2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

හදවත් ලෙඩ ඉල්ලන් කෑම නවත්තමුද?

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 1801

සෑම වැඩිහිටියන් පස්දෙනෙක්ගෙන් සිව්දෙනෙක්ම ඔවුන්ගේ අපරික්ෂාකාරී ජීවන චර්යාව හේතුවෙන් අකාලයේ මරණයට පත්වන බව වාර්තාගතය. එබඳු වයස අවුරුදු 75 ට අඩු පුද්ගලයන්ට වැළඳෙන හෘදයාබාධ හෝ ආඝාතය වැනි අවස්ථාවලින් 80% ක්ම හදවත් සෞඛ්‍ය නංවා ගැනීම මගින් වළක්වාලිය හැකි බවත් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) මෑතකදී ඇස්තමේන්තු කර තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ අවසන් වාර්තාවලට අනුව, 2016 වසරේ හෘදයාබාධ හේතුවෙන් රෝගීන් 114,609 ක් දිවයින පුරා රජයේ රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, ඉන් 6,041 ක් මියගොස් ඇත. ඇත්තෙන්ම මේ මරණ බොහෝමයක් ජීවන රටාව  වෙනස් කරගැනීම තුළින් වැළැක්වීමට හැකිව තිබූ ඒවාය.

ශ්‍රී ලංකාවේ හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතු;

දියවැඩියාව, කොලෙස්ටරෝල්, දුම්පානය, අධික රුධිර පීඩනය

ඊට අමතරව, තමන්ගේ දෙමාපියන්ට හෘද රෝග පැවතියේ නම් කෙනෙකුට හෘද රෝග වැළඳිමේ අවකාශ වැඩිය. තරබාරු ගතිය, ආතතිය වැඩිවීම වැනි කරුණු ද හෘද රෝග කෙරෙහි බලපායි.

පුර්ව හෘදයාබාධ ලක්ෂණ

පපුවේ වේදනාව - දැඩි තෙරපුමක ස්වභාවයක්, පපුව මැද හිරවනු දැනීම.

ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම - පපුවේ සිට අත (සාමාන්‍යයෙන් වම අතෙහි මෙම ස්වභාවය හටගත්ත ද, දෑතටම බල පෑ හැකිය.), හකු ප්‍රදේශය, බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.

ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම

දහදිය දැමීම

හුස්ම ගැනීමේ අපහසුතාව

වමනය දැමීමේ අවශ්‍යතාව - අසනීප ගතියක් දැනීම

අධික නොසන්සුන්බව (තැතිගත් ස්වභාවයක්).

කැස්සක් හෝ ඇදුම ස්වභාවය.

ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ම කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන්ට පපුවේ වේදනාවක් කිසිසේත් නොදැනේ.

මෑත කාලීන සමීක්ෂණ පෙන්වා දෙන පරිදි හෘදයාබාධයකින් මිය යාමට මාසයකට පෙරදීම, ක්ලාන්තය, හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ සමහර රෝගීන් වෙතින් කලින් දිස්වේ. එවා කලින් හඳුනා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමේ අවස්ථාව පවතියි.   

හෘදයාබාධ වළක්වා ගැනීමට නම්;

මේද සහිත ආහාර අඩු කිරීම, අධික සීනි සහිත ආහාර ගැනීමෙන් වැළකීම, ව්‍යායාම කෘත්‍රීමව කිරීම, දෙමාපියන්ට හෘද රෝග තිබුණේ නම් තමන්ගේ සෞඛ්‍යය පිළිබඳ නිරන්තර පරීක්ෂාවෙන් පසුවීම, දුම්පානයෙන් වැළකීම, පෝෂ්‍යදායී ආහාර ගැනීම

යන කරැණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

හදවතේ නිරෝගී බව වර්ධනය කළ හැක්කේ කෙසේද?

ජීවන රටාව වෙනස්කර ගැනීම මගින් හදවත් සෞඛ්‍යය වර්ධනය කරගත හැකි බව බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ විශේෂඥයෝ පෙන්වා දෙති. සතියකට අවම වශයෙන් පැය දෙකහමාරක කාලයක් බයිසිකල් පැදීම, වේගයෙන් ඇවිදීම වැනි ව්‍යායාම කිරීම මගින් හදවත් රෝග සහ ආඝාත ඇතිවීමේ අවදානම අඩුකර ගතහැකි බවත්, ආහාරයට ගන්නා පළතුරු සහ එළවළු ප්‍රමාණය තුනේ සිට පහක් දක්වා වර්ධනය කරගැනීම මගින් හෘදයාබාධ හෝ ආඝාතය වැළඳීමේ අවදානම අඩුකර ගත හැකි බවත් මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවය නිරීක්ෂණය කර ඇත.

කළ යුත්තේ කුමක්ද?

දුම්පානය අත්හරින්න, ක්‍රියාශීලී වෙන්න, ඔබේ බර පාලනය කරගන්න, කෙඳි සහිත ආහාර වැඩියෙන් අනුභව කරන්න, මේද පිරුණු ආහාර අඩුකරන්න, ලුණු භාවිතය අඩු කරන්න, මාලු වැඩියෙන් ආහාරයට එක්කර ගන්න, මද්‍යසාර අඩුවෙන් පානය කරන්න.

හොඳම හදිසි ප්‍රතිකාරය ඇස්ප්‍රින්

කෙනෙක්ට හදිසි හෘදයාබාධ තත්ත්වයක් ඇතිවන්නේ යැයි සැක හිතෙන්නේ නම් වහාම 'ඇස්ප්‍රින්' පෙත්තක් සපා කෑමෙන් අත්විය හැකි භයානක ප්‍රතිඵල වළක්වා ගත හැකි බව වෛද්‍ය උපදේශයයි.

- සුගත්