2017 මාර්තු 04 වන සෙනසුරාදා

වයසක උදවිය සිරකරුවන් කරන ඩිමෙන්ෂියාව

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1247

වයසට ගිය අම්මා, තාත්තා කුඩා දරුවන් සේ දැනුමක් තේරුමක් නැතිව හැසිරෙන්නට ගත් නිසා ඔවුන් බලු කූඩුවලට පවා කොටු කළ දූ පුතුන් ගැන කතා පසුගිය කාලේ බහුලව වාර්තා විය. නූතන අජාසත් පරපුර ලෙස මේ කියන දූ පුතුන් ගැන හඳුන්වා දීමට ඇතැම්හු උත්සාහ දැරූ අතර තවත් අය මවුපියන්ගේ මුරණ්ඩු ඇට්ටරකම ගැන දොස් කීහ. නමුත්, ඇත්ත කතාව නම් මේ ඛේදවාචකයට හේතුව මේ දෙපක්ෂයේම නොදැනුවත්කම බවයි. වයසට යනවිට බොහෝදෙනා තුළ දක්නට ලැබෙන ස්වභාවික රෝග ලක්ෂණ කිහිපයක් ගැන වරදවා වටහා ගැනීම මේ අවනඩුවට හේතුව වී තිබේ. එක අතකින් නූතන අජාසත්තයන් යැයි හැඳින්වූ මේ දූ පුතුන් ඔය කියන රෝගය ගැන අසා නැත. නැතිනම් එවැන්නක් ඇති බව අමතක කර දමලාය.

මොකක්ද මේ ඩිමෙන්ෂියාව?

ඩිමෙන්ෂියාව කියන්නේ රෝග ලක්ෂණ එකතුවක්. ඒ සඳහා විවිධ හේතු බලපාන්නට හැකියි. ඒ හේතු හැමෙකක්ම බලපාන්නේ මොළයේ සෛලවලටයි. මොළයේ කිසියම් කොටසක සෛල විනාශ වී යාම නිසා ඒ කොටස්වලින් පාලනය වන ක‍්‍රියාකාරකම් නිසි පරිදි ඉටුකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් හට ගැනෙන අවුල් සහගත තත්ත්වයන් පොදුවේ හැඳින්වෙන්නේ ඩිමෙන්ෂියාව ලෙසටයි. මෙයින් බහුලව දක්නට ලැබෙන්නේ අමතක වීමේ රෝගී තත්ත්වය නිසාම මෙයට කවුරුත් කියන්නේ අමතක වීමේ රෝගය කියලයි.

එතකොට මොකක්ද අල්ෂෙයිමර් රෝගය කියන්නේ?

අල්ෂෙයිමර් කියන්නේත් ඩිමෙන්ෂියා තත්ත්වයක්. වැඩියෙන්ම දක්නට ලැබෙන ඩිමෙන්ෂියා තත්ත්වය එයයි. එහිදී සිදුවන්නේ කෙටිකාලීන මතකය ගිලිහී යාමත්, එදිනෙදා සුළු සුළු හුරුපුරුදු වැඩකටයුතු නිසි පරිදි තනිව තමන්ටම පාලනය කර ගැනීමට නොහැකිව යාමත්ය. සාමාන්‍යයෙන් ඩිමෙන්ෂියාව අතරින් 80෴ක්ම පමණ ප‍්‍රතිඵලය වන්නේ අල්ෂෙයිමර් හැටියටයි.

අල්ෂෙයිමර් හැරෙන්නට තවත් රෝග ලක්ෂණ තියෙනවාද?

සාමාන්‍යයෙන් අල්ෂෙයිමර් තත්ත්වය හැරුණු විට තවත් හේතු අටක් පමණ ඩිමෙන්ෂියාව තනන්නට මුල්වෙනවා.
ඒ අතරින් ප‍්‍රධානයි වැස්කියුලර් ඩිමෙන්ෂියාව. මෙහිදී වන්නේ රෝගියා නොදැනීම මොළයේ රුධිර නාලයක් පුපුරා යාම හේතුවෙන් කිසියම් කොටසකට ලැබෙන රුධිරය නොලැබීයාමෙන් එයින් සිදුවන වැඩකටයුතු පාලනයකින් තොර වීමයි. ඒ හැරෙන්නට, මොළයේ බාහිකයේ කොටස්වල ක්ෂුද්‍ර අපද්‍රව්‍යයක් වන ලෙවී දේහ (Lewy Bodies) තැන්පත්වීම නිසා ඇතිවන අවහිරතාව මගින් හැදෙන ඩිමෙන්ෂියාවත් ප‍්‍රධානයි.

අනෙක් බහුලම තත්ත්වය පාකින්සන් රෝගය හේතුවෙන් ඇතිවන ඩිමෙන්ෂියාව. ඊළඟට මොළයේ ඉදිරි කොටසේ සෛල හානිවීමෙන් හටගන්නා ඩිමෙන්ෂියාව හෙවත් FTD හඳුන්වන්න හැකියි. ජානමය අර්බුදයක් නිසා හටගන්නා හන්ටින්ග්මන් රෝගය හේතුවෙන් ඇතිවන ඩිමෙන්ෂියා තත්ත්වයකුත් තියනවා. මොළයේ වතුර නිසා ඇතිවන බාධාවන් හේතුවෙන්ද ඇතිවන ඩිමෙන්ෂියා තත්ත්වයක්ද මේ සියලු තත්ත්ව අතරින් දෙකක් එකතුවීමෙන් ඇතිවන මිශ‍්‍ර ඩිමෙන්ෂියා තත්ත්වයක්ද දක්නට ලැබෙනවා. අනෙක් දුර්ලභම ඩිමෙන්ෂියා තත්ත්වය හඳුන්වන්නේ Crutzfeldt – Jakob Disrase නමැති තත්ත්වය හේතුවෙන් හටගන්නක් ලෙසටයි. එහිදී මොළයේ ඇති ප්‍රෝටීන අනු අසාමාන්‍ය හැඩයකට නැංවීමට ලක්කරන Prion නමැති ප්‍රෝටීනයකින් සිදුකරන හානිය නිසා හිටි අඩියේම දරුණු අන්දමට ඩිමෙන්ෂියාව හටගන්නවා. මේ නිසා ඔබේ සමීපතමයකුට ඩිමෙන්ෂියාව වැළඳිලාද? එය කිනම් රෝග ලක්ෂණ සහිත ඩිමෙන්ෂියාවද? එයට කළයුතු ප‍්‍රතිකාර වත් පිළිවෙත් මොනවාද? යන කාරණා සඳහා තීන්දු ගත යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවීමෙන් පසුව පමණයි.

අපේ ළඟම කෙනෙකුට ඩිමෙන්ෂියාව වැළඳී ඇත්දැයි දැනගන්නේ කොහොමද?

ඩිමෙන්ෂියා රෝගියකු තුළ බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ මේවායි.

• තමා නිතර ආශ‍්‍රය කරන අයගේ නම් ගම් තොරතුරු අමතක වීම. • එදිනෙදා ජීවිතයේ සිදුවූ දේ අමතක වීම. • නමුත් මේ ලෙස අමතක වන්නේ කෙටිකාලීන මතකයන් පමණයි. දිගුකාලීන මතකයන්ට හානි සිදුවන්නේ නෑ. • තීරණ සහ තීන්දු ගැනීමේත් බුද්ධිමය කුසලතාවන්ගේත් පිරිහීමක් ඇතිවීම. • ඩිමෙන්ෂියාවේ ගොදුරු බවට පත්වූ අය බොහෝවිට ඉන්නේ සැකයත් සමඟ. මේ සැකය එන්නේ තමන්ට අමතක වීමත් සහ එය පිළිගැනීමට අකමැතිවීමත් සමඟ ඇත්වැල් බැඳගෙනයි. මේ නිසා තමයි ලොකු රණ්ඩු සරුවල් ඇතිවන්නේ? නිදසුන්: මගේ රත්තරන් බඩු අරගෙන, සල්ලි තිබ්බා දැන් ඒවා අරන්. ඔප්පුව තිබ්බ තැන ඒක නෑ. • ඔය කියන හේතුව නිසාම පවුලේ සාමාජිකයන් සමීපතමයන් අතර ගැටුම් මතුවෙනවා. මේවා අර්ථකතනය කරගන්නේ දෙපක්ෂයම වැරැදි විදිහට. මේ නිසා ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයේදී ඉක්මනටම අධික ලෙස තරහා යනවා. ඔවුන් හා කටයුතු කිරීමට පොඩිපහේ ඉවසීමක් නෙමෙයි  ඕනෑ වෙන්නේ. • මේ අයට හැඟීම් පාලනයට අපහසුයි. • නිතර එහේ මෙහේ යනවා. ඒ වගේම ගමනක් ගියොත් ආපහු එන්න පාර මතක නෑ. • යම් යම් දේවල් විවිධ තැන්වල අමතක වීම නිසා දමා එනවා. පස්සේ අමතක වෙලා ගෙදර පෙරළ පෙරළා හොයනවා. • තමන්ගේ අමතක වීම නිසා යම් තොරතුරක් ගැන ඇහුවාම තරහා ගන්නවා. නැතිනම් ප‍්‍රශ්නෙන් ලිස්සා යනවා. නිදසුන් හැටියට දුවගේ පුතාගේ නම ඇහුවොත් ‘තමුසේට මොකටද ඒක!’ වගේ ප‍්‍රශ්න නගන්න ගන්නවා. • මේ තත්ත්වය නිසාම ඔවුන් මානසිකව අවපීඩනයටත් ගොදුරු වෙනවා. නින්ද අඩුවීම, ජීවිතේ එපාවීම වැනි ප‍්‍රකාශ සිදුකිරීම, දිවිනසා ගන්නට තැත් කිරීම, ඇඟට පණ නැති ගතිය, රාත‍්‍රියේ නිදිවර්ජිතව සිටීම වගේ දේවලුත් දකින්නට පුළුවනි. • දරුණු තත්ත්වයට ආ විට ජීවිත කාලය තුළම ඉගෙනගත් දේවල් අමතක වෙනවා. පුංචි ළමයෙකුගේ තත්ත්වයට ඇද වැටෙනවා. ඇඳේම මළ මුත‍්‍රා පහකරන තත්ත්වයට වැටෙනවා. අන්තිමේ ඇඳටම කොටුවෙලා දුක්ඛිත ජීවිතයක් ගත කරන්නට වෙනවා.

ඩිමෙන්ෂියාවට ගොදුරු නොවී ඉන්නේ කොහොමද?

නිවැරැදි සක‍්‍රීය ජීවන රටාවකට මුල්කාලයේ සිටම හුරුවීම තමා හොඳම බෙහෙත. ඒ කියන්නේ සමබල ආහාර ගැනීම. මොළයේ සෛලවලට හිතකර ආහාර ලබාගැනීම. දුම්පානය, මත්පැන් පානය අත්හැරීම. ශරීරයේ කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ භයානක රෝග තත්ත්ව පාලනය කරගැනීම. හොඳින් ව්‍යායාම ගැනීම. මොළයට හොඳ ව්‍යායාම ලබාදෙන ප‍්‍රහේළිකා විසඳීම. චෙස් - දාම් වගේ ක‍්‍රීඩා හුරුකර ගැනීම. වඩාත් හොඳම බෙහෙතක් හැටියට හඳුන්වා දී ඇත්තේ තමන් කෙතරම් වයසට ගියත් අලුතෙන්ම අමුතු විෂයයක් ඉගෙන ගැනීම කියන කාරණයයි. තවත් භාෂාවක් ඉගෙන ගැනීමට උත්සාහ කිරීම මෙහිදී ඉතාමත් වැදගත්.

♦ සුගත්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00