2020 ජුලි 18 වන සෙනසුරාදා

ජීවිතේ ඇඳටම සින්න කරන ආඝාතය

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 542

ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර සංසරණයක් නොලැබීමෙන් මොළය තුළ ඇතිවන ක්‍ෂණික අඩපණ වීමකි. සෞඛ්‍ය සංඛ්‍යාලේඛනවලට අනුව නම් මරණ සිදුවන්නට බලපාන ප්‍රධානතම හේතු පහ අතරින් ආඝාතය තත්ත්වය අංක එක ගනු ලබනවා. වැඩිහිටි පුද්ගලයන් ආඝාතය රෝගයෙන් සුවය ලැබුණත් ඇතැම් විට අංශභාගය තත්ත්වයට පවා පත්වන්නට පුළුවන්. 

ආඝාතය ඇතිවීමේ ආකාර දෙකක් තිබෙනවා. ඒ, “hemorrhagic” ආඝාතය සහ “ischemic” ආඝාතයයි. ආඝාතය ඇතිවන ආකාර දෙකෙන් වැඩි වශයෙන් ඇතිවන්නේ මෙහි දෙවැන්නයි. මේ ආඝාතය තත්ත්වය ඇතිවන්නේ මොළයට නිසියාකාරව රුධිරය සංසරණය නොවීම නිසා මොළයට රුධිරය ගෙනෙන නාල අවහිරවී සිරවීම නිසයි. “hemorrhagic” ආඝාතය කලාතුරකින් ඇතිවන තත්ත්වයකි. මෙය සිදුවන්නේ රුධිර වාහිනීවල බිත්ති දුර්වල වී එම ස්ථාන පුපුරා රුධිරය පිටතට වහනය වීමට හේතුවන  “aneurysm” තත්ත්වය නිසයි.  

ඔබ මේ ලිපිය හොඳින් කියවා ආඝාතය ගැන හොඳින් දැනුවත්වන්න. මෙම ලිපියේ අඩංගු රෝග ලක්ෂණ ඔබගෙන් හෝ ඔබේ ආදරණීය අසල්වැසියෙකුගෙන් දැකගන්නට ලැබෙනවා නම් වහාම උපකාර පතා රෝහලක් වෙත යොමුවන්න.
හොඳයි ආඝාතය තත්ත්වය ඇතිවීමේදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද යන්න බලමුද? 

පැහැදිලි ලෙස දැකගත හැකි රෝග ලක්‍ෂණ:

• නිසියාකාරව කතා කිරීමට හෝ දිගු වෙලාවක් කතාකිරීමට අපහසුවීම.

• ඇවිදීමට අපහසුවීම සහ ඇවිදීමේදී නිසි පාලනයක් නොමැතිවීම

• මුහුණ සහ අවයව මලානිකවීම. (ශරීරයේ එක් පසක)

ආඝාතය රෝගයේ වෙනත් රෝග ලක්‍ෂණ:

• එක ඇසක හෝ ඇස් දෙකෙහිම පෙනීම දුර්වල වීම

• සම්පූර්ණ අංශභාග තත්ත්වය

• ක්‍ෂණිකව ඇතිවන විෂාදය

රෝගී තත්ත්වය තහවුරු කරගන්න අනුගමනය කළ හැකි  පියවර කිහිපයක්:

මුහුණ: මුහුණ දෙස හොඳින් බලන්න. මුහුණ ඇදවී ඇත්ද? මුහුණ එල්ලා වැටෙනවාද?

බාහු: බාහු ඉහළට ඔසවන්න. ඒවා කඩා හැලෙනවාද?

කතාව: එකම වචනය කිහිප සැරයක් පවසන්න. එය නිසි ලෙස කීමට හැකි වූවාද?

මේ දේවල් සිදුවනවා නම් හැකි ඉක්මණින් උපකාර පතන්න. මේ රෝග ලක්‍ෂණ ක්‍ෂණිකව මතුවනවා. ඒ වගේම, රෝග ලක්‍ෂණ සුවවන තුරැ බලා නොසිට ඔබට හැකි ඉක්මණින් සහය පතන්න. ඔබ ආඝාතය රෝගියාව වාහනයකට දමා රෝහලකට ගෙනයනවාට වඩා මේ පිළිබඳ වෘත්තීයමය දැනුම ඇති පුද්ගලයින්ගේ සහාය පැතීම ඉතාමත් වටිනා ක්‍රියාවක්.

ඔබ ඔවුන්ගේ සහාය පැතූ පසු ඔවුන් එම ස්ථානයට ළඟාවන තුරු රෝගියාට ඉඳිකටු චිකිස්සාව ලබාදෙන්න. ඒ පිළිබඳව දැනුවත්වීමට මේ ලිපිය කියවන්න. ඇතැම් අවස්ථාවලදී අප ඉහත සඳහන් කළ රෝග ලක්‍ෂණ ඉක්මණින් පහව යන්නට පුළුවන්. එසේ වුවත් ඔබ රෝගියාව රෝහලකට ගෙනයාම නතරකර දමන්නට එපා.

බොහෝ දෙනෙක් ආඝාතය සමග ඉරුවාරදය (මිග්‍රේන්) රෝගය පටලවා ගනු ලබනවා. මේ රෝග දෙක නිසි ලෙස තෝරාගැනීම ඔබටත් ගැටලුවක් වන්නට පුළුවන්.  ආඝාතය රෝගය එක්වරම ඇතිවන අතර ඉරැවාරදය ක්‍රමයෙන් ඇතිවන රෝගයක්. ආඝාතය රෝගය ඕනෑම වයස් පරතරයක සිටින පුද්ගලයෙකුට ඇතිවන්නට පුළුවන්. නමුත් ආඝාතය රෝගයට ගොදුරුවිය හැකි විශේෂ  ඉලක්කගත  කණ්ඩායමක් සිටිනවා.

එම ඉලක්ක පුද්ගල කණ්ඩායම් වන්නේ,

අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින්, දියවැඩියා රෝගීන්, දුම්පානය කරන්නන්, වයස 55ට හෝ ඊට වැඩි පුද්ගලයින් හදවත් රෝගීන්, ජානමය ගැටලු ඇති පුද්ගලයින් සහ ඉරුවාරදය ඇති පුද්ගලයින්ය.

ඔබත් සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට හුරැවන්න. වැඩි වශයෙන් එළවළු සහ පළතුරැ ආහාරයට ගන්න. දිනකට අවශ්‍ය වන ජලය ප්‍රමාණය පානය කරන්න. ඒ වගේම, ඔබ දුම්පානය කරන පුද්ගලයෙක් නම් දුම්පානයෙන් වැළකෙන්න. ව්‍යායාම සිදු කරන්න. එවිට ඔබට ආඝාතය වැනි දරුණු රෝගී තත්ත්ව වලින් ලෙහෙසියෙන්ම ගැලවෙන්නට පුළුවන් වේවි.

- සුගත්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00