2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

සීනි රස-වස!

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 546

‘සීනි’ යනුවෙන් අපි එදිනෙදා ව්‍යවහාරයේ හඳුන්වන්නේ උක් හෝ සීනි බීට්වලින් නිපදවාගන්නා සුක්‍රෝස් ස්ඵටිකවලටයි. යම් ආහාරයක් හෝ පානයක පැණිරස ඇති කරවිය හැකි ලොව එකම සංඝටකය මෙම සුක්‍රෝස් සීනි නොවේ. සුකෝස් යම් ප්‍රමාණයකින් ආහාරයක් හෝ පානයක පැණිරස නංවාලයිද ඊට වඩා බොහෝ අඩු ප්‍රමාණයක් යොදාගෙන එම පමණින්ම එහි පැණිරස ඇතිකරවිය හැකි ස්වභාවික හා කෘත්‍රිමව සංශ්ලේෂණය කරන සංඝටක රාශියක් ලොව පවතිනවා. මේවා ‘පැණිරසකාරක’ ලෙස පොදුවේ හැඳින්වෙනවා. අපි අද කතාකරන්නේ ඒ ගැනයි.

ස්වභාවික පැණිරසකාරක:
සීනි වෙනුවට යොදාගත හැකි ස්වභාවික පැණිරසකාරක ග්ලයිසීමික අගය අතින් බොහෝවිට සීනිවලට වඩා ශරීරයට හිතකර වුවත්, කැලරි අගය අතින් සීනිවලට වඩා වැඩිවීම මෙන්ම සාපේක්ෂව මිලෙන් අධික වීම හා භාවිතයේ ප්‍රායෝගික ගැටලු නිසා බොහෝ නිෂ්පාදකයින් කෘත්‍රිම පැණිරසකාරකවලට යොමු වී තිබෙනවා. අපේ පැරැන්නන් ආහාර රසවත් කිරීමට හකුරැ, මී පැණි වැනි ස්වභාවික පැණිරසකාරක යොදාගත්තා. ඒවායේ ග්ලයිසීමික් අගය සුක්‍රෝස් සීනිවලට අඩා අඩුවන අතර ගැටලුවක් ඇත්තේ වැඩි ප්‍රමාණයක් යොදාගැනීමට සිදුවීම හා සබැඳි වැඩි කැලරි ප්‍රමාණය මත පමණයි. මේවා භාවිතය ඉහත කී දෙවර්ගයටම වඩා සුදුසු වුවත් මේ නිසා ඒවා භාවිතයද සීමාවකට යටත්ව කළ යුතු වෙනවා.

කෘත්‍රිම පැණිරසකාරක:
කෘත්‍රිම පැණිරසකාරක යනු යම් මාධ්‍යයක් භාවිතයෙන් කෘත්‍රිම ලෙස සංශ්ලේෂණය කරන ලද පැණි රසකාරක වෙනවා. මේවා ස්වභාවික ද්‍රව්‍යවලින්ද සංශ්ලේෂණය කළ හැකි අතර, තවත් සමහරක් සම්පූර්ණයෙන්ම කෘත්‍රිම රසායන ද්‍රව්‍ය යොදා විද්‍යාගාරයේ දී නිර්මිත වෙනවා. බොහෝදෙනා බියවන්නේ මේ දෙවන වර්ගය සම්බන්ධයෙනුයි. ‘කෘත්‍රිම’ යන නාමය ඇසුණු සැණින් බොහෝදෙනා පිළිකා ඇතුළු නොයෙක් ලෙඩ රෝග වැළඳේ යැයි බියෙන් ඒවායින් ඈත් වෙනවා.

කෘත්‍රිම පැණිරසකාරක භාවිතයේ වාසි
කෘත්‍රිම පැණිරසකාරක භාවිතා කිරීමේ යම් වාසි තිබෙනවා. විශේෂයෙන් ම මේ අතිබහුතරය සුක්‍රෝස් සීනිවලට වඩා ප්‍රබල පැණිරසකාරක වෙනවා. මින් සමහරක පැණිරසකාරක ගුණය සුක්‍රෝස් සීනිවලට වඩා සිය ගුණයකටත් වඩා ප්‍රබල වෙනවා. වෙනත් වදන්වලින් පැවසුවහොත් යම් ආහාරයක් පැණිරස කිරීම සඳහා සුක්‍රෝස් සීනි ග්‍රෑම් 20ක් භාවිත කරයි නම් කෘත්‍රිම රසකාරකයක් භාවිතයෙන් එය පැණිරස කිරීමේ දී එම සංඝටකය භාවිතා කළ යුතු ප්‍රමාණය මිලිග්‍රෑම් 200ක් හෝ සමහර විටෙක ඊටත් වඩා බොහෝ සෙයින් අඩු වෙනවා. මේ හේතුවෙන් ශරීරයට එක්කාසු වන කැලරි ප්‍රමාණය සීනි යොදාගත්තාට වඩා බොහෝ සෙයින් අඩු වෙනවා. ග්ලයිසීමික අගය සලකන කල්හි එම සංඝටකයේ ඉහළ ග්ලයිසීමික අගයක් තිබුණත් යොදන ප්‍රමාණය නොසැලකිය හැකි තරම් කුඩා නිසා දියවැඩියාව ඇතුළු වැඩි සීනි හේතුවෙන් ඇති වන රෝගාබාධ රාශියක් ඇති වීම ඒ මඟින් වළකිනවා.

කෘත්‍රිම පැණිරසකාරකවල වාසි හා අවාසි යන දෙකම තිබෙනවා:
සුක්‍රෝස් වෙනුවට ඊට වඩා බොහෝ සෙයින් ප්‍රබල කෘත්‍රිම පැණිරසකාරකයක් යොදාගත් විට යම් ආකාරයක සමස්ත කැලරි ප්‍රමාණය අඩුවන නිසා අධික ස්ථුලතාවය පාලනය වෙනවා. මේ හේතුවෙන් ඒ හා සබැඳි ලෙඩ රෝග ගණනාවක් වැළඳීමට ඇති හැකියාව අඩු වෙනවා. මීට අමතරව ශරීරයේ හැඩය පවත්වාගන්නට ආහාර පාලනය කරන අයට සීනි වෙනුවට කෘත්‍රිම පැණිරසකාරක යොදාගෙන සාදන ලද ආහාර ගැනීමෙන් සිය ශරීරයේ හැඩය පවත්වාගෙන යාමට වඩා පහසු වෙනවා.

කෘත්‍රිම පැණිරසකාරකවල අවාසි
සීනි වෙනුවට කෘත්‍රිම පැණිරසකාරක යොදාගැනීමේ අවාසි රාශියක් තිබෙනවා. මේ නිසා යමෙක් සුක්‍රෝස් සීනි වෙනුවට මේවා භාවිතා කරන විට ඉවක් බවක් නොමැතිව භාවිත නොකිරීමට වගබලාගත යුතුයි.

සීනි වෙනුවට කෘත්‍රිම රසකාරක භාවිතා කරන බොහෝ අවස්ථාවල 100% ක්ම සුක්‍රෝස් සීනිවලින් ලැබෙන පැණිරස ‘ප්‍රභේදයම’ ලබාගත නොහැකියි. සමහර පැණිරසකාරකවල එම රසයත් සමග අඩුවැඩි වශයෙන් තවත් රස අඩංගු වී තිබිය හැකියි. මේ නිසා දිවට යම් නුහුරු බවක් ඇතිවීම සිදුවෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ සමහර විටෙක වැඩි ආහාර හෝ පාන ප්‍රමාණයක් ගිලදැමීමට සිතීමයි.

සම්පූර්ණයෙන්ම විද්‍යාගාර තුළ කෘත්‍රිම සංඝටක යොදාගෙන සාදන කෘත්‍රිම පැණිරසකාරක සම්බන්ධ බරපතළම කාරණයක් වන්නේ ඒවා සමහරක් ශරීරයෙන් සම්පූර්ණයෙන් පිටනොවීමයි. මේවායේ අඩංගු සමහර සංඝටක අර්ධ වශයෙන් ජීර්ණය වන අතර ඒවා යම් යම් රසායනික විපර්යාසයන්ට ලක් වී ශරීරය තුළ රුඳෙනවා. මේවායින් පිළිකා ඇතුළු රෝගාබාධ කිහිපයක්ම වැළඳීමේ සම්භාවිතාවක් පවතිනවා.

ඉහත කාරණාවලින් පෙනී යන්නේ සුක්‍රෝස් සීනි මෙන්ම කෘත්‍රිම පැණිරසකාරක ද පමණ ඉක්මවා භාවිත කිරීම සෞඛ්‍ය ගැටලුවලට අතවැනීමක් බවයි. ඒ නිසා පැණිරස සීමා කිරීම නුවණට හුරුයි.

Mayoclinic