2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

පරම්පරාවෙන් එන අමුතු වකුගඩු ලෙඩේ වකුගඩු ගෙඩි!

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 632

මිනිස් දේහය තුළ රැස්වන අහිතකර බහිස්‍රාවී ද්‍රව්‍ය ඉවත් කිරීමට දායක වන ඉතාමත් වැදගත් අවයවය වකුගඩු යුවලයි. එය මිනිසා තුළ ඇති, පෙරීමේ කාර්යය ඉටුකර දෙන  සංකීර්ණ අවයව යුගලයයි. නමුත් වකුගඩු ආශ්‍රිතව ඇතිවන විවිධ රෝගී තත්ත්වයන්  නිසා එයට බාධා පැමිණීමෙන් බොහෝ ගැටලු පැන නගින අතර ඒවා මරණයට පවා හේතු විය හැකියි. බහුකෝෂ්ඨික වකුගඩු රෝගය හෙවත් Polycystic Kidney Disease (PKD) ද එවැනි වැදගත් නමුත් දකින්නට අහන්නට සුලභ නොවන රෝගී තත්ත්වයකි. මෙය ජානගතව වැළඳෙන්නකි. ඒ කියන්නේ පරම්පරාගතව එන බවයි. නමුත් නවතම සොයාගැනීම්වලින් තහවුරු වී තිබෙන්නේ මෙය සාමාන්‍යයෙන් පුද්ගලයන් දහසකින් එක් අයකු තුළ තිබිය හැකි බවයි. 

මේ අමුතු රෝගයේදී සිදුවන්නේ කළල අවධියේ සිට වකුගඩු තුළ ඇතිවන ඉතා කුඩා ප්‍රමාණයේ කෝෂ්ඨ, දේහ වර්ධනයත් සමඟ විශාල වීමට පටන් ගැනීමයි. ඉන්පසු එම කෝෂ්ඨ හේතුවෙන් වකුගඩු තුළ ඇති නිරෝගී පටක තෙරපීමකට හා ක්‍රමයෙන් විනාශ වීමකට ලක් වේ. ඒ හේතුවෙන් වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ වේ. වකුගඩු සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වීමකට ද ලක්විය හැක.

සාමාන්‍යයෙන් මෙම රෝගයේ බලපෑම හෝ ඉස්මතු වීම බොහෝ දුරට සිදුවන්නේ වයස අවුරුදු පනහෙන් පමණ පසුවය. එම වයස් කාලයේදී වෙනත් රෝගී තත්ත්වයන් ද ඇතිවීමේ අවදානමක් තිබෙන බැවින් මෙම බහුකෝෂ්ඨික වකුගඩු රෝගය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. යම්කිසි අයකු තුළ පහත රෝගී ලක්ෂණ පවතී නම් විශේෂ අවධානයක් යොමු කිරීම සුදුසුය. (එම ලක්ෂණ තිබූ පමණින් ඉහත රෝගය පවතී යැයි කිසිවිටෙකත් නිගමනය නොවේ.)

උදරය හා කොඳු නාරටිය දෙපස පවතින අධික වේදනාව, දිගු කලක් පවතින අධික රුධිර පීඩනය, මුත්‍රා සමඟ රුධිරය පිටවීම, මුත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාදන, ඉහත කරුණුවලට අමතරව හදිසියේ වකුගඩු අක්‍රීය වීමද දැකිය හැක. එම තත්ත්වය පොදු රෝග ලක්ෂණ රාශියක් ලෙසින් විද්‍යාමාන වන අතර වකුගඩු අක්‍රීය වීම ක්ෂණික මරණයට පවා හේතු වේ.

මෙවැනි රෝගීන් අතර අක්මාවේ කුෂ්ඨ ඇතිවීමේ හා අක්මාව විශාල වීමේ ඉඩක්ද තිබෙන බව සඳහන්ය. රෝගය මූලිකව හඳුනාගැනීම Ultrasound Scanning හෙවත් අති ධ්වනි තරංග පරිලෝකනය මගින් සිදු කෙරේ. එසේම MRI Scanning හා CT Scanning ද උපයෝගී වේ.

බොහෝවිට මෙම රෝගය හඳුනාගැනීම බහුලව සිදුවන්නේ උදරය ආශ්‍රිත වෙනත් රෝග සඳහා සිදු කරනු ලබන පරීක්ෂණවලදීය. මෙයට අමතරව, රෝගයට අදාළ ජාන විශ්ලේෂණය ද රෝගය නිශ්චය කිරීමට ඉවහල් වේ. නමුත් එම ක්‍රමවේදය මිල අධිකය. රෝග කළමනාකරණය සැලකූ විට බහුකෝෂ්ඨික වකුගඩු රෝගීන්ගේ රුධිර පීඩනය පාලනය අත්‍යවශ්‍ය වේ. ඒ අධික රුධිර පීඩනය මුළු ශරීරයටම බලපාන නිසාය.

මෙම රෝගය ඖෂධ මගින් මුළුමනින්ම සුව කළ නොහැකි වුවද වෛද්‍ය උපදෙස් නිවැරදි ලෙස පිළිපැදීමෙන් සංකූලතා හා ගැටලු ඇතිවීම පාලනය කරගත හැක. වකුගඩු බරපතළ ලෙස විනාශ වීමකට ලක් වුවහොත් රුධිර කාන්දු පෙරණයට ලක් කිරීමත්, එයින් පසුද රෝගය දරුණු වුවහොත් වකුගඩු බද්ධ කිරීමකට යොමු කිරීමත් සිදු කළ යුතුය.

 සුගත්

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00