2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

දරු ප්‍රසූතියෙන් පසුව එන දුක Baby blues

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 764

දරුවෙක් ලැබීම ඉතාමත් වාසනාවන්ත කාරණාවක්. ඒත් සමහර අම්මලා තුළ  බබා හම්බවුණා කියලා සතුටක් නෑ. දුකෙන් ඉන්නවා. ඒ අයගෙන් ඇහුවොත් කියයි හිතට ගතට හරිම මහන්සියි කියලා. මෙය විශාදය කියන රෝග තත්ත්වයයි. සමහරුන්ට මේ තත්ත්වය සතියක් දෙකක් යනකොට ඉබේම නැතිවෙලා යනවා. ඒත් 10%ක් විතර අම්මලට පසු ප්‍රසව විශාදය කියන තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මේ තත්ත්වය දරු ප්‍රසූතියෙන් පෙර කාලයේ ඉඳලා පළවැනි අවුරුද්ද ඇතුළත ඕනෑම කාලයක ඇතිවෙන්න පුළුවන්.

මෙය අනිවාර්යයෙන්ම මානසික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය උපදෙස් ගන්න ඕන තත්ත්වයක්. ඒ වගේම මේ තත්ත්වය 100%ක් සුවපත් කරන්න පුළුවන්. හැබැයි නිසිලෙස ක්‍රියාත්මක නොවුණොත් මවගේ මෙන්ම දරුවාගේ ජීවිතයත් නැති වෙන්නත් පුළුවන්.

මානසික රෝග සායනයට යන්න කිව්වම ගොඩක් අය ඒ ගැන ලජ්ජයි. පසුබසිනවා. ඒත් මේ තත්ත්වය ගොඩක් අම්මලට ඇතිවෙන සාමාන්‍ය තත්ත්වයක්. ප්‍රතිකාර නොගෙන සිටීමට තමන් ඒ ගැන නොදැනුවත්වීම ගැනයි ලජ්ජා වෙන්න ඕන. නැන්දම්මා පවුලේ අනිත් අය හමුවේ කියන්න බැරිනම් ස්වාමිපුරුෂයා, අම්මා වගේ විශ්වාසවන්ත නෑදෑයෙක් සමඟ සාකච්ඡා කරලා වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. මේ තත්ත්ව්ය හඳුනාගන්න පුළුවන් වෛද්‍යවරයෙකුට පමණයි. ලොකුම ප්‍රශ්නය තමයි ගොඩක් අය මේ තත්ත්වය බරපතළ ලෙස ගණන් ගන්නේ නෑ. ඒත් පසු ප්‍රසව විශාදය සුවකළ හැකි ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්.

දැන් අපි බලමු පසු ප්‍රසව විශාදයේ රෝග ලක්ෂණ මොනවද කියලා.
නිතරම කනස්සල්ලෙන් පසුවීම. නිතර දුකෙන් තරහෙන් පසුවීම. හැමවෙලේම අඬන්න හේතුම හිතේ මතුවෙන ගතිය. තමන් තනිවෙලා යන හැඟීම. හැමෝම බබා ගැනමයි බලන්නේ කියන හැඟීම. දරුවා ගැන තරහක් පිළිකුලක් ඇතිවීම. බලාපොරොත්තු කඩවුණා වගේ දැනීම. තමන් කරනදේ ගැන විශ්වාසයක් නැති බව එනම් බබාට කිරි දුන්නට පෙවුනද දන්නෙ නෑ, බබා නලවන විදිහ වැරදියි, මට බබාව නිදිකරව ගන්න බෑ, මට මගේ දේවල්වත් කරගන්න බෑ, ඒ වගේ දේවල් සිතීම. කෑම අරැචිය වගේම වැඩි වැඩියෙන් ආහාර ගැනීම. නින්ද නොයාම. තීරණ ගන්න බැරිකම. අදහස් ප්‍රකාශ කරන්න බැරිකම. පෙර කැමැති වූ දේවල් වලට අකැමැති වීම. ශරීරය උදාසීන වීම. ඇඳෙන් පුටුවෙන් නැගිටින්න හිතෙන්නෙ නැතිකම.

මේ තත්ත්වය delusions, hallucinations දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් යම් දේවල් සිතීම පෙනීම ඇසීම දැනීම දක්වා. මේ තත්ත්වය ශරීරයේ එකවර සිදුවන හෝර්මෝන වෙනස්‌කම් නිසා, ජානමය හේතු නිසා පෙර සිට පැවැති තත්ත්වයන් නිසා, ඇතිවන අතර අලුත් වගකීම් දරා ගැනීමේ අපහසුතා නිසා, ප්‍රසූතිය අපහසුවීම නිසා පූර්ව හා පසු ප්‍රසව සංකූලතා නිසා, බබාගේ සංකූලතා නිසා, බබාට විශේෂ ළදරු ප්‍රතිකාර අවශ්‍ය වීම නිසා, කිරි දීමේ ප්‍රශ්න නිසා, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නොසැලකිල්ල නිසා මේ තත්ත්වය වැඩිවෙන්න පුළුවන්.

ඔයාලාට මේ වගේ තත්ත්වයක් තියෙනව නම් මම නැවත නැවතත් කියන්නේ අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න. තමන් අදහන ආගම අනුව වන්දනාමාන කරන්න. ඊට අමතරව දරුවා ගෙදර ගෙනාපු දවසේ ඉඳන්ම ජීවිතයට ඉඩ දෙන්න. උදේ ඇහැරැන ගමන් ඇඳෙන් නැගිටින්න. ඇඟපත සෝදාගෙන හොඳ ඇඳුමක් අඳින්න. දිනපතා නාන්න. බබා නිදියන වෙලාවට ටිකක් නිදාගන්න. Shopping කරන්න. බබා වෙනුවෙන් උදව් ලබාගන්න පුළුවන් අයගෙන් උදව් ලබාගන්න. සිංදුවක් අහන්න. Fb එකටත් එන්න. ඔයාගේ අත්දැකීම් හා ප්‍රශ්න සැමියා සමඟ සහ මේ Group එකේ  බෙදාගන්න. ඉඳලා හිටලා ආස කෑමක් හදන්න. ගෙදර වැඩ හෙමින් කරන්න පුළුවන්. ඔයාලාට බබාලා හම්බවෙලා පළවෙනි මාසයේ ගමේ Clinic එකේදී මේ ගැනත් බලනවා. අනිවාර්යයෙන්ම ඒ සායනයට සහභාගි වෙන්න.

parenting

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00