2020 මැයි 30 වන සෙනසුරාදා

ගමේ ගොඩේ ලොකුම මාරකේ සර්ප දෂ්ටනය!

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 995

ලංකාව තුළ තවමත් බහුලව දක්නට ලැබෙන සෞඛ්‍ය ගැටලුවක් ලෙස සර්ප දෂ්ටනය හඳුන්වා දිය හැකිය. අපේ රටේ සර්ප විශේෂ 104ක් පමණ ඇතත් විෂ අධික සපුන් වි‍ශේෂ 06ක් පමණක්ය. එයිනුත් බහුලව සර්ප දෂ්ටනයන්ට වගකිව යුතු මාරාන්තික සපුන් ඇත්තේ 4කි. මේ බොහෝ  සර්ප අනතුරු ඇති කරගන්නේ මිනිසාගේම නොසැලකිල්ල හේතුවෙනි. නිසි ප්‍රතිකාර ගැනීමට ඉක්මනින්ම ක්‍රියා නොකිරීම නිසා තාමත් අපේ ගමේ ගොඩේ  ලොකුම මාරකේ හැටියට සර්ප දෂ්ටනය පත්ව තිබේ.

සර්පයන් දෂ්ට කිරීමේ අවදානම  වැඩි  පුද්ගලයන් කවුද?

සර්පයන් බහුල පෙදෙස්වල ජීවත් වන පුද්ගලයන්, සර්පයන් සැඟව සිටින තණකොළ, කුඩා පඳුරැ, වියලි කොළ සහිත බිම් හරහා නිතර ගමන් කරන පුද්ගලයන්, කුඹුරැ අසල, මඩ වළවල් අසල නිතර ඇවිදින පුද්ගලයන් තිත් පොළඟන් දෂ්ට කිරීම්වලට ලක්වීමේ අවදානම වැඩි වේ. කුඩා පොකුණු, කුඩා දිය දහරාවන් අසල නිතර ඇවිදින පුද්ගලයන් නාගයන් දෂ්ට කිරීම්වලට ලක්වීමේ අවදානම වැඩි වේ.

රාත්‍රියේ වැසි කාලයට බිම නිදාගන්නා පුද්ගලයන් කරවලුන් දෂ්ට කිරීමේ අවදානමට ලක් වේ. ගෙවත්තේ උද්‍යානවල, කුණු ගොඩවල් අසල දෑත් උපයෝගී කරගෙන වැඩකරන පුද්ගලයන් කුණකටුවා දෂ්ට කිරීම්වලට බහුලව ලක් වේ. සර්පයන් ඇල්ලීමට, අතපත ගෑමට උත්සාහ කරන පුද්ගලයන්.

 සර්පයකු දෂ්ටනයකට ලක්වූ විට ඇති වන ලක්ෂණ:

සර්පයන් දෂ්ට කළවිට ඇති වන රෝග ලක්ෂණ දෂ්ට කළ සර්පයා සහ ඇතුළ වූ විෂ ප්‍රමාණය අනුව වෙනස් වේ.

විෂ සහිත සර්පයකුගේ විෂ දළවල විෂ වර්ග කිහිපයක් පවතී. ඒවා මගින් හෘදයේ, ස්නායු පද්ධතියේ, රුධිර කැටි ගැසීමේ ක්‍රියාකාරීත්වය අඩපණ වේ. සර්ප දෂ්ටනයට ලක් වූ පටකවලට හානි කරයි.

මෙහිදී හෘදය වස්තුවේ ස්නායු පද්ධතියේ සහ රුධිර කැටගැසීමේ වෙනස්කම් සර්ප විෂ සමස්ත සිරුරටම බලපා ඇතිවිට ඇති වේ. සර්ප දෂ්ටනයට ලක් වූ අවයවයේ ඇති වන වෙනස්කම් එම ස්ථානයේ පටකවලට විෂ ඇතුළු වී ඇති බව දක්වයි.
මෙම ලක්ෂණ ඇති වන කාලය ඇතැම් විට පැය කිහිපයකින් වුවද විය හැක.

1. සර්ප දෂ්ටනයට ලක් වූ ස්ථානය රතු වේ. සමේ පැහැය වෙනස් වේ. එමෙන්ම එම පෙදෙස ඉදිමීමට ලක් වේ. 2. විෂ දළවල ලකුණු සම මත දැකිය හැකිය. 3. දෂ්ඨ කළ ස්ථානයේ දැඩි වේදනාවක් ඇති වේ. 4. කරකැවිල්ල, වමනය, ක්ලාන්තය ඇති වේ. 5. පෙනීම දුර්වල වීම, දෙක බැගින් පෙනීම, පෙනීම අපහැදිලි වීම දැකිය හැකිය. 6. හුස්ම ගැනීමේ අපහසුව 7. දහඩිය දැමීම වැඩි වීම, කෙළ බේරීම 8. අත් පා පණ නැති වීම සහ සමායෝජන හැකියාව දුර්වල වීම. 9. සමේ ලේ ගැලූ ස්ථාන දක්නට ලැබීම, ලේ වමනය, ගුද මාර්ගයෙන් ලේ ගැලීම, මැලීනා තත්ත්වය (තද කලු තාර මෙන් මලපහ පිට වීම) ඇති වේ. එමෙන්ම සිරැරේ අභ්‍යන්තරයේ රුධිර වහනය වීම් සිදු විය හැකිය.

සර්ප දෂ්ටනයකට ලක් වූවිට දී සිදු කළ යුත්තේ කුමක්ද:

රෝගියා සනසන්න. ඔහුගේ/ ඇයගේ සිතෙහි බිය ඉවත් කරන්න. එවිට විෂ සිරුර පුරා ව්‍යාප්ත වීමේ වේගය අඩුය.

රෝගියා හාන්සි කරන්න. සර්පයා දෂ්ට කළ අත හෝ කකුල හෘදයේ මට්ටමට වඩා පහළින් තබන්න.

තුවාලය හොඳින් සබන් ගා සෝදන්න. දෂ්ට කළ ස්ථානය පිරිසිදු වියළි රෙදි කඩකින් වසන්න.

අත්වල දමා ඇති මාල වළලු සහ තද ඇඳුම් ඉවත් කරන්න.

දෂ්ට කළ ස්ථානය සොලවන විට විෂ පැතිරීම වැඩි බැවින් ස්පිලින්ට් එකක් ලී පතුරක් තබා නොසෙලවෙන ලෙස බඳින්න.

හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න.

සර්පයා ආරක්ෂාකාරීව අල්ලා ගත්තේ නම් හෝ මරා දමා ඇත්නම් ආරක්ෂිත බෝතලයක දමා රැගෙන යන්න.

 සර්ප දෂ්ටනයකදී ඔබ නොකළ යුතු දෑ මොනවාද?

තුවාලයට කට තබා ඉරීමෙන් වළකින්න.

තුවාලය වටා සම බ්ලේඩ් තල, පිහිය ආදියෙන් කැපීමෙන් වළකින්න.

තුවාලයට කොන්ඩිස්, බෙටාඩීන් ආදිය දමා සුද්ද කිරීමෙන් වළිකින්න.

තුවාලය සෝදන විට තදින් ඇතිල්ලීමෙන් වළකින්න.

සර්ප දෂ්ටනය සිදු වූ ස්ථානයට අයිස් තැබීමෙන් හෝ වතුරේ ගිල්වා තැබීමෙන් වළකින්න.

සර්ප දෂ්ටනයට ලක් වූ අත හෝ පාදයේ තදින් පටිවලින් ගැට ගැසීමෙන් (tourniquet) වළකින්න.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝග ලක්ෂණ මතු වන තෙක් නොසිටින්න. හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.

ඇල්කොහොල් හෝ කැෆේන් අඩංගු දෑ බීමෙන් වළකින්න.

 දෂ්ට කළ සර්පයා හඳුනාගැනීමේ ඇති වැදගත්කම කුමක්ද?

සර්පයා හඳුනාගැනීම මගින් සිරුරට ඇතුළු වු විෂ වර්ගය දැන ගත හැක. එමගින් ඇති විය හැකි රෝග ලක්ෂණවලට ප්‍රතිකාර සිදු කළ හැක. උග්‍ර විෂ සහිත සර්ප දෂ්ඨනයකදී හැකි ඉක්මනින් ප්‍රති විෂ ලබා දීම සිදු කළ හැක. සර්පයා රුගෙන යාමේදී තදින් කරකවා මූඩිය වැසිය හැකි ඝනකම් ප්ලාස්ටික් විනිවිද පෙනෙන භාජනයක දමා රැගෙන යන්න.

 සර්ප දෂ්ටනයට ඇති ප්‍රතිකාර මොනවාද?

ශ්‍රී ලංකාවේ ජීවත්වන බොහෝ සර්පයන් නිර්විෂ සර්පයන් වේ. මඳ විෂ සහිත සර්පයන් අඩු විශේෂ සංඛ්‍යාවක් ජීවත් වන අතර උග්‍ර විෂ සහිත සර්පයන් ඇත්තේ අතලොස්සක් පමණි. මෙහිදී ප්‍රතිවිෂ ලබා දෙනුයේ නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා සහ වැලි පොළඟා යන උග්‍ර විෂ සහිත සර්ප දෂ්ටනවලදී පමණී. සර්ප දෂ්ටනයේදී ප්‍රතිවිෂ ලබා දෙනුයේ සර්ප විෂ සමස්ත සිරුරට බලපා ඇති විට පමණි. දෂ්ටනයට ලක් වූ අතේ හෝ පාදයේ විෂ ඇතුළු වූ බවට සාදක ඇතත් ප්‍රතිවිෂ ලබා නොදේ. නමුත් නාගයා දෂ්ට කළ අවස්ථාවක අතේ හෝ පාදයේ බාගයකට වඩා ඉදිමී ඇත්නම් ප්‍රතිවිෂ ලබා දේ. ලංකාවේ ප්‍රධාන රෝහල් සෑම එකකම පාහේ දැන් ප්‍රතිවිෂ එන්නත් ලබාදේ. මේ නිසා වහාම රෝගියා ළඟම රෝහල කරා ගෙන යාම සුදුසුය.

-Sugath 

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00