2017 මාර්තු 04 වන සෙනසුරාදා

මාරක විෂබීජ 12 ක් එළියට

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 398

ලෝක සෞඛ්‍ය සංවිධානය හෙල්ලුම්කයි

ලෝකයේ පළමුවැනි වතාවට මාරක බැක්ටිරියාවන් පිළිබඳ තෝම්බුවක් එළිදැක තිබේ. මනුෂ්‍ය වර්ගයා හට අතිශය මාරාන්තික වියහැකි දැනට පවතින ඖෂධ සඳහා ප්‍රතිරෝධි බැක්ටිරියා 12ක් මේ තෝම්බුවට අයත්ය. මේ බැක්ටිරියා තෝම්බුව පසුගිය සඳුදා එළිදැක්වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. දැනට පවතින බැක්ටිරියා නාශක ඖෂධ කිසිවකට ප්‍රතිචාර නොදක්වන එසේම බහුල වශයෙන් සෑදෙන රෝගවලට හේතුවන බැක්ටිරියා 12ක් මේ තෝම්බුවේ ප්‍රධාන තැනට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව මේ ඖෂධ විරෝධි කිව්වා නාහන බැක්ටිරියා මේ වන විටත් වසරකට හත්ලක්ෂයක් බිලිගන්නා දරුණු මිනිමරුවන්ය. තවදුරටත් මේ සඳහා සුදුසු නව ඖෂධ සොයාගන්නට අසමත් වුවහොත් වසර 2050 පමණ වනවිට මේ තත්ත්වය වසරකට මිලියන 10ක් දක්වා ඉහළ යා හැකි බවට ඔවුහු භීතිය පළ කරති. 

වසරකට ලක්ෂ 7ක් බැක්ටීරියා පාතාලයට බිලි

 

කොටින්ම මේ තෝම්බුවේ ඉහළින්ම දැක්වෙන ඇතැම් බැක්ටිරියා දැනට ඇති ඉහළම ප්‍රතිජීවකය බව කියන කාර්බපනෙම්ස් (Carbapanems) සඳහාද ප්‍රතිරෝධී බව වගාක‍රගෙන තිබේ. මේ නිසා අතීතයේදී මෙන් නැවතත් බැක්ටිරියා රෝග වසංගත ලොව පුරා පැතිරයාහැකි බවටද අනතුරු ඇගවීමක් කර තිබේ. සෞඛ්‍ය සංවිධානය රටවල් සහ ආයතනවලින් ඉල්ලා ඇත්තේ නොපමාවම මේ කියන බැක්ටිරියා නසන්නට හැකි නව ඖෂධ නිෂ්පාදනයට අත ගසන ලෙසටය.

මේ තෝම්බුවේ මුල් තැනට පැමිණ ඇත්තේ රෝහල් ආශ්‍රිතව පැතිරයන රෝග සඳහා ප්‍රසිද්ධ ඇසිනටෝ බැක්ටර් සහ සූඩෝමෝනාස් විශේෂයන්ය. (Acinetibacter banmannii / Pseudomonas aeruginosa) රෝහල් ආශ්‍රිතව ඇති ඉන්හේලර්, කැතීටර් වැනි රෝගින් සඳහා උපකාරි වන උපකරණ මගින් මෙම බැක්ටිරියා ආශ්‍රිත රෝග බෝවීම සිදුවේ. ලෝකයේ වැඩිම ප්‍රමාණයක් මරණ මේ මගින් සිදුවෙයි. 

පළමුවරට බැක්ටීරියා මිනීමරුවන් තෝම්බුවක්

තුන්වැනි තැනට E Coli සහ Klebsiella වැනි බැක්ටිරියා අයත් Entero bacteriaceae පත්ව තිබේ. මෙයින් ඊ කොලයි ආහාර විෂවීම සඳහා හේතුවන අතර ක්ලෙබ් සියෙල්ලා වයසක උදවියගේ මුත්‍රා ආසාදන සඳහාද නියුමෝනියා තත්ත්වයන් උදෙසාද බලපායි. අඩුතරමේ වසර 10ක් තුළ දී නව ඖෂධ සොයාගෙන ඒවා වෙළෙඳපොළට ගෙන ආ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ තෝම්බුව එළිදක්වමින් අනතුරු අඟවයි. මේ බැක්ටිරියා තත්ත්වය කොටස් තුනකට බෙදා ගන්නේ ඒවාට ප්‍රතිකාර ඇති නැති ස්වභාවය අනුවය. 

නැවතත් වසංගත භීතිකාවක්

මේ අනුව පළමු කොටසට දැනට ඇති කිසිම බෙහෙතක් නාහන බැක්ටිරියා අයත්ය. දෙවැනි සහ තෙවැනි කොටසට මේවනවිට ඇති ඖෂධ උදෙසා ප්‍රතිරෝධිතාව ඉහළ යමින් පවතින බැක්ටීරියා අයත්ය. ඒවා සඳහා දැනට ඖෂධ පවතින්නේ දෙක තුනක් පමණි.

මේ මාරක බැක්ටිරියා තෝම්බුවට ආහාර විෂවීමට, ග්‍රැස්ටයිටිස් තත්ත්වයට බලපාන කැම්පිලෝබැක්ටරි සහ පොලියෝබැක්ටර්ද, සැල්මොනෙල්ලා සහ ගොනොරියා විශේෂයන්ද අයත්ව සිටි. මේ අතර දැඩි වසංගත තත්ත්වයකට පත්ව ඇත්තේ ටියුබක්‍යුලෝසිස් මගින් සෑදෙන ක්ෂය රෝග තත්ත්වයයි. 

♦ සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00