2019 ජුලි 27 වන සෙනසුරාදා

අසාමාන්‍ය ආශාව II (Paraphilic Disorders)

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 1918

අසාමාන්‍ය ලිංගික ආශාව පිළිබඳව සහ එවැනි අසනීප තත්ත්ව තුනක් පිළිබඳව ඉහත ලිපියෙන් අපි සලකා බලන ලදී. බොහෝවිට මෙම ලිංගික ආශාවන් සමඟ වෙනත් මානසික රෝගී තත්ත්වයන් ද සමගාමීව ගොදුරු විය හැකි බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත. මින් රෝගීන් 70%ක් පමණ මානසික අවපීඩන තත්ත්වයන් ද, 40%කට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමද, 38%කට දැඩි ආතතීන්ට ගොදුරු වීම්ද, 35%ක් පමණ දෙනා කුඩා කාලයේ අධි ක්‍රියාකාරීත්වයට හා ඌන අවධානයට ලක් වී තිබූ බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

හොරෙන් බැලීමට ඇති ආශාව
(Voyeuristic Disorders)

සාමාන්‍යයෙන් ඕනෑම  පුද්ගලයකුට තම විරුද්ධ ලිංගිකයකුගේ ලිංගික අවයව, ඇඳුම් නැතිව සිටීම, ඇඳුම් ගලවනු දැකීම, ඇඳුම් නැතුව ස්නානය කිරීම දැකීමට සැඟවුණු ආශාවක් ඇත. නමුත් වෙවැනි රෝගියකු බොහෝවිට මෙම ක්‍රියාව සිදුකරන්නේ නාඳුනන, කිසිම කැමැත්තක් විමසීමකින් තොරව හොරෙන්ය. මෙය පිරිමින් අතර දක්නට ලැබෙන මානසික ව්‍යාධියකි. ඔවුන් මෙසේ බැලීමෙන් ලිංගික තෘප්තිමත් වගේම ප්‍රාණවත් වීමක්ද සිදු වේ. බොහෝ විට මෙසේ බලන අතරම ස්වයං වින්දනයේ යෙදෙති. එසේත් නොමැති නම් වෙනත් අවස්ථාවකදී තමා දුටු තරුණිය මතක් කර ලිංගික සිහිනයක් වෙත ගොස් ස්වයං වින්දනයේ හෝ ආශ්වාදයේ යෙදෙති. මොවුන් කිසිවිටෙක එසේ පීඩාවට පත්වන කාන්තාවට කිසිම ලිංගික අතවරයක් හෝ වෙනත් ශාරීරික හානියක් සිදු නොකරයි. මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීමට අවම වශයෙන් මේ පුද්ගලයා අවු. 18ක් හෝ සම්පූර්ණ වී තිබිය යුතුය.

ප්‍රදර්ශන කාමය (Exhibitionism)

ප්‍රසිද්ධියේ හෝ ප්‍රසිද්ධ ස්ථානවලදී යම්කිසි පුද්ගලයකු විසින් තම ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම මෙම රෝගී තත්ත්වයයි. මෙහිදී මෙම පුද්ගලයනු බොහෝවිට ගොදුරු කරගන්නේ පාසැල් වියේ සිටින ගැටවර දැරියන්ය. බස්නැවතුම්පොළවල්, දුම්රියපොළවල්, සිනමා ශාලා ආශ්‍රිතව මෙම පුද්ගලයන් මෙසේ ලිංගික අවයව ප්‍රදර්ශනය කරති. මින් 80%ක්ම ප්‍රදර්ශනය කරනුයේ ප්‍රාණවත් නොවූ ශිෂ්ණයයි. 20%ක් පමණ ප්‍රාණවත් ශිෂ්ණය ප්‍රදර්ශනය කරයි. සමහරෙක් මෙම අවස්ථාවේදී එම දැරියන් දෙස බලා ස්වයං වින්දනයේ යෙදෙයි. තවත් සමහරෙක් පසුව එම සිද්ධීන් මතක් කර ශිෂ්ණය ප්‍රාණවත් කර ස්වයං වින්දනයේ යෙදෙති. මෙයට ගොදුරු වන බොහෝ රෝගීන් නොමේරූ හැඟීම් පාලනය කරගත නොහැකි දැඩි ආතතියකින් පෙලෙන පුද්ගලයන් බව සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත. මෙසේ හැසිරීමෙන් පසු බොහෝ දෙනා ඒ ගැන පසුතැවෙති. මීට ගොදුරු වන ටික දෙනකුට සමාජ විරෝධී පෞරුෂයන් තිබෙන බවද සොයාගෙන ඇත. මින් බොහෝ දෙනා අවු. 15 – 25ත් අතර වන අතර 75%ක්ම අවු.40ට අඩුය.

මින් 5%ක් පමණ දෙනා බුද්ධි මට්ටම අඩු හෝ සයිකෝසියාවෙන් පෙලෙන පුද්ගලයන් බව වාර්තා වේ.

බලෙන් ඇතිල්ලීම හෝ ස්පර්ශ කිරීමට ඇති ආශාව
(Frotteurism)

තමාගේ ලිංගික අවයව තමා නොහඳුනන, කිසිම කැමැත්තක් නොවිමසා බලෙන් කෙනකුගේ ඇඟේ ඇතිල්ලීම හෝ ශරීරයේ කොටස්, ලිංගික අවයව ඇල්ලීම තුළින් ලිංගික ආශ්වාදයක් ලැබීම මෙම රෝගී තත්ත්වයයි. සෙනග ගැවසෙන තැන්වල, බස් නැවතුම, දුම්රියපොළ වැනි ස්ථානවලදී මේ තත්ත්වය දක්නට ඇත. මොවුන් බොහෝවිට මෙම ලිංගික සිහින මතක් කර ස්වයං වින්දනයේ යෙදෙති.

තමාට පීඩාවක් කරගෙන ලිංගික උත්තේජනය වීමකට ඇති ආශාව
(Masochism)

තමාගේ ශරීරයට හෝ ලිංගික අවයවවලට පීඩාවක් හෝ වේදනාවක් ඇති කරගෙන ලිංගික උත්තේජනයක් හෝ ආශ්වාදයක් ලැබීම මෙම රෝගී තත්ත්වයයි. මෙම ආශාව නොයෙකුත් විදිහට ලබාගැනේ. ඇඟ කපා ගැනීම, කසයකින් පහර කෑම, ශරීරයට මුත්‍රා කිරීමට සැලැස්වීම, තමාගේ ඇස් රෙදි කඩකින් වසා පහර කෑමකට ලක්වීම වැනි ආකාරවලින් ලිංගික උත්තේජ ලබාගනී. කලාතුරකින් පටියකින් තම බෙල්ල හිර කරගැනීමෙන් හෝ තවකෙකු ලවා බෙල්ල තද කරගැනීමෙන් ලිංගික උත්තේජය ලබාගනී. මෙය ඉතා භයානක තත්ත්වයකි. මෙහිදී මරණය පවා සිදුවිය හැක. මෙම ලිංගික තෘප්තිය ලබාගනුයේ බොහෝ විට තමා දන්නා කෙනකු ලවාය. බොහෝවිට තම සහකාරිය ලවා විය හැකිය.

බොහෝ අසාමාන්‍ය ලිංගික චර්යා සැමවිටම මානසික රෝගී තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. යම් ලිංගික ක්‍රියාවකින් අනෙකාට හෝ තමාට ශාරීරික හෝ මානසික පීඩාවක් නොවෙන්නේ නම්, සමාජයේ අනිත් අයට එය කරදරයක් ද නොවන්නේ නම් එය රෝගී තත්ත්වයක් ලෙස නොසැලකේ.

අසම්මත ලිංගික චර්යාවන්වලට බලපාන හේතු

හොරෙන් බැලීමට ඇති ආශාව, ප්‍රසිද්ධ ස්ථානවලදී ලිංගික අවයව පෙන්වීම, පරපීඩා කාමාශ්වාදය, කාන්තාවන්ගේ යට ඇඳුම් අඳීමට ඇති ආශාව යනාදී විකෘති ලිංගික ආශාවන් මානසික රෝගී තත්ත්වයන් ලෙස මනෝ වෛද්‍ය විද්‍යාව තුළ හඳුනාගෙන තිබෙන බව ඔබ දැනටමත් අවබෝධ කරගෙන ඇති. මෙවැනි තත්ත්වයකට යම් පුද්ගලයකු ගොදුරු වීමට බලපාන හේතු නිශ්චිතවම හඳුනාගෙන නැති නමුත් මේවාට ජාන සහ පාරිසරික හේතු බලපාන බව විශේෂඥයන්ගේ මතයයි.

වැරදි ලිංගික කරුණු කුඩා කාලයේ මනසට ඇතුළු වීම
(Cognitive Distortions)

ආරොන් ටී බෙග් නැමති මනෝ විද්‍යාඥයාට අනුව අපගේ සිතුවිලි හෙවත් දිගුකාලීන මතක පරිපථ (Schemas) කුඩා කාලයේ සිටම මනස තුළට ගිලාබසින අතර අද අප ගන්නා බොහෝ තීරණ හා චර්යාවන් එම මතක පරිපථ අනුව නිර්මාණය වේ. වැරදි ලිංගික සිතුවිලි හෝ චර්යාවන් කුඩා කල අපේ මනසට ඇතුළු වුණහොත් ඒවා යම් දිනෙක අපේ චරිතයේ කොටස් බවට පත්විය හැකිය. අපි මෙහෙම හිතමු. එක පවුලක පිරිමි දරැවන් තිදෙනෙකි. දරැවකු ගෙදර නැතිකම ගැන දෙමාපියන් ගැහැනු දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටියේය. මේ දරුවන් තිදෙනාගෙන් පුංචිම දරුවාට කවුරුත් ආමන්ත්‍රණය කළේ “කෙල්ලේ” කියාය. කෙල්ලෙක් මෙන් ලස්සනයැයි පවුලේ අය මෙන්ම නෑදෑයන් ද පැවසුවේය. මාපියන් වැඩිය ආදරේ කෙල්ලෙකුට යැයි ඔහුගේ කුඩා මනසට තදින් දැනුණි. යම් දිනක වැඩිහිටියකු බවට පත්වන මෙම දරුවා කාන්තා යට ඇඳුම් ඇඳීමට ආශාව ඇති මානසිකත්වයට ගොදුරු විය හැකියි.

කුඩා කාලයේ හෝ ඉන්පසුව නොයෙකුත් ආකාරයෙන් මොළයට හානි සිදුවීමෙන් ද පසුව මෙවැනි විකෘති ලිංගික ආශාවන්ට ගොදුරු විය හැකිය. උපතින්ම බුද්ධිමත්කම අඩුවීම, හදිසි අනතුරුවලට ගොදුරු වී මොළයට හානි සිදුවීම, වලිප්පුව වැනි තත්ත්වයක් නිසා ටෙම්පරල් හෙවත් පූර්ව මස්තිස්කයට හානිවීම වැනි තත්ත්වයන්හිදී ද අසාමාන්‍ය ලිංගික චර්යාවන්වලට පුද්ගලයකු ගොදුරු විය හැකිය.

මෙහිදී ඇමිග්ඩෙලා (Amygdella) සහ ටෙම්පරල් මස්තිෂ්කයට (Temparal Lobe) හානි වීමේදී ඇතිවන අසනීප තත්ත්වයේදීද අසාමාන්‍ය ලිංගික චර්යාවන් ඇතිවන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

ලිංගික හෝමෝන වැඩියෙන් ස්‍රාවය වීමද මෙම අසම්මත ලිංගික චර්යාවන්ට තවත් හේතුවකි. ඇන්ඩ්‍රොජන් හෙවත් ටෙස්ටොස්ටෙරොන් හෝමෝන පිරිමින්ගේ මෙන්ම කාන්තාවන්ගේ ලිංගික උත්තේජ සහ ආශාව ඇති කිරීමට හේතුවන රසායන ද්‍රව්‍ය වේ. කාන්තාවන්ගේ මේවා ස්වල්ප වශයෙන් ශ්‍රාවය වේ.

විශේෂයෙන්ම කුඩා දරුවන් සමඟ ලිංගිකව එකතු වීමට ඇති ආශාවට මුල්වන කරුණු කීපයක් වෛද්‍යවරුන් විසින් පෙන්වා දී ඇත. නොයෙකුත් පෞරුෂභින්නතාවලින් මේ පුද්ගලයන් පෙලීම, දරුවකු දුටුවිට ඇතිවන ලිංගික හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීම, දරුවන් සමඟ ලිංගිකව එකතු වීම සාධාරණය කිරීමට ඔවුන්ගේ මනස සකස් කරගෙන තිබීම, සමහර විට මෙවැනි පුද්ගලයන් කුඩා කාලයේදීම දරුවන් සමඟ ලිංගිකව නොයෙකුත් ආශ්වාදයන් ලබාගෙන තිබීමද මීට තවත් හේතුවකි.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00