2017 මාර්තු 04 වන සෙනසුරාදා

හෘදයාබාධයක් කලින් හඳුනා ගන්නේ කෙසේද?

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 293

හෘදයාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකු මියයන්නේ පූර්ව රෝග ලක්ෂණ නිසි ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වීමෙන් බව බ්‍රිතාන්‍ය සමීක්ෂණයකින් හෙළි වී තිබේ. බ්‍රිතාන්‍යයේ 2006 සහ 2010 කාල පරාසය ඇතුළත හාදයාබාධ හේතුවෙන් මියගිය රෝගීන්ගේ දත්ත එම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇත.

ඒ අනුව, හෘදයාබාධවලින් මියගිය එක් ලක්ෂ තිස් පන්දහස් නවසිය පනහක් අතරින් ඉන් 21,677ක් පපුවේ වේදනාවක් හෝ අනෙකුත් රෝග ලක්ෂණයක් වාර්තා කොට නොමැති බව හෙළි වී තිබේ. සමීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ මෙවැනි මරණ අවම කර ගැනීමට අවැසි පියවර පෙළ ගැස්වීමට වැඩිදුර පරීක්ෂණවල යෙදීම අත්‍යවශ්‍ය බවය.

පූර්ව හෘදයාබාධ ලක්ෂණ

• පපුවේ වේදනාව - දැඩි තෙරපුමක ස්වභාවයක්, පපුව මැද හිරවනු දැනීම.

• ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇතිවීම. පපුවේ සිට අත (සාමාන්‍යයෙන් වම් අතෙහි මෙම ස්වභාවය හටගත්තද, දෑතටම බලපෑ හැකිය) හකු ප්‍රදේශය, බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.

• ක්ලාන්ත ස්වභාවයක් ඇතිවීම.

• දහදිය දැමීම.

• හුස්ම ගැනීමේ අපහසුතාව.

• වමනය දැමීමේ අවශ්‍යතාව - අසනීප ගතියක් දැනීම.

• අධික නොසන්සුන් බව (තැතිගත් ස්වභාවයක්)

• කැස්සක් හෝ ඇදුම ස්වභාවය.