2019 ජුලි 13 වන සෙනසුරාදා

උණ හැදුනහම මොකද කරන්නෙ

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 9167

මේ දිනවල උණ ගැන කතාබහ නැවත ඉහළ ගිහින්. ඩෙංගු රෝගයත් උත්සන්න වෙලා. පොඩ්ඩක් ඇඟ රත් වුණත් හැමෝම ඉන්නෙ බයෙන්. ඔක්කොමත් හරි දරුවන්ට උණ හැදුණාහම දෙමාපියන් ඉතාමත් කලබලයට පත්වෙනවා. ඇඟ වෙනදාට වඩා උණුසුම් වෙලා, බබාගේ ඇස් දෙක විඩාබර වෙලා, වේදනාවෙන් අඬනවා. ශරීර උෂ්ණත්වය ඉහළ ගිහින් තියනවා. මේ වගේ වෙලාවක කළ යුතු නොකළ  යුතු දේ ගැන නිවැරදි තොරතුරු ටික දැනගත්තොත් ඔබට උණ හුඟාක් දුරට සමනය කරගන්න පුළුවන්.

උණ කියන්නේ මොකක්ද?

සාමාන්‍ය මිනිසෙකුගේ ශරීර උෂ්ණත්වය 35C0-37C0 (98-100F) අතර වුනත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නට පුළුවන්. මෙය කරන ක්‍රියාකාරකම් එනම් ව්‍යායාම, කෑම, නින්ද හා දවසේ වේලාවන් අනුවත් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ශරීරයේ උෂ්ණත්වය සවස 6 පමණ වනවිට ඉහළ යන අතර උදෑසන 3 පමණ වනවිට අඩු වෙනවා.

අපගේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යාමෙන් උණ ඇතිවෙනවා.

ශරීර උෂ්ණත්ව පාලකය මොලයේ කොටසක පිහිටා ඇති අතර එය හයිපොතැලමස ලෙස හඳුන්වනු ලබනවා. මෙය මගින් ශරීරයේ උෂ්ණත්වය නිසි ලෙස පාලනය කරමින් තබා ගන්නවා. ඔබේ දරුවා ආසාදනයට ලක්වී හෝ අසනීපයෙන් පසු වනවිට ඊට ප්‍රතික්‍රියා කරමින් හයිපොතැලමස මගින් උෂ්ණත්වය වැඩි කරනවා.

එවන් විටෙක ශරීර උෂ්ණත්වය මගින් පෙන්වන්නේ ශරීරය තුළ ඇති විෂබීජ සමඟ ශරීරය සටන් කරන බවයි. ඉන් ශරීරයට වැඩි පහසුවක් ලබාදෙන්න උත්සහ කරනවා.

දරුවාගේ ශරීර උෂ්ණත්වය වැඩිවීමෙන් දරුවා තුළ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් බවත් විෂබීජවලට එරෙහිව එය ශරීරය තුළ සටන් වදින බවත් හැඟෙනවා.

වැදගත් - මතක තබාගන්න උණ කියන්නේ රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. එය ආසාදනයක හෝ රෝගයක පූර්ව ලක්ෂණයක් පමණයි.

දරුවාගේ ශරීර උෂ්ණත්වය දැනගන්නේ කොහොමද?

දරුවෙකුගේ ශරීරයේ උෂ්ණත්වය දැනගතහැකි ක්‍රම කිහිපයක් සඳහන් කරනවා. ඒ අතර ගුද මාර්ගය හරහා මුඛයෙන්, කිහිල්ලෙන්, නළලෙන් ආදී ස්ථානවලින් උෂ්ණත්වය පරීක්ෂා කළහැකි බව පැවසෙනවා.

වයස අවුරුදු එකට අඩු දරුවන්ගේ ශරීර උෂ්ණත්වය වඩාත් නිවැරදිව ලබාගත හැක්කේ ගුදයෙන් බව පැවසෙනවා.

හොඳින් පිරිසිදු කරගත් ඩිජිටල් උණ කටුවක් ගෙන දරුවා මුණින් අතට තැබීම හෝ බඩ යට අතට තබා කකුල් නවා පෙට්‍රෝලියම් ජෙලි ස්වල්පයක් උෂ්ණත්වමානයේ බල්බයේ ගල්වා අඟලක් පමණ ප්‍රමාණයක් ගුද මාර්ගයට ඉතා පරෙස්සමින් ඇතුල් කරන්න. බීප් ශබ්ද්දය නැගීමෙන් පසු උෂ්ණත්වමානය එළියට ගන්න.

මෙම උෂ්ණත්වමානය ගුද මාර්ගයෙන් ඇතුළු කිරීමට පමණක් වෙන්කර තබාගන්න අමතක කරන්න එපා.

දරුවාට වයස අවුරුද්දට වැඩි නම් කන හා සම්බන්ධ උෂ්ණත්වමානයක් හෝ මුඛයට දැමිය හැකි උෂ්ණත්වමානයක් පාවිච්චි කරන්න පුළුවන්. එසේම ගුද මර්ගයෙන් පරීක්ෂා කිරීමෙන් සහ අත යටින් පරීක්ෂා කිරීමෙන්ද මෙය සිදුකරගත හැකියි.

උණ වැළඳීමට බලපාන හේතු

වෛරස් ආසාදන - සෙම්ප්‍රතිශ්‍යාව සමඟ හටගන්න උණ තත්ත්වය ළදරුවන් අතර හුඟාක් වැඩියි. ඊට අමතරව දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවනවා නම් විවිධ වෛරස් ආසාදනයන්ට ලක්වීම පෙන්නුම් කරනවා. සමහර විට පළමු පැය 24 තුළ උණ පමණක් දකින්නට ලැබේවි. ඉන්පසුව නාසයෙන් සොටු ගැලීම හා කැස්ස වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.

බැක්ටීරියා ආසාදනය - දෙවනුව වැඩිපුරම දැකිය හැකි බැක්ටීරියා ආසාදන නිසාද උණ ඇතිවෙන්න පුළුවන්. විස්තර කළ නොහැකි මෙම උෂ්ණත්වය බැක්ටීරියාවන් නිසා ඇති වන්නක්. ගැහැනු දරුවන්ගේ මුත්‍රාශය ආශ්‍රිත ආසාදන නිසාත් ඇතිවන්න පුළුවන්.

සෙම - මෙය සෙම්ප්‍රතිශ්‍යාව වැඩිවීම සමඟ ඇතිවෙන්න පුළුවන්. මෙහි වේදනාව සමඟ දින කිහිපයක් උණ තිබෙන්න පුළුවන්.

එන්නත් නිසා - හුඟාක් එන්නත් ලබාදෙමින් පසු දරුවන්ට උණ හැදෙනවා. විශේෂයෙන් පළමු පැය 12 තුළදී. නමුත් මෙය එතරම් කලබල විය යුතු නැති සාමාන්‍ය තත්ත්වයක් වුවත් ඊට වඩා උග්‍ර රෝග ලක්ෂණ දක්වන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්ය වෙනවා.

උෂ්ණත්වය අධික පරිසර - දරුවා උෂ්ණත්වය පිටනොවන ඇඳුම් ඇන්දවීම හෝ උෂ්ණත්වය අධික පරිසරයක සිටීමත් ඊට හේතු විය හැකියි. ඇඳුම් හා පරිසරය වෙනස් කිරීමෙන් මේ තත්ත්වය මඟහරවා ගන්න පුළුවන්. පාන හා ජලය ලබාදීමත් හොඳයි.

දරුවන්ට උණ වැළඳුන විට කනස්සල්ලට පත්විය යුත්තේ කුමන අවස්ථාවන්වලද?

අලුත් බබාට හැදෙන උණවලදී දැඩිව විමසිලිමත්විය යුතුයි.

ඔබේ දරුවා මාස 3ට අඩු නම් සහ  ශරීර උෂ්ණත්වය 38C වැඩි (100.4F) නම් වෛද්‍යවරයෙකු වෙත රැගෙන යා යුතු වෙනවා. ඒ වගේ ශරීර උෂ්ණත්ව 35.5C (96F) අඩු නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

ඔබ සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ

උණ 39Cට ඇත්නම් හා දරුවාට වයස මාස 3ට අඩු නම්,

ආහාර හා බීම වර්ග ප්‍රතික්ෂේප කිරීම හා අපහසුතාවයන් පෙන්වීම.

වමනය හා බඩයාම

වෙනදාට වඩා අඩුවෙන් මුත්‍රා කිරීම, ශරීරයේ වියළි ගතිය, අඬන විට කඳුළු නොඒම, මුත්‍රා කරන විට හැඬීම.

පිළිකා, හෘද, වකුගඩු රෝග පැවතීම.

පැය 72කට වඩා උණ පැවතීම.

සමේ ආසාදන හෝ දද පැවතීම.

උණ ශරීරයේ ප්‍රතිශක්තියේ ශක්තිය පෙන්වන්නක් වුවත් එය පාලනය අවශ්‍යයි. මන්ද එය 40- 41C0 දක්වා වර්ධනය වීම මගින් දරුවාට ෆිට්එක වැනි වෙනත් සංකූලතා ඇතිවිය හැකියි.

උණ තත්ත්වය පාලනය කිරීමේදී කළ යුතු හා නොකළ යුතු දේවල්

මේවා කළහැකියි -

වයස හා බර අනුව පැරසිටමෝල් මාත්‍රාවන් ලබා දෙන්න. නිසි මාත්‍රාව සඳහා නිවසේ භාවිත කරන හැඳි වෙනුවට බෙහෙත් සඳහා නිර්දේශිත කෝප්ප හෝ හැඳි භාවිත කරන්න.

- දරුවා මාස 6ට අඩු නම් හැකිතරම් මව් කිරි ලබාදෙන්න. මව් කිරිවල ඇති ප්‍රතිජීවක මගින් දරුවාට විෂබීජ සමඟ සටන් කිරීමට වැඩිපුර ශක්තියක් ලැබෙනවා.

- හැකි තරම් සරල මෘදු ඇඳුම් ඇන්දවීය යුතුය. වුවමනාවට වඩා වසා තැබීමෙන් උෂ්ණත්වය ඉහළ යාම වැඩිවිය හැකියි.

- දරුවා හැකි පමණ විවේකයෙන් තබන්න.

මේවා කරන්න එපා -

දරුවාට පැය 24ක් පමණ උණ ඇත්නම් දිවා සුරුකුම් මධ්‍යස්ථානයට හෝ පාසලට යවන්න එපා.

උණ ඊට වැඩි දිනක් පවතිනම් රෝගයක් ගැන සැකයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න.

- දරුවා සීතල වතුරෙන් තෙත මාත්තු නොකර ඇල්මැරුණු මද රස්නෙ වතුරෙන් තෙත මාත්තුකිරීම හෝ බාත්ටබ් එකක කෙටි වෙලාවක් තබා (අධීක්ෂණය යටතේ) පමණක් නැවත ගන්න.

- උණ අඩු කිරීමට මධ්‍යසාර ඇඟෙහි ගලවන්න එපා.

- අධිමත්‍රාවන් හා නියමිත කාලයට පෙර බෙහෙත් ලබා දෙන්න එපා.

- දරුවාට බඩගින්නේ ඉන්න දෙන්න එපා. කැමති දෙයක් කෑමට දීම හා හැකිතරම් දියර වර්ග පානයට දෙන්න.

- උණ වැළඳීමට හේතුව නොදන්නේ නම් පැරසිටමෝල් හැර වෙනත් බෙහෙත් වර්ග දෙන්න එපා. එය ඩෙංගු රෝගය නිසා ඇතිවූ උණක් නම් රෝගය උත්සන්න විය හැකියි.

- ඇස්ප්‍රින් ලබාදෙන්න එපා. එය රෙර්ස් සින්ඩ්‍රෝම් (Reye's Syndrome) නැමති භයානක තත්ත්වයකට ඉඩදෙන්න පුළුවන්.

- වෛද්‍ය උපදෙස්වලින් තොරව දරුවා මාස දෙකට අඩුනම් පැරසිටමෝල් ලබා දෙන්නත්  එපා.

- Asianparent