2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

උපත් පාලනයට හමට යටින් තැන්පත් කරන පෙත්තේ රහස

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 693

බලහත්කාර දූෂණයට ලක්වූ තරුණියකගේ අතේ පෙත්තක් තැන්පත් කළාය කියලා ලොකු ආන්දෝලනයක් පසුගියදා ඇතිවුණා. වෛද්‍යවරයා එය සිදුකර ඇත්තේ සද්භාවයෙන් වුණත් ඒ ගැන නොදැනුවත්කම නිසාම ඔහුව බරපතළ දෝෂාරෝපණවලටත් මුහුණ දෙන්නට සිදුව තිබුණා. ඉතින් අපි හිතුවා (දේශය) පාඨක ඔබට මොකක්ද මේ කරල් තැන්පතුව කියලා හඳුන්වා දෙන්න.

මොකක්ද මේ කරල් තැන්පතුව. කොහොමද කරන්නේ?

• ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයකි.

• මෙම තැන්පතු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිකුත් කරන කරල් විශේෂයක් වන අතර බාහුවේ උඩ කොටසෙහි ඇතුළු පැත්තෙහි සමට යටින් තැන්පත් කරනු ලබයි.

මෙම තැන්පතු ක්‍රියා කරන්නේ කෙසේද?

• ඩිම්බ කෝෂවලින් ඩිම්බ මුදාහැරීම වැළැක්වීම.

• ගැබ් ගෙල ස්‍රාවයේ ඝනකම වැඩි කිරීම (ශ්‍රක්‍රාණු ගර්භාෂයට ඇතුළුවීම වළක්වයි.

එය තැන්පත් කරන්නේ කෙසේද?

• තැන්පත් කිරීම සඳහා ගතවන්නේ විනාඩි කිහිපයක් පමණකි.

• අදාළ ප්‍රදේශය පමණක් නිර්වින්දනය කිරීමෙන් තැන්පත් කරනු ලැබේ.

• මෙම කරල් සමට යටින් තැන්පත් කරනු ලබන්නේ නිතර භාවිත නොවන අතේය.

එය ඇතුළු කළ යුත්තේ කුමන අවස්ථාවේදී ද?

• ඔසප්වීම සිදුවනවිට - රුධිර වහනය ආරම්භ වී පළමු දින 07 තුළ

• දරු උපතකින් පසු - දරු උපතකින් සති 06කට පසු

• ගබ්සාවකින් පසු - ගබ්සාවෙන් පළමු සතිය තුළ

වාසි මොනවා ද?

කරල් ඉවත් කළ වහාම සරුභාවයට පත්විය හැකිය. තැන්පතුව ඉවත් කළ පසු මෙම පවුල් සැලසුම් ක්‍රමයේ බලපෑම නැති වී යනු ඇත.

පහසුව - ඔබට එය තැන්පත් කරගෙන අමතක කොට සිටිය හැකිය.

සාර්ථකත්වය - මෙය 99%ක් පමණ සාර්ථක තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයකි.

දිගුකාලීන පවුල් සැලසුම් ක්‍රමයක් වීම - මෙය තැන්පත් කිරීමෙන් පසු අවුරුදු 5ක් තුළ ගර්භනී භාවයෙන් වැළකෙන අතර මෙම වසර 5 ඇතුළත ඔබට ඕනෑම වෙලාවක එය ඉවත් කරගත හැකිය.

යම් අවාසියක් සිදුවේ ද?

• ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් ආරක්ෂා නොකරයි.

• තැන්පත් කිරීම සඳහා පුහුණු කෙනෙකු අවශ්‍යය.

• එය ඔසප් වීමේ රටාවට සිදුකරනු ලබන බලපෑම දැනගත හැකි වන්නේ තැන්පත් කිරීමෙන් පසුව පමණකි.

අතුරු ආබාධ

• ඔසප් චක්‍රයේ වෙනස්කම් (රුධිර වහනය සම්පූර්ණයෙන් නතරවීම, ඔසප් දින ගණන දික්වීම (වැඩිවීම), බිංදු වශයෙන් රුධිර වහනය, අක්‍රමවත් රුධිර වහනය)

• බර වැඩිවීම - ආහාර රුචිය වැඩිවීම නිසා

• හිසරදය

• කරකැවිල්ල

තැන්පතු පිළිබඳ මිත්‍යා මත

කිරිදෙන අතර ඔබට තැන්පතු භාවිත කළ නොහැක - නැත. බිළිඳාගේ වර්ධනය හෝ සෞඛ්‍යය සම්බන්ධයෙන් ද මව්කිරිවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය සම්බන්ධයෙන් ද හානිකර බලපෑමක් නොමැත.

තැන්පතු නිසා රුධිර වහනයක් නොමැතිවීම හානිකරය - නැත. මෙම තැන්පතු භාවිත කරන විට, ඔබට ඔසප්වීමක් සිදු නොවන්නේ නම්, එය ඔබේ සෞඛ්‍යයට හෝ අනාගත සරුභාවයට හානිකර නොවේ. මෙම ක්‍රමය ඔබව ගර්භාෂ පිළිකාවලින් ආරක්ෂා කරයි.

තැන්පතු ශරීරයේ බර වැඩි කිරිමට හේතු වේ - නැත. ආහාර රුචිය වැඩිවීම නිසා ඔබගේ බර වැඩිවිය හැකිය. නිරන්තරව ව්‍යායාම කිරීම සහ සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් මගින් මෙම තත්ත්වය පාලනය කළ හැකිය.

තැන්පතු මගින් පිළිකා අවදානම වැඩිකරනු ලබයි - නැත. තැන්පත් මගින් ගර්භාෂ අභ්‍යන්තර බිත්ති (ගර්භාෂයේ බිත්තිය) තුනී කරයි. මෙම තැන්පතු මගින් ගර්භාෂ බිත්තියේ අධිවර්ධනය වැළැක්වීම නිසා ගර්භාෂ පිළිකා තත්ත්වයන් වළක්වයි. තැන්පතු මගින් ඩිම්බ කෝෂයේ උත්තේජනය අඩුකරනු ලබන නිසා ඩිම්බකෝෂ පිළිකා තත්ත්වයන් අඩුකරනු ලබයි.

තැන්පතු වඩාත් සුදුසු වන්නේ කවුරුන් සඳහාද?

දිගුකාලීන පවුල් සැලසුම බලාපොරොත්තුවන යුවළවල් සහ ගර්භනීභාවය කල්දමා ගැනීමට බලාපොරොත්තු වන නව යෞවනියන් සඳහා සුදුසුය.

උපත් පාලනය ගැන වැඩිදුර විස්තර දැනගන්න කතාකළ යුත්තේ කාටද?

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය

පවුල් සෞඛ්‍යය මධ්‍යස්ථානය 
37/27, බුලර්ස් පටුමග, කොළඹ 07
දුරකතන: 011 2555455, 2 588488, ෆැක්ස්: 011 2556611, 2 580915
විද්‍යුත් තැපෑල: happy@happylife.lk

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00