2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

දරුවා මත් ලෝලීත්වයෙන් බේරාගනිමු.

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 259

ලෝකයේ මත්පැන් හෙවත් ඇල්කොහොල් බොන රටවල් අතර ලංකාව ප්‍රමුඛ ස්ථානයක සිටිනවා. 2016 ADIC සමීක්ෂණ වාර්තා අනුව අවු. 15න් ඉහළ ඇල්කොහොල්වලට යොමු වූ සංඛ්‍යාව 32.9%යි. වාර්ෂිකව බොන ප්‍රමාණය අනුව අවු. 15ට ඉහළ යම් පුද්ගලයකු වසරකට මත්පැන් ලීටර් 4.5ක් බොන බව පේනවා. ශ්‍රී ලංකාවේ බොහෝ ගම්මානවල මත්පැන් නිෂ්පාදනය කිරීම ව්‍යාපාරයක් වන අතර නිර්මාණය වී තිබෙන අලුත් සංස්කෘතියට කසිප්පු සංස්කෘතිය යැයි කීවොත් වැරදි නෑ. මෙය වර්ධනය කිරීමට අපහසු වී ඇත්තේ මෙම ව්‍යාපාරයට සම්බන්ධව ප්‍රාදේශීය මට්ටමේදී විශාල දේශපාලන සම්බන්ධතාවයක් තිබෙන නිසාය. ගමේ ජීවත් වන කුඹුරු වැඩ කරන, ගොවිතැන් කරන මිනිසාට ඇඟපතේ ඇතිවන වේදනාව අවම කරගැනීමට, විනෝද වීමට ඇති එකම මාර්ගය මත්පැන් ටිකක් පානය කිරීම බව ඔවුන්ගේ එකම විශ්වාසයයි. ග්‍රාමීය මට්ටමේ ඇති මෙම සංස්කෘතික විශ්වාසය බරපතල ඛේදවාචකයක් බවට පත් වී ඇත. අද උපදින දරුවා ලොකු මහත් වී හෙට ලෝකයට පිවිසෙන විට ඔහු දකින්නේ ඔහු අත් විඳින්නේ මෙම කසිප්පු සංස්කෘතියයි. ඇල්බට් බන්දුරා නම් මනෝ විද්‍යාඥයාගේ “නිරීක්ෂණයෙන් ඉගෙනීම” නම් වූ ප්‍රායෝගික න්‍යාය මගින් දරුවකු මෙම ව්‍යසනයට ගොදුරු වන ආකාරය පැහැදිලි කළ හැකිය. ඇල්බට් බන්දුරාට අනුව දරුවකු කුඩා කල දකින දේ (Observation Learning) අවධානය යොමු කරන දේ (Attention) අත්විඳින දේ (Experience) දරුවාගේ ජීවිතයේ චර්යාවක් බවට පත්විය හැකි බව පෙන්වා දී ඇත. අපි මෙහෙම හිතමු. ඔබගේ නිවස තුළ ප්‍රිය සම්භාෂණයකි. කවුරුත් මත්පැන් බොති, ගී ගයති, නටති. මෙය නිරීක්ෂණය කරන දරුවා ජීවිතයට විනෝදය ගෙන දෙන ඉතා වැදගත් පානයක් ලෙස මත්පැන් හඳුනා ගනී. මත්පැන් හෝ ඇල්කොහොල් නැතුව ජීවිතය විඳීමට හෝ විනෝද වීමට නොහැකි බව ඔහුගේ මනසට ඇතුළු වේ. මෙම දරුවා යම් දිනෙක වැඩිහිටියකු වනවිට මත්පැන් හෝ ඇල්කොහොල් නැතුව විනෝද වීමට නොහැකි වේ.

මත්පැන්වලින් මානසික ආතතිය අවම වේද?
මත්පැන් හෝ ඇල්කොහොල් මගින් සැබැවින්ම මානසික ආතතිය අවම වේ. ගැබා (Gaba) යනු මොළය පුරා පැතීරී ඇති ආතතිය හෙවත් ලිහිල්භාවය පාලනය කරන රසායනික උත්තේජයකි. එමෙන්ම ඩෝපමීන් (Dopamine) යනු අපට සතුට ගෙනදෙන අපව දිරිගන්වන (Motivation) රසායනික ද්‍රව්‍යයකි. ඇල්කොහොල් ගන්නා පුද්ගලයකුගේ මෙම ගැබා සහ ඩෝපමීන්වල වෙනසක් ඇති වී මනස සැහැල්ලු වී ආතතිය අවම වී දිගටම බීමට ආශාවක් ඇති කරයි. නමුත් අවාසනාවකට මෙම සතුට හෝ ලිහිල්භාවය දිගටම පවතින්නේ නැත. දිගටම බොන පුද්ගලයකුගේ මොළය තුළ ඩෝපමීන් අඩු වී සතුට නැති වී යයි. අවසානයේදී ඔබට මානසික අවපීඩනයේ ලක්ෂණ දැනෙන්නට පටන්ගනී. එනම්, ජීවිතය එපා වීම, කලකිරීම, නින්ද නොයාම, ශරීරයට දැනෙන අප්‍රාණික බව, නිතර කිපෙනසුළු බව, සැකය හෝ ජීවිතය නැති කරගැනීමේ සිතුවිලි ඇති වී එය ද කරගැනීමට පුළුවන.

ඔබේ දරුවා මත්පැන් රකුසාගෙන් බේරාගැනීමට දරුවා ජීවත්වන පරිසරය ඉතාම වැදගත්ය. ඔබේ නිවස හෝ ඔබ නිතරම ගැවසෙන පරිසරය මත්පැන්වලට ගිජු ලෙස සැකසී ඇත්නම් ඔබ නොදැනුවත්වම දරුවා මෙයට ගොදුරු විය හැක. මේවායේ ආදීනව ගැන සංවාද සිලී පරිසරයක් ඔබේ නිවස තුළ ඇත්නම් දරුවා මෙම උවදුරින් ගලවා ගැනීමට ඉතා පහසු වේ.

මත්පැන් සමඟ ඇතිවන භ්‍රාන්ති
භ්‍රාන්ති යනු කිසිම බාහිර උත්තේජනයක් නොමැතිව අපට ඇසෙන පෙනෙන දැනෙන නොයෙකුත් විකාර රූපී තත්ත්වයන්ය. මත්පැන් හෙවත් ඇල්කොහොල් දිගටම ගන්නා කෙනකු මෙවැනි භ්‍රාන්ති (Hallucinations) වලට ගොදුරු වියහැකිය. වැඩියෙන්ම දැනෙන්නේ ඇසෙන ඒවාය. ඇසෙන නොයෙකුත් ශබ්ද, කතා කරන ශබ්ද, පුද්ගලයන් පිරිසක් ඔහුට හෝ ඇයට විරැද්ධව කුමන්ත්‍රණය කරමින් කතා කරන ශබ්ද යනාදී වශයෙන් නොයෙකුත් විකෘති ශබ්දයන් ඔහුට හෝ ඇයට දැනේ. සමහරවිට මෙය ඉතා භයානක තත්ත්වයකි. ළඟ සිටින පුද්ගලයන් හෝ අසල්වාසීන් මෙම ශබ්ද ඇති කරන අය ලෙසට සැකය උපදවා ගැනීමට ද පුළුවන. නමුත් මත්පැන් නැවැත්වීමත් සමඟ 95%කටම මෙවැනි ඇසෙන ශබ්ද නැති වී යයි. 5%කට පමණ මාස 6ක් වැනි කාලයක් මෙවැනි ශබ්ද පැවතිය හැකි බව වෛද්‍යවරු පවසති.
නිමල්ගේ වයස අවු. 40යි. විවාහ වී දරුවන් දෙදෙනෙක් සිටින නිමල් ව්‍යාපාරිකයෙක්. පසුගිය අවු. 15 තුළ නිමල් විශාල ලෙස මත්පැන් ගැනීමට පුරුදුව සිටියේය. ඔහුට නිතරම නොයෙකුත් ශබ්ද ඇසුණේය. ඔහුට දැනුණේ මෙම ශබ්ද තම අල්ලපු ගෙදර සිටින සුනිල් විසින් හිතාමතාව ඔහුට විරුද්ධව කරන කුමන්ත්‍රණ ලෙසය. මේ නිසාම නිමල් සුනිල් සමඟ දැඩි වෛරයෙන් සහ ක්‍රෝධයෙන් සිටි නමුත් ඒ ගැන සුනිල්ට කිසිවක් නොදැනුනේය. මේ අතර සුනිල්ගේ නිවස තුළ උපන් දින සාදයක් තිබුණි. නිමල්ට ද මේ සාදයට ඇරයුම් කර තිබුණි. එදිනද නිමල්, සුනිල් ගමේ සිටින අනෙක් යහළුවන් ද සමඟ එකතු වී සාදය තුළ මත්පැන් බීවේය. නිමල්ට වෙනදාටත් වඩා නොයෙකුත් හඬවල් ඇසුණේ සුනිල් තමාට විරුද්ධව කුමන්ත්‍රණය කර තමා මරා දැමීමට සූදානමින් සිටින ලෙසය. ඉතා ක්ෂණිකව කෝපයට පත් නමල් මේසය මත තිබූ හිස් බෝතලයක් රැගෙන ඉතා දරුණු ලෙස සුනිල්ට පහර දුනි. බරපතළ ලෙස තුවාල ලැබූ සුනිල්ව ළඟම තිබූ රෝහලට ඇතුළු කළේය.

මත්පැන් සමඟ ඇතිවන මායාකාරී සිතුවිලි
(Pathological Jealousy of Othello Syndrome)

දිගටම මත්පැන් ගන්නා පුද්ගලයකුට තම සහකාරිය පිළිබඳ දැඩි සැකයක් ඇතිවිය හැකිය. මෙම සැකය ඇති වනුයේ මොළය තුළ ඇතිවන රසායනික වෙනසක් නිසාය. මේ රසායනික වෙනස සමඟ නොයෙකුත් මායාකාරී සිතුවිලි (Persecutory Delusions) ඇති වේ. මායාකාරී සිතුවිල්ලක් යනුවෙන් අදහස් වනුයේ දැඩි ලෙස යම්කිසි පුද්ගලයකු වැරදි ආකල්පයක ඇලී ගැලී සිටීමයි. එම සිතුවිල්ල පහසුවෙන් ඔහුගේ සිතින් ඉවත් කළ නොහැක. මත්පැන් හෙවත් ඇල්කොහොල් දිගටම ගන්නා පුද්ගලයකුට තම සහකාරිය පිළිබඳ සැකය නැමති මෙම මායාකාරී සිතුවිල්ල දරුණු ලෙස මනසට ඇතුළු වේ.

දර්ශනගේ වයස අවු. 45යි. විවාහ වී දරුවන් දෙදෙනෙක් ද සිටී. දර්ශන පසුගිය අවු. 10 තුළ විශාල වශයෙන් ඇල්කොහොල් ගැනීමට පුරැදුව සිටියේය. දර්ශන තම බිරිඳ දැඩි ලෙස සැක කළේය. බිරිඳගේ දුරකතනය නිතරම පරික්ෂා කළේය. බිරිඳ යන එන තැන් පිළිබඳ නොයෙකුත් පුද්ගලයන්ගෙන් අසා නිතරම විපරමින් සිටියේය. බිරිඳ යම් ගමනක් ගොස් ගෙදර පැමිණි විට ඇයගේ යට ඇඳුම් සූක්ෂම ලෙස පරික්ෂා කළේය. සමහර අවස්ථාවලදී ඉතාම කුඩා සැකයක් අරභයා බිරිඳට දරුණු ලෙස පහර දුන්නේය. දර්ශන සමඟ ජීවත් වීම ඇයට හොඳටම එපා වී තිබුණි. මෙම තත්ත්වය විඳදරා ගැනීමට නොහැකි වූ ඇය තම දරුවන් දෙදෙනා ද රැගෙන තම උපන් ගම වන මාතරට ගියේය.

මත්පැන් නිසා ඇතිවන මෙම සැකය ඉතා භයානකය. මෙය මානසික රෝගී තත්ත්වයකි. බොහෝ දෙනා මෙම රෝගී තත්ත්වය නිසි ලෙස හඳුනා නොගෙන කාන්තාවට වරද පටවති. මෙවැනි තත්ත්වයකදී නොපමාව මනෝ වෛද්‍යවරයකු හමු වියයුතුය.

► කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය
නයනානන්ද කුමාරනායක

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00