2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

කෙට්ටුව මට්ටු කරන්න හරි ලේසියි!

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 426

කෙට්ටු ශරීරයක් සඳහා බලපාන හේතු කාරණා බොහෝමයක් තිබේ. කෙට්ටුව ගැන කතා කරන්නේ පුද්ගලයකුගේ වයසට සාපේක්ෂකව ඇති දේහ බරත් සමඟ සලකා බලමිනි. ශරීරය කෙට්ටු වුවත් වයසට හා උසට සාපේක්ෂව තිබිය යුතු දේහ බර ඇත්නම් ඒ කියන කෙට්ටුව මට්ටු කරන්නට දැඟලීම ඵලක් ඇති දෙයක් නම් නොවේ.

කෙට්ටුවට සාමාන්‍ය හේතු

සාමාන්‍යයෙන් ජානවලින් හෙවත් පරම්පරාවෙන් තමන්ට ලැබෙන ශරීර ස්වභාවය ඇරෙන්නට අසාමාන්‍ය කෙට්ටුවට සහ දේහබර අඩුවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ කෙනෙක් ගන්නා ආහාරපානවල ඇති අපිළිවෙළයි. නිසි වෙලාවට නිසි සමබර පෝෂණයක් සහිත ආහාර ලබා නොගැනීමත්, ආහාර වේල් අත්හැර දැමීමත් යන කාරණාව කෙට්ටුව හා කෙලින්ම සම්බන්ධ කාරණාවයි.

කෙට්ටුවට බලපාන වෙනත් හේතු

කෙට්ටුවීමට බලපාන වෙනත් හේතු කිහිපයක්ද දක්නට පුළුවනි. ඉන් ප්‍රධාන වන්නේ ආතතියයි. සිතේ කණස්සලු ස්වභාවය සහ ආහාර අරැචිය මේ සමඟ අත්වැල් බැඳ එන කරුණුය. නිසි පරිදි ලැබිය යුතු නින්ද හා විශ්‍රාමය ශරීරයට නොලැබීම අනෙක් ප්‍රධාන කරුණයි. ඒ වගේම අධික ලෙස වෙහෙසවන ක්‍රියාකාරකම්වල සහ ශරීර අභ්‍යාසවල යෙදීමද කෙට්ටුවට හේතුවකි.

නැතිනම් ඔබේ කෙට්ටු වීමට හේතුව ශරීරික රෝගී තත්ත්වයක් වන්නට පුළුවනි. ඒ සඳහා සුදුසු වෛද්‍ය පරීක්ෂණ මගින් තත්ත්වය තහවුරැ කරගත යුතුවේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යතාව, ගැස්ට්‍රයිටිස්, උදරය සහ අන්ත්‍ර ආශ්‍රිත ආබාධ, ආහාර ජීර්ණයේ ආබාධ, හෝර්මෝන පද්ධතියේ ආබාධ මෙන්ම ආහාර රටාවේ ඇති අවුල්ද කෙට්ටුවට බලපානා කරුණුය.

මේ කරුණු අතරින් ඔබට බලපාන කාරණාව කුමක්දැයි හඳුනාගැනීමට මානසික වෛද්‍යවරු මෙන්ම පෝෂණ වෛද්‍ය උපදේශයන්ද ලබාගැනීමත් උදරගත හෝ වෙනත් ආබාධ පිළිබඳ නිසි පරීක්ෂාවන්ට ලක්වීමත් ඉතාමත් නුවණක්කාර ක්‍රමවේදයයි. කෙට්ටුව සහ අඩු දේහ බර අයහපත් ලෙස බලපාන අවස්ථා බොහෝමය.

නිසි පරිදි නිසි වෙලාවට නිසි පමණට පෝෂණය සහිත ආහාර නොගැනීම නිසා ඇතිවන කෙට්ටු වීම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට කෙලින්ම බලපායි. ප්‍රතිශක්තිය හීන වීම නිසාම නොයෙකුත් ලෙඩ රෝග සඳහා නිතර ගොදුරු වන්නට හැකිය. අනෙක් කාරණාව නම් ශරීරයේ ශක්තිය අවම වීමයි. සාමාන්‍ය ජෛව ක්‍රියාවලිය අඩපණ වී යාමයි. ඇලි මැලි ගතියට හේතුව මෙයයි.

කාන්තාවන්ට බර අඩුවීම ඔවුන්ගේ මාසික චක්‍රය නැවැතීම දක්වා බරපතළ තත්ත්වයකට හේතුවක් විය හැකියි. මෙයට හේතුව ශරීරයට අවශ්‍ය තරම් මේදය නොලැබීමෙන් ඇතිවන හෝර්මෝන නිෂ්පාදනයේ අබල දුබලතාවයයි. 

ආතතිය බඳු මානසික හේතුන් නිසා ඇතිවන තත්ත්වයන්ටත්, සායනික ආහාර අරුමය බඳු රෝගී තත්ත්වයන්ටත් නොපමාව ප්‍රතිකාර ගත යුතුය. නිරෝගී මනස හේතුවෙන් ප්‍රතිඵලය වන නිරෝගී ශරීරය යන සොබාවික ක්‍රියාවලියට උදව් දීමෙන් ශරීරයේ කෙට්ටුව මට්ටු කළ හැකිය.

කෙට්ටුව මට්ටු කළ හැකි ක්‍රමය වැඩි අපහසු වූවක් නොවේ. ඒ සඳහා ඔබේ ආහාර පුරුදුවල ස්වභාවික රිද්මයක් පවත්වාගෙන යාමයි ඉතාම වැදගත් වන කාරණය. ආහාර රටාව පිළිබඳ දින පොතුත් පවත්වා ගැනීම මේ සඳහා ඇති හොඳම විදිහයි.

කෙට්ටුව මට්ටු කරන ක්‍රමය මෙන්න

• දිනකට ප්‍රධාන වේල් 3ක් ගතයුතුයි. ඒ සඳහා නියමිත වේලාවක් තමන්ට පහසු ලෙස සකසා ගත යුතුයි. සාමාන්‍යයෙන් උදෑසන ආහාරය අවදිවීමෙන් පසු පැය 3ක කාලයක් තුළදී ලබා ගැනීම වැදගත්ය. දිවා ආහාරය සවස 1 ට පමණත්, රාත්‍රී ආහාරය හවස 7-8 අතරත් ගැනීම සුදුසුයි. • ප්‍රධාන ආහාර වේල් අතරම කෙටි ආහාර වේල් 3ක් ද එක්කර ගැනීම වැදගත්. කෙසෙල්, අලිපේර, අඹ හෝ වියළි පලතුරක්, පෝෂණ විස්කෝතු, චීස් කැබැල්ලක්, ටෝස් පාන්, කිරි ආහාරයක්, පෝෂණීය කොළ කැඳ, රටකජු, ආමන්ඩ් වැනි ආහාර මේ සඳහා ගතහැකියි. • දිනකට ඔබ ගන්නා තේ වෙලාවන්ද පාලනය කළ යුතුයි. සාමාන්‍යයෙන් උදෑසන නැගිට්ට හැටියේ තේ බීම හොඳ වැඩක් නොවේ. නැගිට්ට ගමන් ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කිරීමයි වැදගත්. උදේ තේ හෝ කෝපි කෝප්පය ගතයුත්තේ නින්දෙන් අවදිවී පැයකට පසුය. • දෙවැනි තේ කෝප්ය ගතයුතු දවසේ හොඳම වෙලාව මද්දහනයට ළංවූ 10.30 ට පමණ ගතයුතුය. සවස් වරුවේ 3-4 අතර තේ පානය කිරීම වඩාත් හොඳය. රැටත් තේ හෝ කෝපි ගන්නවා නම් එසේ කළ යුත්තේ රැබෝ වී නින්දට යනවා නම් පමණි. • ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණයට වඩා මේ කියන ආහාර රටාවේ රිද්මය පවත්වා ගැනීම වැදගත් වන්නේ ශරීරයට අවශ්‍ය පෝෂණය අඩු නැතිව අඛණ්ඩව සමාන ප්‍රමාණයක් සැපැයීමටය. • නිතර නිතර තේ බීම කඩචෝරු කෑම, බුලත්විට, සිගරට් බීම. • විඩාබර දවසේ අවසානයේ නිවසට පැමිණි වහාම ආහාර ගිල දැමීම සුදුසු වැඩක් නොවේ. • ඊළඟට වැදගත්ම කාරණාව නින්දයි. දිනකට පැය 7-8 ත් කාලයක් සුවපහසු නින්දක් ලැබීම ඉතාමත් වැදගත්ය. • විටමින් සහ ඛනිජ ලවන බාහිරව ලබා ගැනීම කළ යුත්තේ වෛද්‍යවරයාගේ උපදෙස් මතය. • මුළු ශරීරයට හොඳ හැටි ව්‍යායාම ලැබෙන සුදුසු වයසට සහ ශරීර ශක්තියට ගැළපෙන, නම්‍යතාව වඩවන ව්‍යායාමයක නිරත වීමද ඉතාම වැදගත් කාරණයකි. වෛද්‍ය උපදෙස් වන්නේ හැල්මේ දිවීමකට වඩා මද වේගයෙන් කරන ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි දෙයක් වඩාත් සුදුසු බවය. මේ සඳහාද දවසේ නිශ්චිත වෙලාවක් යන කාලයක් වෙන්කිරීම ඉතාමත් වැදගත්ය.

ව්‍යායාමය හොඳ ශරීර ශක්තියක් පවත්වා ගැනීමට පමණක් නොව ගන්නවා පමණක් නොවේ මහ ආහාර රුචියක් පවත්වාගෙන යාමටත් ඉතාමත් වැදගත් සාධකයක් බව අමතක නොකළ යුතුයි. 

ඊළඟට ඇති වැදගත්ම කාරණාව නම් තමන්ගේ කෙට්ටු බව ගැන අනුන්ගේ විවේචන නොතකා හැරීමයි. සිරුරට ගැළපෙන මෝස්තරයට විලාසිතාවට ඇඳුම් ඇඳීමත්, කෙට්ටුව අපරාධයක්යැයි සිතීම වළක්වා ධනාත්මකව සතුටින් සිටීමත් ඉතාමත් වැදගත් කාරණාවකි. ඔබ ඔබම මිස වෙන අයෙක් නොවේ.

-  Web MD

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00