2019 ජුලි 20 වන සෙනසුරාදා

අමුතු ආශාව I (Paraphilic Disorders)

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 2522

ලිංගික සිහින සහ ආශාව නිරෝගී මනසක ඇති වන සාමාන්‍ය උත්තේජනයකි. මෙම ලිංගික උත්තේජනය තුළ තමා ආශා කරන පුද්ගලයා හෝ වස්තූන් පිළිබඳ සිහින මැවීම, ඒවා පිළිබඳ ආදරයක් ඇති කරගැනීම හා ලිංගිකව එකතු වීම සාමාන්‍ය ලිංගික චර්යාවක් තුළ දක්නට ලැබෙන ලක්ෂණයක්. අපි මෙය උදාහරණයක් මගින් බලමු.

නිමල්ගේ වයස අවු. 40යි. ඔහු විවාහ වී දරුවන් දෙදෙනෙක් ද සිටිනවා. ඔහුගේ භාර්යාව සමඟ සාර්ථක විවාහ ජීවිතයක් මෙන්ම ලිංගික ජීවිතයක්ද පවත්වාගෙන යනවා. නමුත් දිනක් ඇති වූ අපූරු සිද්ධියක් නිසා නිමල් ඔහුගේ බිරිඳ අතර විරසක වීමක් සිදුවුණා. ඊට හේතුව ලෙස ඔහුගේ බිරිඳ පැවසුවේ නිමල් ඇය සමඟ ලිංගිකව එකතු වනවිට සමහර දිනවලදී වෙනත් කාන්තාවක් සිහියේ තබාගෙන ලිංගිකව එකතු වන බවයි. මෙය බිරිඳ දන්නේ නිමල් ඇය සමඟ මේ පිළිබඳව පවසා තිබෙන නිසාය.

සැබැවින්ම මෙවැනි ලිංගික සිහින අසාමාන්‍ය චර්යාවන් ලෙස පිළිනොගැනේ. ඕනෑම පුද්ගලයකුගේ නිරෝගී මනස තුළ මෙවැනි ලිංගික සිහින (Sexual Fantasies) ඇති වන බව මනෝ විද්‍යාඥයන්ගේ මතයයි.

අසාමාන්‍ය ලිංගික චර්යාවන් ලෙස හඳුන්වන්නේ මොනවාද?

යම්කිසි පුද්ගලයකුගේ ලිංගික චර්යාව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වයට සමාජ ජීවිතයට රැකියාවට හෝ අනෙක් පුද්ගලයාට යම් ශාරීරික හෝ මානසික පීඩාවක් ගෙන දෙන්නේ නම් එම චර්යාවන් අසාමාන්‍ය ලිංගික චර්යාවන් ලෙස හැඳින්විය හැක. මෙවැනි අසාමාන්‍ය ලිංගික චර්යාවන් හෙවත් අමුතු ආශාවන් පිළිබඳව අපි කෙටියෙන් විමසා බලමු.

පරපීඩා කාමාශ්වාදය (Sadism)

තමා සමඟ ලිංගිකව එකතු වන සහකාරියට දැඩි මානසික හෝ ශාරීරික පීඩාවක් ඇති කර ලිංගික තෘප්තිය හෝ උත්තේජනයක් ලබා ගැනීම මෙම හැසිරීමේදී සිදු වේ. මෙම චර්යාවට ගොදුරු වූ පුද්ගලයා බොහෝ විට අසාමාන්‍ය ලෙස ප්‍රචණ්ඩ වේ. තම සහකාරියට දරුණු ලෙස පහර දීම වැනි ලක්ෂණ ද දක්නට ඇත. සැබැවින්ම මෙවැනි පුද්ගලයකු හට ලිංගික සහකාරියගේ වේදනාව දැකීමෙන් පමණක් ලිංගික තෘප්තියක් ලැබෙයි. නමුත් පහර දීමෙන් හා පීඩාවට පත් කිරීමෙන් ඔවුන්ගේ ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් වීම හා උත්තේජනයක් ලබා ගැනීම සිදු වේ. එමෙන්ම බොහෝ විශේෂඥයන්ගේ මතය වන්නේ මෙහිදී ලබන විකෘති ලිංගික තෘප්තියට අමතරව තම බලය අනෙකකු වෙත යෙදවීම තුළින්ද යම් තෘප්තියක් ලබන බවයි. මලමිනී සමඟ ලිංගිකව හැසිරීමට (Necrophilia) ඇති ආශාව ද පරපීඩා කාමාශ්වාදය නැමැති මෙම අසනීපයේම කොටසක් ලෙසට මනෝ වෛද්‍ය විද්‍යාවේ විස්තර කරයි.

සුනිල්ගේ වයස අවු. 28යි. ඔහු රාජ්‍ය ආයතනයක කළමනාකාරවරයකු ලෙස සේවය කරන අතර අවු.5ක දරුවෙක් ද සිටී. ඔහුගේ බිරිඳ සුනිල්ගෙන් දික්කසාද වීමට තීරණය කර තිබියදී මනෝ වෛද්‍ය සායනයට යොමු විය. බිරිඳ මෙසේ පැවසුවාය.

“අපි යාළු වෙලා තමයි විවාහ වුණේ. විවාහ වෙලා දැන් අවු. 7ක් වෙනවා. මම පුදුම දුකක් මේ මනුස්සයත් එක්ක විඳින්නේ. මා සමඟ ලිංගිකව එකතු වීමට පෙර ඔහු මට දරුණු ලෙස පහර දෙනවා. ඔහු කියන්නේ එහෙම මට පහර දුන්නේ නැත්නම් ඔහුට ප්‍රාණවත් වන්නට නොහැකි බවයි. ඒත් මට දැන් සුනිල් එපා වෙලා. ඔහු සමඟ ලිංගිකව එකතු වෙන්න මට දැන් කිසිම ආශාවක් නෑ. මම තීරණය කරලා තියෙන්නේ දැන් මොහුගෙන් අයින් වෙන්න ඕන කියලා”

සුනිල්ගේ ළමා කාලය පිළිබඳ තොරතුරු විමසීමේදී ඔහුගේ පියා ඉතා සැර පරුෂ පුද්ගලයකු බව ද මෙහිදී අනාවරණය විය.

යට ඇඳුම් ලැදියාව
(Transvestism)

මෙයට බොහෝ විට ගොදුරු වන්නේ පිරිමින්ය. කාන්තාවන්ගේ යට ඇඳුම් සොයාගෙන හෝ සොරකම් කරගෙන ඒවා ඇඳගැනීමට ඇති ආශාව මෙම අසාමාන්‍ය වර්යාව තුළ දිස් වේ. මෙම තත්ත්වය බොහෝ විට පිරිමි දරුවකුගේ අවු. 10 වැනි කාලයකදී විද්‍යාමාන විය හැකිය. මෙවැනි පුද්ගලයකු ලිංගිකව අවදි වනුයේ හෝ ශිෂ්ණ්‍ය ප්‍රාණවත් වනුයේ කාන්තාවන්ගේ යට ඇඳුමක් පැළඳීම තුළිනි. මෙය බැලූ බැල්මට අසනීපයක් ලෙස නොපෙනේ. නමුත් බොහෝ විට අහල පහළ ගෙවල්වලින් හෝ රෙදි දමන වැල්වලින් යට ඇඳුම් සොරා ගැනීම නිසා නීතියේ රැහැනට හසු වී දඬුවම් ලැබිය හැකිය. තවත් සමහර පුද්ගලයන් යට ඇඳුම් හැරුණු කොට මේස්, සපත්තු ආදියෙන් ද ලිංගික උත්තේජනය ලබා ගැනීමට පෙළඹේ. මෙවැන්නන් මීට අමතරව කාන්තාවන්ගේ ලිංගික නොවන ශරීරයේ වෙනත් කොටස් දැකීමෙන්ද ලිංගිකව උත්තේජනය විය හැකි බව සොයාගෙන ඇත. නමුත් මෙම තත්වය අසහනකාරී මානසික රෝගයක් ලෙස නිර්ණය කිරීමට නම් ඉහත ආශාවන් ඔහුගේ මනසට බාධාවක් විය යුතුය. එසේ බාධාවක් නොවී කාන්තාවන්ගේ යට ඇඳුම්, ඇඳුම් හෝ ශරීරයේ කොටස් පිළිබඳ සිහින දැකීම රෝගී තත්ත්වයක් ලෙස නොසැලකේ. මෙය පුංචි කතාවක් ඇසුරෙන් බලමු.

සුනිමල්ගේ වයස අවු.24යි. විවාහ වී වසරකි. තවම දරුවන් නොමැත. නිවස තුළදී සිදු වූ සිද්ධීන් දෙකක් නිසා සුනිමල්ගේ බිරිඳ මහත් සේ කලබලයට පත්විය. තම අසල්වැසියන්ගේ රෙදි වැලවල්වල කාන්තා යට ඇඳුම් නැති වීම ප්‍රදේශවාසීන්ට මහත් ගැටලුවක් විය. සමහරෙක් මෙය සුනිමල්ගේ වැඩක් ලෙසද සැක කළහ. දිනක් ඔහුගේ බිරිඳ දුටුවේ සුනිමල්ගේ අල්මාරියේ කාන්තා යට ඇඳුම් විස්සක් පමණ සඟවා තබාගෙන ඇති බවයි. එමෙන්ම සුනිමල් බිරඳ සමඟ ලිංගිකව එකතු වීමට ප්‍රථමව කාන්තා යට ඇඳුමකින් සැරසී සිටින බවද නිරීක්ෂණය කළේය. මේ ගැන සුනිමල්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එසේ යට ඇඳුමක් නොඇඳ ලිංගිකව එකතු වීමකට ඔහුගේ සිරුර ප්‍රාණවත් නොවන බවයි.

කුඩා දරුවන් වෙත ඇති අමුතු ආශාව (Paedophilia)

මනෝ වෛද්‍ය විද්‍යාව අනුව මෙම මානසික විකෘතිභාවය තීරණය කිරීමට දරුවාගේ වයස අවු.13ක් හෝ ඊට අඩු විය යුතු අතර විකෘති පුද්ගලයන්ගේ වයස අවු.16ක් හෝ ඊට වැඩිවිය යුතු අතර දරුවා සහ මෙම පුද්ගලයා අතර තිබිය යුතු වයස පරතරය අවම වශයෙන් අවු.5ක් වත් විය යුතුය. මෙම විකෘතිභාවය බොහෝ විට ගැටවර වියේදී හෝ මැදි වියේදී මනසට ඇතුළු විය හැකිය. මෙවැනි පුද්ගලයන් බොහෝ විට අන්තර්ජාලය මගින් දරුවන්ගේ ලිංගික චර්යාවන් (Child Pornography) නැරඹීමට ගිජුකමක් දක්වයි. මෙම විකෘති චර්යාව තුළට දරුවාගේ ඇඳුම් ගැලවීම, බලයෙන් ඇඟපත අතපත ගෑම, හිංසා කිරීම, ලිංගික එකතු වීම දක්වා දුර දිග යාහැකිය. මෙය පුංචි කතාවක් තුළින් බලමු.

චතුරගේ වයස අවු.10යි. චතුරගේ පියා පිටරටක රැකියාවක නියුතු අතර ඔහු තම මව සමඟ මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටියේය. චතුර යන පාසලට තම නිවසේ සිට 1km පමණ දුරක් විය. මව චතුරව පාසලට යැව්වේ එම ළඟ ගෙදරක ත්‍රීවිලරයකය. දවසක් පාසල අවසන් වී චතුර ගෙදර එනවිට පැය දෙකකට වඩා ප්‍රමාද විය. මේ ගැන මව චතුරගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසුවේය.

“ත්‍රීවිල් අංකල් මාව කාමරයකට එක්කගෙන ගියා. එයා බලෙන්ම මගේ ඇඳුම් ගැලෙව්වා. ඔහු මගේ අත අතගෑවා. යටි බඩ ප්‍රදේශය සහ ශිෂ්ණය ප්‍රදේශය ද අත ගෑවා. ඔහුගේ ශිෂ්ණය අතින් අල්ලා පිරිමදින ලෙස ඔහු මට බල කළා. එහෙම කළේ නැත්නම් මාව මරණවා කියලා කීවා.”

ඊළඟ ලිපියෙන් තවදුරටත් මෙබඳු අමුතු ලිංගික ආශාවන් පිළිබඳ අපි සොයා බලමු.

► කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය

නයනානන්ද කුමාරනායක

 

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00