2020 ජනවාරි 25 වන සෙනසුරාදා

සිරුර මනස සැහැල්ලු කරන විස්මිත ඔසුව!

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 765

එප්සම් ලුණු ඔබට හිතාගන්නටත් බැරි තරම් සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් අත්කර දෙනවා. මේවා තුළ අඩංගු මැග්නීසියම් සහ සල්ෆේට් අයන සම තුළින් පහසුවෙන් ශරීරගතවෙලා ඉක්මණින් කටයුතු කරනවා. ශරීරගත වේදනා කැක්කුම්, ඉදිමුම්, වගේම වණ ලප කැළැල් සුව කරන්නට එප්සම්වලට හැකියි. හන්දි වේදනා සුව කරනවා වගේම දියවැඩියාව අධි රුධිර පීඩනය වගේ රෝගාබාධත් අවම කරන්නට එයට හැකියි.

ශරීරය විවේකී බවට පත්කර මානසික පීඩනය ආතතිය වළක්වා විවේකය ලබා දෙන්නත් මේ විශ්වකර්ම ලුණුවලට බලය තිබෙනවා. ශරීරයේ අන්තර්ගත එන්සයිම 325ක ක්‍රියාකාරීත්වය ඉහළ නංවන්නටත් එයට හැකියි. සල්ෆේට් මගින් පෝෂ්‍ය ද්‍රව්‍ය උරාගැනීම ඉහළ දමන අතර ශරීරය තුළ ඇති විස ඉවත් කිරීමද සිදු කරයි. මි‍ග්‍රේන් වැනි හිසරද සුව කිරීමටද මේ අපූරු ලවණයට හැකියාවක් තිබේ.

මොනවාද මේ එප්සම් සෝල්ට්?

එප්සම් සෝල්ට් හැටියට හඳුන්වන්නේ මැග්නීසියම් සල්ෆේට් කියන රසායනයයි. මේවා සාමාන්‍ය උෂ්ණත්වයේදී ලුණු කැට මෙන් දක්නට පුළුවන් සංයෝගයකි. එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ ඇති එප්සම් නමැති ලවණ අඩංගු විලේ නමට අනුව තමා මේ නම ලබා දී තිබෙන්නේ.

එප්සම් නාන බාල්දිය

එප්සම් ලුණු එක්කරන ලද මඳ උණුසුම් වතුර සහිත නාන බාල්දියක බැස සිටීමෙන් ශරීරගත සියලු වේදනා කැක්කුම් දුරු කරගත හැකි අතර මානසික ආතතිය අවපීඩනය වැනි තත්ත්වයන්ද මගහැරී යයි. ශරීරයේ රුධිර ධාවනය නිසි මට්ටමට ගෙන අවුත් හෝර්මෝන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට ගෙන එමින් නව ජීවයකින් යුතුව වැඩ කටයුතුවල යෙදීමට අවස්ථාව සැලසේ.

උණු ජලයේ දිය කළ එප්සම්වලට කළ හැකි දේ:

• ශරීරය විවේකී බවට පත් කරයි.

• හන්දිපත්, මාංශ පේශි වේදනා සමනය කරයි.

• කෙණ්ඩා පෙරැළීම ඇතුළු මස්පිඬු පෙරුළීම් නවතා දමයි.

• රුධිර නාළගත ඉදිමුම් වළකා ඒවායේ ඇදෙන සුළු බව රැකදී හොඳ රුධිර සැපැයුමක් ඇති කරයි.

• මැග්නීසියම් හා සල්ෆේට් මගින් ඉන්සියුලින් නිපදවීම සහ භාවිතයට ගැනීමේ හැකියාව වර්ධනය කරයි. එමගින් දියවැඩියාව සමනය කරයි.

• සිරුරේ ඉදිමුම් තැලුම්, වණ දද සුව කරයි. සිරුරේ ඇනුණු කටු ඉවත් කිරීම පහසු කරයි. මියගිය සෛල ඉවත් කර තරුණ පෙනුමක් ලබා දෙයි.

• පාදවල හටගන්නා කැක්කුම් වේදනා සමනය කරන්නට දිව ඔසුවකි.

• ලප කැළැල් නැති සඳවන් මුහුණක් ලබාදෙන හොඳ පිරිසුදු කාරකයකි.

• මුහුණ පමණක් නොවේ ගෙදරදොර භාජන, ටයිල් ආදිය ද හොඳින් පිරිසුදු කර දෙයි.

• ගෙවත්තේ වගාවන්ට සරුසාර පොහොරක් ලෙසත් වැදගත්ය.

• නිය ආශ්‍රිතව ඇතිවන දිලීර ආසාදන වළක්වයි.

-සුගත්