2019 ජුනි 29 වන සෙනසුරාදා

පැණී රස ගැන තිත්ත කතාවක්!

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 319

සීනි වෙනුවට විවිධ ආදේශකවලට යොමුවීමේ ප්‍රවණතාවයක් වර්තමානය වනවිට දකින්නට හැකිය. මින් බහුතරය කෘත්‍රීම පැණිරසකාරක වෙයි. මේවා සීනිවලටත් වඩා අහිතකර සෞඛ්‍ය ගැටලු ගෙන දීමට සමත් බවට මතයක් සමාජයේ පැතිරී ගොස් තිබේ. සැබැවින්ම මෙහි ඇත්ත-නැත්ත කුමක්ද? සීනි භාවිතය සීමා කිරීම සුදුසු ඇයි? අපි අද ඒ ගැන විමසමු.

උක් හෝ බීට්වලින් නිපදවාගන්නා සුක්‍රෝස් ස්ඵටිකවලට ‘සීනි’ යනුවෙන් අපි එදිනෙදා ව්‍යවහාරයේ හඳුන්වන්නෙමු. මෙය ස්වභාවික නිෂ්පාදනයක් මුත් එහි අඩංගු අධික කැලරි ප්‍රමාණයත්, ඉහළ ග්ලයිසීමික අගයත් දියවැඩියාව ඇතුළු රෝග රාශියකට අත වනයි. එම නිසා ඒවා මඳ පමණින් භාවිතයයි වඩාත්ම සුදුසු.

සුක්‍රෝස් සීනි -

යම් ආහාරයක් හෝ පානයක පැණි රස ඇතිකරවිය හැකි ලොව එකම සංඝටකය මෙම සුක්‍රෝස් සීනි නොවේ. සුකෝස් යම් ප්‍රමාණයක් මගින් යම් ප්‍රමාණයකින් ආහාරයක් හෝ පානයක පැණි රස නංවාලයිද ඊට වඩා බොහෝ අඩු ප්‍රමාණයක් යොදාගෙන එම පමණින්ම එහි පැණි රස ඇතිකරවිය හැකි ස්වභාවික හා කෘත්‍රීමව සංශ්ලේෂණය කරන සංඝටක රාශියක් ලොව පවතියි. මේවා ‘පැණිරසකාරක’ ලෙස පොදුවේ හැඳින්වෙයි.

යම් ආහාරයක ‘පැණිරසභාවය’ ශරීරයට අහිතකර වන්නේ දිවට දැනෙන පැණි රස නිසා නොවේ, එහි ඉහළ ග්ලයිසීමික අගය හා වැඩි කැලරි ප්‍රමාණය නිසාය. එබැවින් යම් පැණිරසකාරකයක් සීනිවලට සාපේක්ෂව අඩු කැලරි ප්‍රමාණයක් ශරීරයට දායක කරමින්, අඩු ග්ලයිසීමික අගයක් සහිතව පැණි රස ජනනය කරයි නම්, එම සාධක දෙක පමණක් සලකන කල්හි එය සීනිවලට වඩා ශරීරයට හිතකරය.

ස්වභාවික පැණිරසකාරක - සීනි වෙනුවට යොදාගත හැකි ස්වභාවික පැණිරසකාරක ග්ලයිසීමික අගය අතින් බොහෝවිට සීනිවලට වඩා ශරීරයට හිතකර වුවත්, කැලරි අගය අතින් සීනිවලට වඩා වැඩිවීම මෙන්ම සාපේක්ෂව මිලෙන් අධික වීම හා භාවිතයේ ප්‍රායෝගික ගැටලු නිසා බොහෝ නිෂ්පාදකයන් කෘත්‍රීම පැණිරසකාරකවලට යොමුවී තිබෙනවා.

මොනවද මේ කෘත්‍රිම පැණිරසකාරක?

කෘත්‍රීම පැණිරසකාරක යනු යම් මාධ්‍යයක් භාවිතයෙන් කෘත්‍රීම ලෙස සංශ්ලේෂණය කරන ලද පැණිරසකාරක වෙනවා. මේවා ස්වභාවික ද්‍රව්‍යවලින්ද සංශ්ලේෂණය කළ හැකි අතර, තවත් සමහරක් සම්පූර්ණයෙන්ම කෘත්‍රීම රසායන ද්‍රව්‍ය යොදා විද්‍යාගාරයේ දී නිර්මිත වෙනවා. බොහෝ දෙනා බිය වන්නේ මේ දෙවැනි වර්ගය සම්බන්ධයෙනුයි. ‘කෘත්‍රීම’ යන නාමය ඇසුණු සැණින් බොහෝ දෙනා පිළිකා ඇතුළු නොයෙක් ලෙඩරෝග වැළඳේ යැයි බියෙන් ඒවායින් ඈත් වෙනවා.

කෘත්‍රීම පැණිරසකාරක භාවිතයේ වාසි අවාසි

කෘත්‍රීම පැණිරසකාරක භාවිත කිරීමේ යම් වාසි තිබෙනවා. විශේෂයෙන්ම මේ අති බහුතරය සුක්‍රෝස් සීනිවලට වඩා ප්‍රබල පැණිරසකාරක වෙනවා. මින් සමහරක පැණිරසකාරක ගුණය සුක්‍රෝස් සීනිවලට වඩා සිය ගුණයකටත් වඩා ප්‍රබල වෙනවා. වෙනත් වදන්වලින් පැවසුවහොත් යම් ආහාරයක් පැණි රස කිරීම සඳහා සුක්‍රෝස් සීනි ග්‍රෑම් 20ක් භාවිත කරයි නම් කෘත්‍රීම රසකාරකයක් භාවිතයෙන් එය පැණි රස කිරීමේදී එම සංඝටකය භාවිත කළ යුතු ප්‍රමාණය මිලිග්‍රෑම් 200ක් හෝ සමහර විටෙක ඊටත් වඩා බොහෝ සෙයින් අඩු වෙනවා. මේ හේතුවෙන් ශරීරයට එක්කාසු වන කැලරි ප්‍රමාණය සීනි යොදාගත්තාට වඩා බොහෝ සෙයින් අඩු වෙනවා. ග්ලයිසීමික අගය සලකන කල්හි එම සංඝටකයේ ඉහළ ග්ලයිසීමික අගයක් තිබුණත් යොදන ප්‍රමාණය නොසැලකිය හැකි තරම් කුඩා නිසා දියවැඩියාව ඇතුළු වැඩි සීනි හේතුවෙන් ඇතිවන රෝගාබාධ රාශියක් ඇතිවීම ඒ මගින් වළකනවා.

කෘත්‍රීම පැණිරසකාරකවල වාසි හා අවාසි යන දෙකම තිබෙනවා. සුක්‍රෝස් වෙනුවට ඊට වඩා බොහෝ සෙයින් ප්‍රබල කෘත්‍රීම පැණිරසකාරකයක් යොදාගත් විට යම් ආකාරයක සමස්ත කැලරි ප්‍රමාණය අඩුවන නිසා අධික ස්ථුලතාවය පාලනය වෙනවා. මේ හේතුවෙන් ඒ හා සබැඳි ලෙඩරෝග ගණනාවක් වැළඳීමට ඇති හැකියාව අඩු වෙනවා. මීට අමතරව ශරීරයේ හැඩය පවත්වාගන්නට ආහාර පාලනය කරන අයට සීනි වෙනුවට කෘත්‍රීම පැණිරසකාරක යොදාගෙන සාදන ලද ආහාර ගැනීමෙන් සිය ශරීරයේ හැඩය පවත්වාගෙන යාමට වඩා පහසු වෙනවා.

කෘත්‍රීම පැණිරසකාරකවල අවාසි

සීනි වෙනුවට කෘත්‍රීම පැණිරසකාරක යොදාගැනීමේ අවාසි රාශියක් ද තිබෙනවා. මේ නිසා යමෙක් සුක්‍රෝස් සීනි වෙනුවට මේවා භාවිත කරන විට ඉවක් බවක් නොමැතිව භාවිත නොකිරීමට වගබලාගත යුතුයි.

සීනි වෙනුවට කෘත්‍රීම රසකාරක භාවිත කරන බොහෝ අවස්ථාවල 100%ක්ම සුක්‍රෝස් සීනිවලින් ලැබෙන පැණි රස ‘ප්‍රභේදයම’ ලබාගත නොහැකියි. සමහර පැණිරසකාරකවල එම රසයත් සමඟ අඩුවැඩි වශයෙන් තවත් රස අඩංගු වී තිබිය හැකියි. මේ නිසා දිවට යම් නුහුරු බවක් ඇතිවීම සිදුවෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ සමහර විටෙක වැඩි ආහාර හෝ පාන ප්‍රමාණයක් ගිල දැමීමට සිතීමයි.

සම්පූර්ණයෙන්ම විද්‍යාගාර තුළ කෘත්‍රීම සංඝටක යොදාගෙන සාදන කෘත්‍රීම පැණිරසකාරක සම්බන්ධ බරපතළම කාරණයක් වන්නේ ඒවා සමහරක් ශරීරයෙන් සම්පූර්ණයෙන් පිට නොවීමයි. මේවායේ අඩංගු සමහර සංඝටක අර්ධ වශයෙන් ජීර්ණය වන අතර ඒවා යම් යම් රසායනික විපර්යාසයන්ට ලක් වී ශරීරය තුළ රැඳෙනවා. මේවායින් පිළිකා ඇතුළු රෝගාබාධ කිහිපයක්ම වැළඳීමේ සම්භාවිතාවක් සෛද්ධාන්තිකව පවතිනවා. කෙසේ නමුත් මේ කිසිවක් නිසියාකාරවම විද්‍යාත්මකව තහවුරු කර නැති අතර අද වන විටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කෙරෙනවා. කෙසේ නමුත් තවත් මතයක් වන්නේ ඒවා ශරීරගත වන්නේ ඉතා සුළු ප්‍රමාණවලින් නිසා මිනිසෙකුගේ ජීවිත කාලය තුළ ශරීරයට හානි කළ හැකි තරම් රසායනික සංඝටක ප්‍රමාණයක් ඉන් ශරීරගත නොවන බවයි. මේ නිසා අසාත්මිකතා වැනි හඳුනාගත් ක්ෂණික සෞඛ්‍ය ගැටලු නොමැති කෘත්‍රීම පැණිරසකාරක සුළු ප්‍රමාණයෙන් භාවිත කිරීම අනතුරුදායක යැයි වෛද්‍යවරුන් පවසන්නේ නැහැ. සුක්‍රෝස් සීනි නිතර භාවිතය ඊට වඩා තහවුරු කරන ලද සෞඛ්‍ය ගැටලු ගෙන දෙනවා.

පැණි රස ආහාර සීමාකිරීම නුවණට හුරුයි

ඉහත කාරණාවලින් පෙනී යන්නේ සුක්‍රෝස් සීනි මෙන්ම කෘත්‍රීම පැණිරසකාරක ද පමණ ඉක්මවා භාවිත කිරීම සෞඛ්‍ය ගැටලුවලට අතවැනීමක් බවයි. යම් යම් විවාද තිබුණ ද සෞඛ්‍ය සංගම් මගින් අනුමත කරන ලද පැණිරසකාරක යොදාගෙන පමණට ආහාර හා පාන වර්ග භාවිත කිරීම සුක්‍රෝස් සීනි භාවිත කිරීමට වඩා අඩුවෙන් ගැටලු ගෙන දෙන බව පැවසිය හැකියි. ඒ ඒවා සැලකිය යුතු තරම් සුළු ප්‍රමාණයක් භාවිත වන නිසායි.

අපේ පැරැණ්නන් ආහාර රසවත් කිරීමට හකුරු, මී පැණි වැනි ස්වභාවික පැණිරසකාරක යොදා ගත්තා. ඒවායේ ග්ලයිසීමික් අගය සුක්‍රෝස් සීනිවලට වඩා අඩුවන අතර ගැටලුවක් ඇත්තේ වැඩි ප්‍රමාණයක් යොදාගැනීමට සිදුවීම හා ඒ හා සබැඳි වැඩි කැලරි ප්‍රමාණය මත පමණයි. මේවා භාවිතය ඉහත කී දෙවර්ගයටම වඩා සුදුසු වුවත් මේ නිසා ඒවා භාවිතය ද සීමාවකට යටත්ව කළ යුතු වෙනවා. අවසානයේ තහවුරු වන කරුණ වන්නේ කුමන ප්‍රභවය මත පදනම්ව හෝ වේවා පැණි රස ජනනය කරන ආහාර සීමාවකට යටත්ව ගත යුතු බවයි.

  • Nutritional aid
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00