2020 ජුලි 18 වන සෙනසුරාදා

ඉරුවාරදේ නැතිකරන හැටි

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 13743

හිසරදය බොහෝදෙනකු පීඩා විඳින රෝගයකි. මෙම රෝගයට ගොදුරුවන්නේ වැඩි පිරිසක් කාන්තාවන්ය. මිග්‍රේන් හෙවත් ඉරුවාරදය කෙනකුට හිරුඑළිය, අධික ශබ්දය, සමහර ආහාර පාන නිසා මතුවේ. ඒ නිසා ඔවුන් තමන්ට රෝගය මතුවෙන හේතු බලා එයින් වැළකීම ඉතා සුදුසුය. මේ හැර මිග්‍රේන් හිසරදයට පොදුවේ අහිතකර ආහාරපාන, ඇවතුම් පැවතුම් නැත. ඒවා එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එසේම මෙම රෝගයේ තවත් විශේෂත්වයක් නම් නිතර හිසරදය සෑදෙන අයට සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳෙන්නේ ඉතාමත් කලාතුරකින් වීමයි. 

හිසරදයක් සෑදුණු පසු සියලුම දෛනික කටයුතු අකර්මන්‍ය වේ. මිග්රේන් හිසරදය සෑදුණු විට ආලෝකය බැලීම අපහසුය. බොහෝදෙනාට ශබ්දයට නිරාවරණය වීම ඉතාම අපහසු වේ. මේ නිසා මිග්‍රේන් රෝගයෙන් පෙලෙන අය ආලෝකයට නිරාවරණය නොවී කාමරයකට වී දොර ජනෙල් වසා පැය ගණන් හෝ දිනක් හෝ දෙකක් නිදා ගන්නා අවස්ථා තිබේ.

හිසරදය ප‍්‍රාථමික හා ද්වතීයික යැයි දෙආකාරය. ද්විතීයික හිසරදය යනු වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ලෙසට සෑදෙන රෝගයකි. මෙහි වැදගත් වන්නේ ප‍්‍රාථමික හිසරදය වන මිග්‍රේන් (ඉරුවාරදය) සහ කපාලයේ පේෂීන්වල ආතතිය නිසා ඇතිවන හිසරදයයි. (Ten sion Headache)

ඉරුවාරදයේ (Migraine) රෝග ලක්ෂණ

ඉරැවාරදය සෑදෙන්නේ කුමන හේතුවක් නිසාදැයි තවමත් පැහැදිලිව සොයාගෙන නැත. බොහෝවිට පාරම්පරික හා පාරිසරික සාධක කීපයක් මේ සඳහා බලපාන බව පැහැදිලිය. මොළය තුළ සිදුවන රසායනික ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙසට ත‍්‍රිශාක කපාල ස්නායුවේ යම් ක‍්‍රියාවලියක් සිදු වේ.

ප‍්‍රධාන රෝග ලක්ෂණ ලෙස අධික හිසරදයත් සමඟ වමනය හෝ ඔක්කාරය ඇති වේ. හිස කැක්කුම එක පැත්තකින් දැඩිව දැනෙයි. සමහර අයට හිස දෙපසින්ම වේදනාව හටගනී. විශේෂයෙන්ම අලෝකයට නිරාවරණය වීම අපහසුය. මෙම රෝගයේ තවත් විශේෂත්වයක් වමනය ගිය පසු හිසරදය සුව වීමයි.

මෙම රෝගයට බාහිර හා අභ්‍යන්තර වශයෙන් පරිසර සාධක කීපයක්ම බලපාන බවද පැහැදිලිය. එනම්,

01. කාන්තාවන්ගේ රුධිරය ඊස්ට‍්‍රජන් හෝමෝන සාන්ද්‍රණය වෙනස්වීම, ආර්ථවචක‍්‍රය සම්පූර්ණ වීමේදී ඊස්ට‍්‍රජන් සාන්ද්‍රණය අඩිවීම නිසා මිග්රේන් ඇති වේ.

මානසික ආතතියද මේ සඳහා බලපායි. එනම් කාර්යාලයේ හෝ නිවෙසේ වැඩ අධික අවස්ථාවකදී අධික හිසරදය සෑදෙයි. මේ හැර මෙම රෝගය බාහිර පරිසර සාධකද හේතු වේ. එනම්,

• මෙවැනි රෝගීන්ට විවිධ ආහාර වර්ග අපත්‍ය වේ. එනම්, සමහරැන්ට චොක්ලට්, චීස්, රටකජු අහිතකර වේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැම් අයට කෝපි, අලිගැටපේර වැනි දෑද අහිතකර වේ. එහෙත් මෙය සෑම කෙනෙකුටම එක සමානව සිදුවන්නක් නොවේ.

• මිග්‍රේන් රෝගියා ප‍්‍රධාන ආහාර නියමිත වේලාවේදී ගතයුතුයි. මෙවැනි රෝගීන්ට ආහාර ගැනීමට ප‍්‍රමාදවීමෙන් හෝ ආහාර වේලක් මඟහැරුණොත් රෝගය මතුවිය හැකියි. ඇතැම් සුවඳ විලවුන් වර්ග ආඝ්‍රහනය වීමත්, රෝගය මතු වීමට හේතු විය හැකිය. එසේම ඇතැමුන්ට සිගරට් දුම නිසාත්, රෝගය සෑදෙන අවස්ථා තිබේ. ඒනිසා මිග්‍රේන් රෝගීන් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

• බොහෝ වේලා ජංගම දුරකතන සංවාදවල යෙදීමත් මෙවැනි රෝගීන්ට හිසරදය ඇතිවීමට හේතුවිය හැකිය. ඒනිසා මෙවැනි රෝගීන් ඒ ගැනත් අවධානයෙන් සිටිය යුතුය.

• ඉහත සඳහන් කුමන හෝ හේතුවක් මිග්‍රේන් රෝගය පැන නැගීමට හේතු විය හැකිය. ඒ නිසා මෙම රෝගීන් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

ප‍්‍රතිකාර

මිග්‍රේන් රෝගයට ඖෂධීය ප‍්‍රතිකාර හා ඖෂධීය නොවන ප‍්‍රතිකාර වශයෙන් ක‍්‍රම දෙකක් තිබේ. ඖෂධීය ප‍්‍රකාර වශයෙන් භෞත චිකිත්සක ප‍්‍රතිකාර මගින්ද හිසරදය පාලනය කිරීමට හැකිය.

භෞත චිකිත්සක ප‍්‍රතිකාරවල මූලික පරමාර්ථ වන්නේ මස්තිෂ්කය ආවරණය වන පටකවල රැධිර සංසරණය වැඩි කිරීමට හා කපාල පේෂීන්වන ආතතිය අඩුකර ඉන් රැධිර සැපයුම වැඩි කිරීමයි. එයින් හිස කැක්කුම පහවෙයි. 

ඉරුවාරදයට කරන භෞත චිකිත්සත ප‍්‍රතිකාර ක‍්‍රම

විද්‍යුත් චිකිත්සාව

මෙම ක‍්‍රමය මගින් හිසේ පතුල සහ කපාල මාංශපේෂීන් උද්දීපනය කරයි. මේ සඳහා මාංශපේශී උද්දීපකයක් භාවිතා කෙරේ. එවිට පේශී සැහැල්ලු වී වේදනාව සමනය වෙයි.

තාපය භාවිතයෙන් කරන ප‍්‍රතිකාර

මෙහිදී තෙතමනය සහිත තාපය මගින් උණුසුම් කිරීමේ ප‍්‍රතිකාරය කරයි. මෙයින් ඉතාමත්ම හොඳ ප‍්‍රතිඵල ළඟාකර ගත හැකිය. පේශී සැහැල්ලුවීම සහ රැධිර සංසරණය වැඩිවීම නිසා ඉතා ඉක්මනින් වේදනාව අඩු වේ.

ප‍්‍රතිකාරමය ව්‍යායාම

මෙම ව්‍යායාම මගින් ග‍්‍රීවයේ තද ගතිය අඩු කරයි. එමඟින් මස්තිෂ්කයට රුධිර සැපයුම හොඳින් සිදුවී වේදනාව අඩු වේ.

මෙම භෞත චිකිත්සක ප‍්‍රතිකාර ඉතාම සරලය. එම චිකිත්සක ප‍්‍රතිකාර මගින් ඉතාම පහසුවෙන් අවදානම් නොමැතිව ප‍්‍රතිකාර කළ හැකියි. එසේම ඉක්මනින් ලැබෙන මාංශ පේශී සැහැල්ලු කිරීමේ ක‍්‍රම මගින් මිග්රේන් රෝගී තත්වයක් සුව වී යයි.

ආර්.ටී.කේ. රාජපක්ෂ
ප්‍රධාන භෞත චිකිත්සක
නාවින්න මෙඩිකෙයා රෝහල, 
මහරගම