2020 මාර්තු 07 වන සෙනසුරාදා

ලුණු පදම පැන්නොත් සිරුර දැනුම් දෙන හැටි!

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 766

ලුණු අපේ ශරිරයට අවශ්‍ය බව ඇත්තයි. නමුත් හොද්දට ලුණු මදියි කියා ලුණු පොල් කට්ට හොදි හැලියට හලා ගන්න තරමට නම් නෙමෙයි. වෛද්‍ය උපදේශයට අනුව අපි දවසකට ලුණු භාවිත කළ යුත්තේ ග්‍රෑම් 5කටත් අඩු ප්‍රමාණයකුයි. වඩාත් තේරෙන බාශාවෙන් කිවහොත් නිරෝගී වැඩිහිටි ශ්‍රි ලාංකිකයකුට නම් දවසටම අවශ්‍ය වන්නේ තේ හැඳි භාගයක් නැතිනම් තුන්කාලක ප්‍රමාණයක් පමණයි. ඒ ප්‍රමාණය පැන්නොත් ලෙඩ ගොඩයි.

ලුණු තමා අපේ මස්පිඩු නියමිත ජවයකින් යුතුව හොඳින් ක්‍රියාත්මක කරවන්නේ. ඒ වගේම ස්නායු පද්ධතිය ආශ්‍රිත පණිවුඩ හුවමාරැව ක්‍රියාශීලිව සිදුවෙන්නේ. ලුණු අඩුවීම නිසා සිදුවන මස්පිඩු පෙරුළීමේ අපහසුතාව අපි කාටත් නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේම තමා හොද්දට ලුණු වැඩි වුණොත්.

අධික ලුණු රුධිර පීඩනය ඉහළ දමන්න මූලික හේතූවක්. අධි රුධිර පීඩනය නිසා වකුගඩුවලට හානි සිදුවෙනවා. නහර පිපිරීම් සිදු වීමෙන් අංශභාග තත්ත්ව ඇති වෙනවා. ලුණු වැඩිනම් හදවත් රෝගත් වැඩියි. දියවැඩියාවටත් වැඩි ලුණු හේතුවක්. මේ සියල්ල අතර මහ ලෙඩක් වන තරබාරුවටත් ලුණු හේතුවක්. ඒ සමගම ආතරයිටිස්, හන්දිපත් රුදාව වගේම කොන්ද කැක්කුම වගේ එපා කරපු ලෙඩත් පෝලිමට එනවා.

ඉතින් තමන්ගේ සිරුරට ලබාගන්නා ලුණු ප්‍රමාණය වැඩි නම් අපේ සිරැර ඒ ගැන අපට දැනුම් දෙන විදිහක් තියෙනවා. පහත දැක්වෙන අනතුරැ ඇඟවීම් ගැන විමසිලිමත් වුණොත් හිතූමතේ ලුණු කාලා ලෙඩ වීම වළක්වා ගන්න ඔබටත් හැකි වේවි. බලමු මොනාද මේ ලුණු වැඩි ලකුණු!

• තැනින් තැන සිරුරේ ඇති වන අසාමාන්‍ය ඉදිමීම්

හැමදාම ඇඟිල්ලේ දාපු මුද්ද දාගන්න බැරිව ඔබේ ඇඟිලි ඉදිමිලා වගේ ඔබට දැනෙනවාද? උදේ නැගිටිනකොට ඔබේ දෑස්, දෙපා ආදිය අසාමාන්‍ය ලෙස ඉදිමිලා තිබෙනවද? බොහෝවිට මෙහෙම සිදු වෙන්නේ සිරැරේ ඇති ලුණු ප්‍රතිශතය ඉහළ යන විටයි.

• පමණට වඩා දැනෙන පිපාසය

සිරුරේ අඩංගු ලුණු ප්‍රමාණය වැඩි වූ විට සිරැරේ ඇති ජලය ප්‍රමාණය පහළ බසිනවා. මේ නිසා ඔබ ලුණු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි වන තරමට සිරුරේ ඇති ජලය වැය වෙන නිසා ඔබට ජලය වැඩියෙන් අවශ්‍ය වෙනවා. නැතිනම් ඔබේ සිරැරේ ඉන්ද්‍රියයන්වල ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. ලුණු වැඩිපුර ආහාරයට ගෙන, ජලය පානය කිරීම අඩු කළොත් ඔබේ සිරැරේ සෛල විජලනයට ලක් වෙනවා.

• මුත්‍රාවල වෙනස්කම් ඇති වීම

ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩුවලට වැඩියෙන් වෙහෙස වී, ඒවා සිරුරෙන් පිට කිරීම සඳහා ක්‍රියා කරන්නට සිදු වෙනවා. මෙවිට ඔබේ වකුගඩුවල රෝගී තත්ත්වයක් ඇති විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රාවල වර්ණය ඉතා පැහැදිලි වීමත්, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීමත් සිදු විය හැකියි. මීට අමතරව, සිරැරේ ලුණු වැඩි වීම නිසා සිරුර විජලනයට පත් වෙනවා. එසේ වීමෙන් මුත්‍රා තද කහ පැහැයකින් යුක්ත වීමටත්, පිටවන මුත්‍රා ප්‍රමාණය අඩු වීමත් සිදු වෙනවා.

• ඇටකටුවල වේදනා ඇති වීම

ලුණු භාවිතය නිසා ඇටකටුවල ශක්තිමත් බවට ගැටලු ඇති වෙනවා. ඔබ පමණට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩු දැඩි වෙහෙසකට පත් වෙනවා. වකුගඩුවලට ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අපහසු වෙනවා. ලුණු වැඩි වීම නිසා, කැල්සියම් අඩු වෙනවා. නිදන්ගත කැල්සියම් ඌනතාවය, ඇටකටු දුර්වල වීම, දත්වල ගැටලු ඇති විය හැකි අතර ඔස්ටියෝපොරෝසිස් වර්ධනයට ද හේතු විය හැක.

• කෙණ්ඩා පෙරළීම

සිරැර තුළ නිවැරදි සෝඩියම් - පොටෑසියම් ලවණ සමතුලිතතාවයක් පවත්වා ගැනීම ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අතර, මෙම රසායනික මූලද්‍රව්‍ය මාංශ පේශි හැකිලීමට හේතු වෙනවා. ඔබ ලුණු ආහාර නිතර ලබා ගැනීමෙන් ඔබේ මාංශ පේශි තුළ වේදනාව ඇති වීම, පෙරලීම සිදු විය හැකියි.

• දිගු කල් පවතින හිසරදය

අධික ලුණු හෙවත් සෝඩියම් පරිභෝජනය ඔබගේ රැධිරයේ ඝනත්වය වැඩි කරවන අතර, එය ඔබගේ රැධිර නාල පළල් කරමින්, එයට පීඩනයක් එකතු කරනවා. රුධිර නාලවල මෙම ව්‍යාප්තිය නිසා අධි රුධිර පීඩනය හට ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි හිසරදයක් හට ගන්නවා.

• මතක ශක්තිය, තර්කානුකුල හැකියාව අඩු වීම

ලුණු භාවිතය අධික වීම හේතුවෙන් ඇතිවන අධි රුධිර පීඩනය ඔබේ මොළයට රැධිරය සපයන ධමනිවලට හානි කරනවා. මෙය නිසා ඔබේ සිතීමේ හැකියාවට හා දිනපතා කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට අපහසු විය හැකිය. ඊට අමතරව නිරන්තරව සිදුවන විජලනය දුර්වල මතකයට, විඩාපත් භාවයට සහ මන්දගාමී ඈලි මෑලි බවටත් හේතුවක් වෙනවා. මේ නිසා අද සිටම පමණ දැන හොද්දට ලුණු දමන්න.

- සුගත්