2020 ජුලි 04 වන සෙනසුරාදා

චීනයෙන් දරුණු ඌරු උණ මාදිලියක් එයි

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 377

මෙයට මාස 06කට පෙර චීනයේ වූහාන් පළාතෙන් අබිරහස් රෝගයක් ලෙස වාර්තා වූ කොවිඩ්-19 දැන් ලෝක වසංගතයක් වී හමාරය. එහි අනිටු විපාක ලෝකයටම පළදෙමින් පවතින අතරම, වසංගතයක් බවට පත් විය හැකි තවත් රෝගයක් චීනයෙන්ම වාර්තා වී තිබේ. ඌරන් තුළින් හඳුනාගෙන ඇති මේ නව රෝගකාරක වෛරසය ඉතා ඉක්මණින්ම වෙනස්වීම්වලට ලක්ව මිනිස් සිරුරට ඇතුළු විය හැකි බවත් එය එසේ ඇතුළු වුවහොත් ඉතා සීඝ්‍ර ලෙස පැතිරෙමින් මහා වසංගතයක් බවට පත්විය හැකි බවටත් විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.

ඌරන් මගින් පැතිර ගිය ඉන්ෆ්ලුවෙන්සාව වසංගත තත්ත්වයක් මතු කළේ 2009දීය. ලෝකය පුරා ඌරු උණ ලෙස ප්‍රසිද්ධ වූ එම රෝගය ඇතිකළේ A/H1N1pdm09, ලෙස හඳුනාගත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස මාදිලියයි. එය සඳහා එන්නතක් පසුව සොයා ගනු ලැබිණි. දැන් චීනය තුළින් වාර්තා වන නව වෛරස රෝගය එම පැරණි ඌරු උණ හා සමාන නමුත් අලුත් වෙනස්කම් සහිත එකකි. මේ අලුත් රෝගය සාදන වෛරසය පර්යේෂකයන් හඳුන්වන්නේ G4 EA H1N1 හැටියටය. කෙටියෙන් G4 ලෙසටය. 2011 සිට 2018 දක්වා චීනයේ පළාත් 10ක ඌරු ගොවිපළ ආශ්‍රිතව ලබා ගත් සාම්පල 30,000කින් හඳුනාගත් ඌරු උණ වෛරස 179ක් අතරින් වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ 2016 සිට අලුතෙන් බිහිව පැතිර යන මේ G4 මාදිලියයි. ඉතා මාරාන්තික වේගයකින් පැතිර යා හැකි මේ වෛරසය ඌරන්ගෙන් දැනටමත් මිනිසුන්ට ඇතුළු වී හමාරය. නමුත් මිනිසුන් එකිනෙකා අතර පැතිරෙන බව තහවුරු කර නැත. නමුත්, එවන් විටෙක සිදුවිය හැකි හානිය සලකා දැන් ඌරු ගහණය තුළ වාර්තා වූ මේ නව වෛරසයට ද ඔබින අලුත් එන්නතක් නිපදවීමට ඔවුන් ලහිලහියේ අවධානය යොමු කර හමාරය.

මේ අවස්ථාවේ ඌරු උණ පිළිබඳ දැනුම්වත් වීම අප කාටත් සුදුසුය. එසේම දැනට කොවිඩ්-19 සඳහා අනුගමනය කරන පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම මේ වසංගතයෙන් ගැලවී සිටින්නට ද උදව් වන බව වෛද්‍ය මතයයි.
පැරැණි ඌරු උණ නැත්නම් H1N1 ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන ලංකාවෙන් ද වාර්තා වූ අවස්ථා තිබේ. නමුත් එය වසංගත තත්ත්වයක් බවට පත් නොවී පාලනය කර ගැනීමට අපේ සෞඛ්‍ය අංශ මෙතෙක් සමත්ව තිබේ. රෝගය පිළිබඳ අවධානයෙන් සිට එය වැළඳුණු බවට සැක සිතෙන රෝගීන් වහා වෛද්‍ය පරීක්ෂණ කරා යොමුකර නියත වශයෙන්ම  වෛරසය ශරීරගත වී ඇතැයි සනාථ වී ඇති අයට නොපමාව ප්‍රතිවෛරස ප්‍රතිකාර ලබා දීමෙන් මේ රෝගයෙන් වැළකීමට හැකියාව ලැබී ඇත.
මොකක්ද මේ සාමාන්‍යයෙන් ඌරු උණ කියා හඳුන්වන H1N1 ඉන්ෆ්ලුවන්සාව. එයින් වළකින්නේ කොහොමද?

සාමාන්‍ය ඌරු උණ රෝග ලක්ෂණ:

ඌරු උණ ද බොහෝ දුරට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ හා සමාන වන අතර උණ, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, කැස්ස, උගුර ආසාදනය, හිසරදය හා මස්පිඬු හා හන්දි රැදාව මෙහි රෝග ලක්ෂණ වේ.
මෙකී රෝග ලක්ෂණ ඇති රෝගීන් H1N1 ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා සැක සහිත රෝගීන් ලෙස සැලකෙන අතර ඔවුන් අතරින් දරුණු රෝග ලක්ෂණ හෝ රෝගී තත්ත්වය උත්සන්න වන ලක්ෂණ පෙන්වන රෝගීන් පමණක් රෝහල් (රජයේ හෝ පෞද්ගලික) වලට ඇතුළු කරගනු ලැබේ. 

මෙසේ ඇතුළු කර ගන්නා ලද රෝගීන් පමණක් අවශ්‍ය පරිදි රෝගය ස්ථිර කිරීමේ රසායනාගාර පරීක්ෂණය සඳහා යොමු කරනු ලබන අතර නියමිත ප්‍රතිවෛරස් ඖෂධ ලබාදෙනු ඇත. බරපතළ නොවන උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පමණක් පෙන්වන රෝගීන් සඳහා සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා නියමිත බාහිර රෝගී ප්‍රතිකාර ලබාදෙන අතර ඔවුන් පිළිපැදිය යුතු උපදෙස් නිවැරදිව ලබා දෙනු ලැබේ.

ඌරු උණ, H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගීන් සඳහා උපදෙස්:

• නියම කරන ලද ඖෂධයන්හි (උදා: උණ පාලනය කිරීම සඳහා දෙන පැරසිටමෝල්) නියමිත මාත්‍රා නිසි පරිදි භාවිත කරන්න.
• ඇඳ විවේකය ලබාගන්න.
• වැඩිපුර දියර වර්ග පානය කරන්න.
• පෝෂ්‍යදායී ආහාර ලබාගන්න.
• පවුලේ සාමාජිකයන් හට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා වෙන්ව සිටින්න. හැකි සැමවිටම මුඛ ආවරණයක් පළඳින්න.
• නිතර සබන් යොදා හොඳින් අත් සෝදන්න. විශේෂයෙන් කිවිසීමෙන් හා කැස්සෙන් පසු මෙසේ දෑත් සේදිය යුතුයි.

කහින හා කිවිසින අවස්ථාවලදී දෑත්වලින් මුඛය හා නාසය ආවරණය කිරීමෙන් වළකින්න. පිරිසුදු ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසි මේ සඳහා භාවිත කරන්න. එකී ටිෂූ කඩදාසි ආරක්ෂිතව බැහැර කරන්න. ලේන්සු තෙත් වූ වහාම සබන් යොදා සෝදාගන්න.
ඔබේ රෝග ලක්ෂණ අඩු නොවන්නේ නම් හෝ දරුණු වන්නේ නම් හෝ පහත දැක්වෙන අන්දමේ අවදානම් රෝග ලක්ෂණ හටගනී නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවන්න.

අවදානම් රෝග ලක්ෂණ

වැඩිහිටියන් සඳහා:
• හුස්ම ගැනීමට අපහසු වීම
• නොනවතින වමනය
• පපුවෙහි හෝ බඩේ වේදනාව හෝ තෙරපුම
• කරකැවිල්ල
• සිහිමඳ ගතිය හෝ සිහි මුර්ජා වීම
• රෝග ලක්ෂණ සුවවීමෙන් අනතුරැව නැවත උණ හෝ තද කැස්ස පැතිරීම.

දරුවන් සඳහා:

• හුස්ම ගැනීම වේගවත් වීම හෝ අපහසු වීම
• සම නිල් හෝ අළු පැහැවීම
• දියර වර්ග පානය කිරීමට අපහසු වීම/ අඩුවීම
• පහකරන මුත්‍රා ප්‍රමාණයෙහි අඩුවක් දක්නට ලැබීම හෝ අඬන විට කඳුළු වැටීම අඩුවීම
• නොනවතින වමනය
• ප්‍රතිචාර දැක්වීම අඩුවීම
• නොසන්සුන් ලෙස හැසිරීම
• රෝග ලක්ෂණ සුවවීමෙන් අනතුරැව නැවත උණ හා තද කැස්ස ඇතිවීම

අවදානම වැඩි අය:

පහත දක්වන කණ්ඩායම්වලට අයත් H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගීන් මෙම රෝගයේ සංකූලතා කෙරෙහි වැඩි අවදානමක් දරන හෙයින් ඔවුන් තමන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිය යුතුයි. රෝග ලක්ෂණ දරැණු වුවහොත් ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

• අවු: 2ට වඩා අඩු දරුවන්
• අවු: 65ට වඩා වැඩි වැඩිහිටියන්
• ගර්භනී මවුවරුන්

පහත දැක්වෙන රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්:
• ඇදුම ඇතුළු නිදන්ගත පෙනහළු රෝග සහිත රෝගීන්
• හෘද හා රුධිර වාහිනී රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් (අධික රුධිර පීඩනය ඇති රෝගීන් හැර) රුධිර සෛල සම්බන්ධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නන්
• දියවැඩියා රෝගීන්
• ප්‍රතිශක්තිය හීනවූ රෝගීන් (H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගීන් ඇතුළුව)
• දීර්ඝකාලීන ලෙස ඇස්ප්‍රින් ලබාගන්නා අවුරුදු 19ට අඩු පුද්ගලයන්
 
 සුගත්