2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

මත්ලෝලය!

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 383

මිනිසා ඇල්කොහොල්වලට ඇති ගිජුකම අවුරුදු 10,000ක් පමණ වූ අපගේ ශිෂ්ටාචාරය පුරාම පැතිර පවතිනවා. මුලින්ම බාර්ලිවලින් මත්පැන් හදාගෙන බිවූ මිනිසා පසුව පළතුරුවලින් වයින් සාදාගෙන බීවා. බුදුන් වහන්සේ අවුරුදු 2600කට ප්‍රථමව මත්පැනට ගිජු වූ ස්වර්ණමිත්ත සහ කෝසල යන රජවරුන්ට ඇබ්බැහි වීම නිසා ඇතිවන හානි පැහැදිලිව දේශනා කර තිබෙනවා. පන්සිල් පද පහේ පස්වන ශික්ෂා පදයෙනුත් කියනුයේ මත්පැන්වල ආදීනවයි. ශ්‍රී ලංකාව තුළ මත්පැන් බීමේ ඉතිහාසයක් නෑ. බොහෝ මිනිසුන් ජීවත් වුණේ බෞද්ධ මූලධර්ම මතයි. මුලින්ම මත්පැන් කියන විෂ සහ ආශාව අපේ මනසට ඇතුළු කළේ 1505 දී පෘතුගීසි විසිනි. අපගේ ශිෂ්ට සම්පන්න මනස විකෘති කර බොන මානසිකත්වයක් මුලින්ම නිර්මාණය කළේ මේ පෘතුගීසින්ය. පසුව ලන්දේසීන් විසින් මෙම මත්පැන් ප්‍රචාරණය දිගටම ගෙන ගියා. ඉන් පසු බ්‍රිතාන්‍ය ආක්‍රමණයත් සමඟ “රා පනත” (Toddy act of 1912) ගෙනවිත් රටේ අස්සක් මුල්ලක් නෑර රා තැබෑරුම් ඇති කළා. ශ්‍රී ලංකාවේ සමීක්ෂණ වාර්තා අනුව එක් පුද්ගලයෙක් මත්පැන් බොන ප්‍රමාණය 7.4L (ලීටර්). පාසල් යන දරුවන් සිටින පියවරුන්ගෙන් 50%ක්ද, වතුවල වැඩ කරන පිරිමින්ගෙන් 65%ක්ද, ගැහැනු 25%ක්ද මත්පැන් ගන්නා බව සමීක්ෂණවලින් වාර්තා වෙනවා. අද වනවිට ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මූලික ආදායමින් කොටසක් වනුයේ කසිප්පු හෝ මත්පැන් ජාවාරමයි.

මත්පැන් සමඟ ඇතිවන මානසික හා ශාරීරික හානි

1. සියදිවි නසා ගැනීමට ප්‍රධාන හේතුවකි - දිගටම මත්පැන් ගැනීමෙන් මොළය තුළ ඩෝෆමීන් නම් සතුට ගෙන දෙන රසායනිකය අඩු වී ජීවිතය කලකිරී ජීවිතය නැතිකර ගැනීමේ ආශාව ඇතිවේ.

2. සිරෝසිස් (Cirrhosis) වලට ගොදුරුවීම - සිරෝසිස් නම් රෝගයේ දී අක්මාව නරක් වේ. අක්මාව තුළ වැඩිපුර මේදය තැන්පත් වී එය දිරාපත් වේ. අරක්කු බෝතල් ¼කට වැඩි ප්‍රමාණයක් දිනපතා ගැනීමෙන් මේ තත්ත්වයට ඔබ ගොදුරු වේ. සිරෝසිස් ලංකාවේ මරණවලට හයවන හේතුවයි.

3. ප්‍රධාන පිළිකා රාශියකටම හේතු වේ - අක්මා පිළිකා, බඩවැල්වල පිළිකා, අන්‍යශෝත්‍රයේ ඇතිවන පිළිකා, මුඛයේ සහ උගුරේ ඇතිවන පිළිකා සහ මුත්‍රාශ පිළිකාවලට මත්පැන් ප්‍රධාන හේතුවකි.

4. ප්‍රචණ්ඩත්වය - ලංකාවේ පවුල් තුළ පැතිරී තිබෙන ගෘහ ප්‍රචණ්ඩත්වය 6%ක් පමණ බොහෝ සිද්ධීන් මත්පැන් සමඟ ඇතිවී තිබෙන බව පෙනී යනවා. නමුත් මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට හේතුව මත්පැන්ද, එහෙමත් නැත්නම් මත්පැන් ගැනීමෙන් තම ප්‍රචණ්ඩ ක්‍රියා සාධාරණීකරණය කිරීමක්ද යන්න නිසි ලෙසම පැහැදිලි නෑ. පියාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම, අධ්‍යාපනය කඩාකප්පල් වීම, ජීවිතය අවුල් වීම අවසාන ප්‍රතිඵල වෙයි. මානසික රෝග වැඩිවීම සහ ප්‍රචණ්ඩත්වය විශාල ලෙස වර්ධනය වීමට ඉහත කරුණු ප්‍රධාන සාධක වේ.

මත්පැනින් එළියට ගැනීමට කෙනෙකු දිරිගැන්වීම

දිරිගැන්වීම (Motivation) නම් යම් පුද්ගලයකු අහිතකර හැසිරීම් රටාවකින් ක්‍රමානුකූලව එළියට ගැනීම හෝ හිතකර හැසිරීම් රටාවන් සොයාගෙන තවදුරටත් ඔහුව ඒ තුළට ගෙන යාමයි. යම්කිසි පුද්ගලයකු මත්පැනට ගිජු හෝ ඇබ්බැහි වී සිටී නම් පළමුවෙන්ම කළ යුත්තේ ඔහුට මෙම ගිජුකම අතහැරීමට තියෙන බාධාවන් සොයා ගැනීමයි. යමෙකුට මත්පැන් නැවැත්වීමට ඇති ප්‍රධාන බාධාවන් නම් ඒ තුළට ඇබ්බැහි වීම (Dependence) නිසා තමන්ට අවශ්‍ය වුණත් නතර කිරීමට අපහසු වනුයේ ශරීරයට දැනෙන නොයෙකුත් බාධාවන් නිසාය.

දිගටම මත්පැන් ගන්නා පුද්ගලයකු එය නැවැත්වීමට උත්සාහ ගැනීමේදී පහත සඳහන් ශාරීරික අපහසුතා දැකිය හැකිය.

මත්පැන් නතර කර පැය 4ක් හෝ 10ක් යන විට වෙව්ළීම, තදින් දහඩිය දැමීම, නින්ද නොයාම, වේගයෙන් පපුවේ ගැස්ම, විකාරරෑපී ශබ්ද ඇසීම, විකාරරූපී දේවල් පෙනීම යනාදියයි. සාමාන්‍යයෙන් දවස් දෙකත් පහත් අතර කාලය තුළ ක්‍රමානුකූලව මේ තත්ත්වය නැති වී යයි. කලාතුරකින් මෙසේ ඇබ්බැහි වූ අයගෙන් 10%කට පමණ නතර කිරීමට උත්සාහ ගැනීමේදී වලිප්පුව (Epilepsy) වැනි තත්තවයකට ද ගොදුරු විය හැක.

මත්පැනට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයකු නතර කිරීමට උත්සාහ කිරීමේදී ‘සිහි විකල් වූ’ (Delirium) වැනි තත්ත්වයක් 5%ක් පමණ වූ දෙනාට පළමු දවස් හත තුළ ඇතිවිය හැකිය. මෙහි ලක්ෂණ අපි බලමු.

♦ සිහි මඳවීම (Clouding of consciousness)

♦ කාලය, තමා සහ තමන් සිටින තැන අමතක වීම (Disorientation)

♦ මෑත මතකය නැතිවීම (Amnesia)

♦ අසාමාන්‍ය ලෙස කලබල වීම (Agitation)

♦ නොයෙකුත් භ්‍රාන්ති ඇසීම හෝ දැකීම (Visual, auditory Hallucinations)

♦ ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම

♦ බය සහ සැකය වැඩිවීම (Paranoid delusions)

♦ සමහර විට හෘදය අකර්මණ්‍ය වී මරණයට ද පත්විය හැක (Cardio vascular collapse)

දරුණු ලෙස ඇබ්බැහි වූ මත්පැන් ලෝලීන්ගෙන් 5%ක් හෝ 10%ක් පමණ දෙනා මරණයට පත්විය හැකිය. මෙවැනි තත්ත්වයකට ගොදුරු වූවකු රෝහලක නතර කර විෂානුහරණය නම් විශේෂ ප්‍රතිකාර ක්‍රමයට භාජනය කළ යුතුය. විෂානුහරණය සාර්ථකව කිරීමට දවස් 7ක් පමණ කාලයක් රෝහලේ නතර කර ප්‍රතිකාර කළ යුතුය.

විෂානුහරණයකින් පසු මෙවැනි පුද්ගලයකු විද්‍යාත්මක උපදේශනයට යොමු කළ යුතුය. මෙම උපදේශනයේ දී ඔහුට නැවැත්වීමට ඇති ආශාව නිසි ලෙස තක්සේරු කරගත යුතුය. මෙය අවස්ථා 6කින් යුක්තය.

1. තවමත් නැවැත්වීමට තීරණය කර නොමැති අය (Pre contemplation)

සුනිල්ගේ වයස අවුරුදු 40 යි. විවාහ වී ඔහුට දරැවන් දෙදෙනෙකි, ඔහු ව්‍යාපාරිකයෙකි. ඔහු ප්‍රකාශ කරනුයේ මත්පැන් ගැනීම ඔහුගේ ව්‍යාපාරයට පිටුවහලක් බවය.

නිමල්ගේ වයස අවුරුදු 30 යි. ඔහු විවාහ වී වයස අවුරුදු 4ක දරුවෙක් ද සිටී. පසුගිය අවුරුදු 5 තුළ නිමල් දිගටම මත්පැන් ගනී. ඔහු තවමත් නැවැත්වීමට තීරණය කර නොමැත. නිමල් ඊට දෙන හේතුව නම් මත්පැන් ගැනීමෙන් ලිංගික කාර්යය හොඳින් සිදුකරගත හැකි බවයි.

උපුල්ගේ වයස අවුරුදු 40 යි. ඔහු විවාහ වී අවුරුදු 10ක දරුවෙක් ද සිටී. ඔහු ද මත්පැන් ගැනීම නතර කිරීමට අදහස් කර නොමැත. දැනටමත් ඔහුට ලිංගික අප්‍රාණිකත්වය ඇත. මත්පැන් නතර නොකිරීමට ඔහුගේ තර්කය නම් ඇල්කොහොල් යම් ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය බවත්, බත්වල පවා ඇල්කොහොල් ස්වල්පයක් තිබෙන බවත්ය.

මත්පැන් වටා නොයෙකුත් මිත්‍යාවන් පිරී පවතී. මෙම මිත්‍යාවන් මනසෙන් ඈත්කොට ක්‍රමානුකූලව පියවි සිහියට යම් පුද්ගලයකුගේ මනස ගෙන ඒම උපදේශනයේ කාර්යභාරයයි. මෙහිදී උපදේශනයට යොමුවන යම් පුද්ගලයකුගේ මනස වෙනස් කිරීමට පහත සඳහන් ක්‍රියාකාරකම්වලට යොමු වේ.

මිත්‍යාවන් දුරු කිරීමට අවශ්‍ය උපදෙස්

මත්පැන් නිසා ලිංගික ශක්තිය වැඩි නොවේ. දිගටම මත්පැන් ගන්නා කෙනෙකුගේ අක්මාව දුර්වල වේ. එවිට ඊස්ට්‍රජන් නැමති හෝමෝනය නිසි ලෙස ශරීරයෙන් බහිස්‍රාවය නොවේ. අක්මාව දුර්වල වීම මීට හේතුවයි. ඊස්ට්‍රජන් වූ කලී ස්ත්‍රී හෝමෝනයකි. මෙම ස්ත්‍රී හෝමෝනය පුරුෂයකු තුළ වැඩිවීම නිසා ස්ත්‍රී ලක්ෂණ පහළ වේ. පියයරු ලොකුවීම, කටහඬ මෘදුවීම, ශරීරයේ රෝම කූප අඩුවීම, වෘෂණ කෝෂ දිරාපත් වීම සමඟ ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ.

යම්කිසි පුද්ගලයකුට සමාජශීලී වීමට මත්පැන් (Alcohol) අවැසි නොවේ. ඔබට ලජ්ජාශීලී බවක් හෝ සමාජයට යාමට බියක් ඇත්නම් මනෝ වෛද්‍යවරයකු හමුවී ඒ ගැන සාකච්ඡා කළ යුතුය. මන්ද ඔබ නොදැනුවත්වම ඉහත පුරැද්ද නිසා මත්පැන්වලට ඇබ්බැහි විය හැකිය.

මත්පැන් ශරීරයට අවශ්‍ය රසායනික ද්‍රව්‍යයක් නොවේ. බත්වල ඇල්කොහොල් ඇති බවත්, ඇල්කොහොල් ස්වල්පයක් ශරීරයට අවශ්‍ය බවත් තනිකරම මිත්‍යාවකි. මත්පැන් ගන්නා පුද්ගලයකුට මුල් කාලයේ දී යම් සැහැල්ලු බවක් සේම යම් සතුටක් ලැබේ. මීට හේතුව නම් මොළයේ ඇතිවන ගැබා (Gaba) සහ ඩෝපමින් (Dopamine) නම් රසායන ද්‍රව්‍යවල ඇතිවන වෙනස් වීමයි. නමුත් අවාසනාවකට කාලයත් සමඟ මේ සතුට සහ සැහැල්ලු බව ඔබගෙන් ගිලිහී යයි. එසේ වන්නේ මුලදී මොළයේ වැඩිවන ඩෝපමින් පසුව අඩු වීමයි. එනම් ඇල්කොහොල් සමඟ ඔබගේ මොළය හෝ මනස මානසික අවපීඩනයට ගොදුරු වීමයි. මානසික අවපීඩනය නම් බරපතළ රෝගී තත්ත්වයකි. නින්ද නොයාම, ශරීරයට දැනෙන පණ නැතිකම, නිතර කිපෙන සුළු බව, අමතක වීම, කල්පනා ශක්තිය වෙනස්වීම, ජීවිතය වැඩක් නැතැයි යන සිතුවිලි නිතරම මනසට ඒම මානසික අවපීඩනයේ ලක්ෂණයි. මානසික අවපීඩනය සියදිවි නසා ගැනීමට ප්‍රධානම හේතුවයි. ලංකාවේ වර්ෂයකට පන් දහසක් පමණ දෙනා සියදිවි නසාගන්නා අතර මින් 1/3ක්ම නිතරම මත්පැන් ගන්නා අය වෙති.

► කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය

නයනානන්ද කුමාරනායක