගත වෙත්ම ඩිමෙන්ෂියා අවදානම අවම කර ගැනීම සහ මොළය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම සඳහා ද ඉහත කී කාර්යයන් උපකාරී වන බව ‘ඇල්ෂයිමිර් රිසර්ච් ආයතනය කියයි. 

- සුගත්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00