2020 ජනවාරි 04 වන සෙනසුරාදා

කාපු බීපු දේ උගුරට එන අසීරු ලෙඩේ GERD

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 4965

මොකක්ද මේ ගර්ඩ්?
ආමාශයේ ඇති අම්ල හෝ අම්ල හා මිශ්‍ර වූ ආහාර කොටස් හෝ පිත ගලනාලය තුළට ආපසු ගැලීම හෙවත් - Reflux වීම දැන් බහුලව කතාබහට ලක්වෙන ගෙයිනි. එය Gastro Esophageal Reflux Disease යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වයි. මෙය කෙටියෙන් ගර්ඩ් -  GERD ලෙස හඳුන්වයි. ගලනාලයේ ශ්ලේෂ්මල පටලය ආමාශයික අම්ලවලට ඔරොත්තු නොදෙන නිසා ඇතිවන හානියෙන් රෝගියාට රෝග ලක්ෂණ පහළවීම සිදුවේ.

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ ගලනාලයේ පහළ කෙළවර ඇති වැසුම් පෙත්තක් බඳු පිණ්ඩකයේ (Lower esophageal sphincter) ක්‍රියාකාරීත්වය නිසා එම ආමාශයීක ද්‍රව්‍ය ආපසු ගැලීම - (Reflux) වළකයි. ගලනාලය උරස් කුහරය හරහා විත් උදර කුහරයට ඇතුළු වන්නේ මහා ප්‍රාචීරයේ (Diaphragm) වම් හා දකුණු පේශි කොටස් දෙක අතරින්ය. ඒ  නිසා එහි ඇතිවන දුර්වලතා නිසාද එම පිණ්ඩකයේ ක්‍රියාකාරිත්වය අඩපණ වේ. එම පේශි කොටස් දෙක අතර ඉඩකඩ තුළින් ආමාශයේ කොටසක් හා ගලනාලය උරස් කුහරය ඇතුළට තල්ලුවීම Hiatus Hernia (හයේටස් හර්නියා) නමින් හැඳින්වේ. මෙහිදී ව්‍යුහාත්මකව එම පිණ්ඩකය අදාළ ස්ථානයෙන් ඉහළට ගියවිට එහි ක්‍රියාකාරීත්වය අඩපණ වී ආපසු ගැලීම (Reflux) සිදුවේ.

‘ගර්ඩ්’ GERD රෝගය සඳහා හේතු සාධක
1. ගර්භණීභාවය  2. ස්ථුලභාවය 3. දුම් පානය 4. හයේටස් හර්නියා (Hiatus Hernia) 5. ඇතැම් ඖෂධ වර්ග 6. මානසික ආතතිය 7. ආහාරවල රසායනික සංයුතිය 8. ඇතැම් චොක්ලට්, කැෆේන්, මධ්‍යසාර, වර්ග 9. හයිඩ්‍රොක්ස් ට්‍රිප්ටැමින් හෙවත් සෙරටොනින්  සංයෝගය
රෝග ලක්ෂණ
● පපුවේ හා උගුරේ දැවිල්ල – නැවෙන විට, නිදාගන්නා විට හා කෑමෙන් පසු ● උගුරට වාතය හෝ ඇඹුල් රසට ඒම (Eructation or Regurgitation) ● හුස්ම ගැනීමේ අපහසුව ● රාත්‍රී නින්දේදී කැස්ස ඇතිවීම ● ගිලීමේ අපහසුතාව ● කටහඬ වෙනස්වීම ● හිස රුදාව ● වමනය ● රක්තහීනතාවය
රෝග විනිශ්චය
● එන්ඩොස්කොපි පරීක්ෂණය (Upper Endoscopy) ● ගලනාලය කෙළවර ඇති වෙනස්කම් ● ගලනාලය හා ආමාශය අතර ඇති සන්ධියට ඇති දුර මැනීම ● ගලනාල කෙළවර ආම්ලිකතාවය හා PH අගය මැනීම ● ගලනාල කෙළවර පීඩනය මැනීම ඉහත පරීක්ෂණවලින් රෝගියාට හයේටස් හර්නියා (Hiatus Hernia) තත්ත්වය ඇත්දැයි සාක්ෂාත් කරගත හැකිය.

ප්‍රතිකාර ක්‍රම
ආමාශයේ ආම්ලිකතාවය අඩුකරන ඖෂධ වර්ග, ආපසු ගැලීම අඩු කරන ඖෂධ, එන්ඩොස්කෝපය තුළින් කරන ප්‍රතිකාර ශල්‍යකර්ම – විවෘත හා ලැපරොස්කොපි ශල්‍යකර්ම (Open or Laparoscopic Surgery)
ගර්ඩ් (GERD) රෝගය වළක්වා ගැනීම
1. ස්ථුලභාවය අඩුකරගැනීම 2. දුම් පානය හා මධ්‍යසාර ගැනීමෙන් වැළකීම 3. අධික ලෙස චොක්ලට්, තේ කහට, කෝපි, මයිට් වර්ග ගැනීමෙන් වැළකීම 4. අධික මේද ආහාර ගැනීමෙන් වැළකීම 5. ඇඳේ හිස පැත්ත ඉස්සෙන සේ නිදාගැනීම 6. ඇඟට හිර ඇඳුම් ඇඳීමෙන් වැළකීම 7. මානසික ආතතිය අඩුකරගැනීම
ගර්ඩ් (GERD) නිසා ඇතිවිය හැකි වෙනත් සංකූලතා
1. ආපසු ගලන අම්ල, ආහාර කොටස් නිසා ස්වරාලය, උගුර, හිස් කබල් කුහරවල ආසාධිතතාව ඇතිවීම 2. ගලනාලයේ කෙළවර තුවාල සුවවීමේදී ගලනාලය සිහින්වීම 3. ආමාශයේ ශ්ලේෂ්මල පටලය ගලනාලය තුළට ලියැලීම 4. ගලනාලය කෙළවර පිළිකා හටගැනීම

උපදෙස්:  
ආමාශ සහ ආන්ත්‍රික විශේෂඥ
ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන