2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

රුධිරයටත් හැදෙන අමුතුම ලෙඩ !

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 2440

ලෙඩ හැදෙන්නේ සිරුරේ අවයව පද්ධතිවලට පමණද? ඒ සියලු පද්ධති නිරෝගීව තබා ගන්නට වැදගත්ම සාධකය ලෙස දක්වන්නට පුළුවන් ලේ, හෙවත් රුධිරයත් ලෙඩ වන බව ඔබ දන්නවාද? ලේ ලෙඩ වුණොත් හැදෙන්න පුළුවන් ලෙඩ ගැනයි අපි දේශය පාඨක ඔබට අද මේ කියන්න යන්නේ.

ලේ, හෙවත් රුධිරය තමා අපේ ශරීරයේ හැම අවයවයකටම අවශ්‍ය පෝෂණය, ජලය, ඔක්සිජන් සපයන්නේ. ඒ වගේම සිරුරට ඇතුළු වෙන විෂබීජවලින් සිරුර ආරක්ෂා කරන්නේ. විස පෙරා දමන්නේ. සිරුරේ අවයව පිරිසුදුව නිරෝගීව තබාගන්නේ. මේ කියන කරුණු කාරණා කෙරෙන්නේ ලේ වල ඇති ප්‍රධාන කොටස් හතරක් මගිනුයි. මේ කොටස් හතර විවිධ හේතු නිසා ඒවායේ ස්වභාවික තත්ත්වයෙන් වෙනසකට ලක්වුණොත් නැත්නම් ලෙඩ වුණොත් ඒ නිසා හැදෙන ලෙඩත් බොහෝමයි.
මුලින්ම බලමු රුධිරය සැදී ඇති ප්‍රධාන කොටස් 4 මොනවාද කියලා.

එක, තමා රතු රුධිරාණු. දෙක, තමා සුදු රුධිරාණු. තුන, තමා රුධිර පට්ටිකා. හතර, තමා රුධිරයේ ඇති දියර කොටස ඒ කියන්නේ ප්ලාස්මාව. මේ කියන මූලික සංඝටක වලින් මුලින්ම රතු රුධිරාණුවලට හැදෙන ලෙඩ රෝග ගැන අපි අද කතා කරමු. ඒ අතරින් ප්‍රධාන රෝගය ලේ හිඟකම නැතිනම් ඇනීමියාව.

ලේ හිඟකම හෙවත් ඇනීමියාව
ලේ හිඟකම ලෙස සාමාන්‍ය වචනයෙන් හැඳින්වෙන රෝගයට හේතුව රතුරුධිරාණු හිඟකමයි. මේ රෝගයේ රෝග ලක්ෂණ මතු වෙන්නේ රතු රුධිරාණු හොඳටම අඩු වූ විටයි. සුදුමැලි හම, ඇස් යට, නියපොතු සුදු පැහැවීම, මහන්සි ගතිය, වෙහෙස ගතිය ඒ රෝග ලක්ෂණයි. රතු රුධිරාණු හිඟවීම සිදුවන ආකාරය හේතුවෙන් මේ රෝගයෙත්, විවිධ ආකාර පවතියි.

යකඩ අඩුවීම නිසා ඇතිවන ලේ හිඟය
රතු රුධිරාණු සෑදීමට යකඩ හෙවත් අයන් අවශ්‍යමයි. මාසික ඔසප් චක්‍රය හේතුවෙන් ඇතිවන බලපෑම නිසා කාන්තාවන් අතර බහුලව මෙය දැකිය හැකියි. සිරැරේ පිළිකා හෝ අභ්‍යන්තර තුවාල නිසාද මෙය හටගන්නට හැකියි. යකඩ පෙති සිරප් ලබාදීම හෝ පෝෂණ උපදෙස් පිළිපැදීම මගින් මෙයින් සුවය ලැබේ. කලාතුරකින් පිටතින් රැධිරය දෙන්න සිදුවෙයි.

නිදන්ගත ලේ හිඟය
නිදන්ගත වකුගඩු රෝගය බඳු අනෙකුත් නිදන්ගත රෝගී තත්ත්ව නිසා ඇතිවන ලේ හිඟය මෙයට බලපායි. බොහෝ විට අදාළ රෝගවලට ප්‍රතිකාර ගත්විට මෙයද සුවවෙයි. නැතිනම් රතු රුධිරාණු නිපදවීම උත්තේජනය කරන හෝර්මෝන එන්නත් කිරීම හෝ අවශ්‍යවිට රුධිරය පිටතින් ලබාදීම සිදුවෙයි.

විටමින් B12 හිඟය
විටමින් B12 හිඟය නිසා ඇතිවන තත්ත්වයකි මේ. ආහාර මගින් විටමින් B12 නිසිලෙස උරා නොගැනීම නිසා එය සිදුවෙයි. ආමාශයේ ඇතුළත පටල දුර්වලවීම නිසා මෙය සිදුවිය හැකිය. සමහරවිට ස්නායුගත රෝගාබාධයන්ද මෙයට හේතුවිය හැකිය.

Aplastic ලේ හිඟය
මේ තත්ත්වය ඇතිවන්නේ ඇටමිදුළු මගින් අවශ්‍ය තරම් රතු රුධිරාණු නිපදවන්නේ නැතිවිටය. මේ සඳහා බොහෝ හේතු බලපෑ හැකිය. හෙපටයිටිස් සහ HIV වැනි තත්ත්ව. සමහර ඖෂධවල බලපෑම පිළිකා සඳහා කෙරෙන රසායනික ප්‍රතිකාර, ගර්භණීභාවය, මේ සඳහා ඖෂධ ලබාදීම, රුධිරය ලබාදීම සිට ඇටමිදුළු බද්ධය දක්වා ප්‍රතිකාර ලබාදීමට සිදුවෙයි.

අධි ප්‍රතිශක්තිජනක ලේ හිඟය
ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධි ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙය ඇතිවෙයි. මෙහිදී සිරැරේ නිපදවෙන රතු රුධිරාණු සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියම ගිල දැමීම සිදුවෙයි. මේ නිසා ඇතිවන ලේ හිඟයට ප්‍රතිකාර ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමනය කරන ඖෂධ ලබාදෙයි.

තැලිසීමියා ලේ හිඟය
මෙය ජානමය හේතුමත ඇතිවන ලේ හිඟයයි. මෙය බොහෝවිට ජීවත්වන පරිසර කලාපය අනුව එන ජානමය රෝගයකි. සමහර අයට ප්‍රතිකාර අවශ්‍ය නොවේ. සමහර අයට ලේ ලබාදීමට සිදුවෙයි.

දෑකැති සෛල ලේ හිඟය
සමහර රටවලට අදාළ ජානමය රෝගයකි. රතුරුධිරාණු ඝන වී තදවී දෑකැති හැඩැති ස්වභාවයක් ගනියි. මේ මගින් රුධිර ධාරාව අවහිර කරයි. තදබල කැක්කුම් මෙන්ම අවයවවලට හානිද සිදුවිය හැකියි.

අධි සෛලීය ලේ හිඟය
මෙය හඳුනා නොගත් හේතුවක් නිසා ඇතිවන තත්ත්වයකි. අධික ලෙස රතු රුධිරාණු නිපදවෙන අතර මෙයින් බොහෝවිට හානි සිදුනොවුණත් හදිසියේ රුධිරය කැටි ඇතිවිය හැකියි.

මැලේරියා ලේ හිඟය
මැලේරියා පරපෝෂිතයා හේතුවෙන් රතුරුධිරාණු පුපුරා විනාශ වී යාම මෙහිදී සිදුවෙයි.

- සුගත්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00