2019 ජුනි 22 වන සෙනසුරාදා

ඇඟ පුරා ලෙඩ හදන රුමොටොයිට් ආතරයිටීස්

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 682

ශරීරය විසින්ම ශරීරයේ සමහර කොටස්වලට විරුද්ධව ක්‍රියා කරනු ලබන ප්‍රතිදේහ නිපදවීම නිසා ඇතිවන බොහෝ රෝග ඇත. මේවා අපි ස්වයං ප්‍රතිශක්ති රෝග (Autoimmune Diseases) ලෙස හඳුන්වන්නෙමු. රුමොටොයිඩ් ආතරයිටීස් රෝගයද එවන් තත්ත්වයකි.

මෙය ලොකු කුඩා කා හට වුවද වැළඳිය හැකි රෝගයක් වන අතර, මැදි වයසේදී රෝගයේ පටන්ගැනීම බොහෝවිට සිදුවේ.

සන්ධිවලට පමණක් නොව ශරීරයේ සෑම අවයවයකටම පාහේ රුමටොයිඩ් රෝග තත්ත්වය බලපායි. මෙම රෝගය ඇතිවීමට හේතුව තවම නිශ්චිතව සොයාගෙන නැත. මෙය පරම්පරාවෙන් පරම්පරාවට යා හැකි රෝගයක් වන අතර කාන්තාවන් අතර බහුලය. දුම්පානය කිරීම ද රෝගයට හේතුවක් බව සොයාගෙන ඇත.

මෙම රෝගයේ තීව්‍රතාවය විවිධාකාරය. සමහරකුට රෝගය එක් වරක් පමණක් වැළඳේ. තවත් අයකුට එය නිට්ඨාවට සුව නොවන අතර, රෝගය උත්සන්න වන්නේ ඉතා සෙමිනි. තවත් සමහරකුට රැමොටොයිඩ් ආතරයිටීස් රෝගය ඉතා ශීඝ්‍ර ලෙස ශාරීරික දුබලතා ඇති කරයි.

සන්ධි විශාල ලෙස විනාශ වීම හා විකෘති වීම නිසා සමහර රෝගීන්ට එදිනෙදා කටයුතු කරගෙන යාමට නොහැකිව ඇඳටම පමණක් සීමාවීමට සිදුවේ.

රුමොටොයිඩ් සන්ධි ප්‍රදාහයේදී බොහෝවිට ශරීරයේ වම් සහ දකුණු පැත්තේ අත්වල හා පාදවල එකම ආකාරයේ විකෘති ඇතිවේ. සිරුරේ මධ්‍යම හා විශාල ප්‍රමාණයේ සන්ධිවලටද හානි ඇතිවේ. බොහෝවිට උදය වරුවේ සන්ධි දිග නොහැරිය ලෙස තදවී පැය කිහිපයක් තිබීම මෙම රෝගයේ විශේෂ ලක්ෂණයකි. රුමොටොයිඩ් තත්ත්වය සිරැරේ සන්ධිවලට හා සන්ධි ආශ්‍රිත පටක පමණක් නොව, සියලුම අවයවවලට ද බලපායි.

හෘදය හා රුධිරවාහිනී පද්ධතියට හානි පැමිණීමෙන් විවිධ රෝග තත්ත්ව ඇතිවේ. එමෙන්ම පෙනහළු තුළට දියර පිරීම, පෙනහළුවල කුහර සෑදීම, පෙනහළු නරක්වීම වැනි රෝගද ඇතිවේ.

ආහාර මාර්ග පද්ධතිය, මොළය සුෂුම්නාව හා අනෙකුත් ස්නායු පද්ධතියේ කොටස්වලටද, වකුගඩු හා ඇස් වැනි ඉන්ද්‍රියවලටද භයානක අතුරු ආබාධ ඇති කරයි. විවිධ හේතු රාශියක් නිසා මෙම රෝගීන්ට ලේ හිඟකම හෙවත් රක්තහීනතාවයද ඇතිවේ. ශරීරයේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව (ප්‍රතිශක්තිය) හීන වී විවිධ ආසාදන ද ඇති කරයි.

පරීක්ෂණ

රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ, එක්ස් කිරණ පරීක්ෂණ CT, MRI සහ ස්නායු පරීක්ෂණ වැනි බොහෝ පරීක්ෂණ මෙම රෝග විනිශ්චය කිරීම සඳහා කරනු ලැබේ.

රෝගය නිර්ණය කිරීම

රෝගය ස්ථීරව හඳුනාගැනීම සඳහා රෝග ඉතිහාසය, රෝග ලක්ෂණ හා පරීක්ෂණ වාර්තා පදනම් කරගත් ලොවම පිළිගත් ක්‍රමයක් ඇත. ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ප්‍රධාන සාධක (Major criteria) සහ අනු ප්‍රධාන සාධක (Minor criteria) රෝග නිර්ණයේදී භාවිත කරයි.

ප්‍රතිකාර

ප්‍රතිකාර කිරීමෙන් පසු 25෴ක් පමණ රෝගීන් සම්පූර්ණයෙන්ම සුවපත් වෙයි. නමුත් බොහෝ රෝගීන්ට ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ගත යුතු වේ.

සන්ධිවල වේදනාව හා ප්‍රදාහය අඩුකිරීමට විශේෂිත ඖෂධ ඇති අතර, සන්ධිවලට හානි වී විකෘති ඇතිවීම ප්‍රමාද කිරීමට විශේෂිත ඖෂධ කණ්ඩායමක් ඇත. ඒවා ගැනීම හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු වේ. මෙම රෝගීනට රෝගය නිසා හා ප්‍රතිකාර නිසාද සංකූලතා ඇතිවිය හැක. ඒවා ගැන අවධානයෙන් සිට ඉක්මනින් සොයා බලා ප්‍රතිකාර කළ යුතුය.

රෝගීන්ට තමන්ගේ එදිනෙදා කටයුතු හොඳින් කර ගැනීමට පහසු කරලීම පිණිස ව්‍යායාම හා පුහුණු කිරීම් අධීක්ෂණයක් යටතේ කළ යුතුව ඇත. සමහරවිට රැකියා ස්ථානයේ හා නිවෙසේ, රෝගියාට පහසු වන ලෙස යම් යම් වෙනස් කිරීම්ද කළ යුතුය. මෙය පරම්පරාවෙන් පරම්පරාවටද යා හැකි රෝගයක් නිසා පවුලේ අන් අයද පරීක්ෂා කිරීම වැදගත් වේ.

රෝගියාගේ විකෘති හා අපහසුතා අවම කිරීම සඳහා විවිධ ශල්‍යකර්මද, සමහරවිට කිරීමට සිදුවේ.

රුමොටොයිඩ් ආතරයිටීස් රෝගීන් මිතුරු සමාජ පිහිටුවා ගැනීමෙන් රොගීනට තම තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමටත් මානසික අස්වැසිල්ලක් ලබාගැනීමටත් මහත් සේ උපකාරී වේ.

බැක්ටීරියා හා වෛරස ආසාදන හේතුකොටගෙන ඇතිවන සන්ධි ප්‍රදාහ

බොහෝ වෛරස හා බැක්ටීරියාවලට ශරීරය දක්වන ප්‍රතික්‍රියා හේතුකරගෙනද සන්ධි ප්‍රදාහ ඇතිවේ. මෙවන් සන්ධි ප්‍රදාහ බොහොමයක් පවතින්නේ ඉතා සුළු කාලයක් වන අතර සන්ධිවලටද සැලකිය යුතු හානියක් සිදු නොකරයි. නමුත් බැක්ටීරියා කෙළින්ම සන්ධිය තුළට ඇතුළු වී සිදුවන්නා වූ ආසාදන (septic arthritis) වහාම ප්‍රතිකාර කළ යුතු භයානක තත්ත්වයකි.

මෙලෙස ඇතිවන්නා වූ සන්ධි ප්‍රදාහ වර්ග රාශියක් ඇත. ඉන් රූමටික උණ (Rheumatic arthritis) හා චිකන්ගුන්යා (Chicken Gunya) විශේෂ තැනක් ගනී. රෑමටික උණ ඇතිවන්නේ ‘ස්ට්‍රෙප්ටොකොකුස්’ නමැති බැක්ටීරියා වර්ගයට දක්වන ප්‍රතික්‍රියාවක් වශයෙනි. මෙම රෝගය නිසා සන්ධි ප්‍රදාහය ඇතිවුවද සන්ධිවලට දිගුකාලීනව හානි ඇති නෙවේ.

මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ එය හෘදය වස්තුවට හා මොළය වැනි ප්‍රධාන අවයවවලට හානි පමුණුවන නිසාය. භයානක සංකූලතා ඇතිවීමට පෙර, මෙම රෝගයට ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය වේ.

මෑතකදී ලංකාවේ ඇතිවූ ‘චිකන් ගුන්යා^ වෛරස ආසාදනය නිසා සන්ධි ප්‍රදාහය බහුලව ඇතිවේ. මෙම සන්ධි ප්‍රදාහය සති කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් පැවතිය හැක. මේ නිසා රෝගීන් බොහෝ පීඩාවට පත්වේ. මේ සඳහා සමහර රෝගීන්ට දිගුකාලීනව ප්‍රදාහ නාශක ඖෂධ ගැනීමට සිදුව තිබේ.

ඉහත සඳහන් ප්‍රධාන සන්ධි ප්‍රදාහ තත්ත්වයනට අමතරව තවත් ආතරයිටීස් ඇතිකරන්නා වූ බොහෝ රෝග ඇත.

පොතු කබර රෝගීන්ට ඇතිවන සන්ධි ප්‍රදාහය - (psoriatic arthritis)

බහුලව තරුණ වයසේ පුද්ගලයන්ට වැළඳෙන සන්ධි ප්‍රදාහය. හෘදයට, ඇස්වලට හා කශේරුකාවලට මෙයින් බලපෑම් ඇතිවේ. (Ankylosing spondylitis)

පසු ආසාදිත සන්ධි ප්‍රදාහය (Reactive arthritis) වෛරස් ආසාදනයකට පසු ඇතිවේ.

ආන්ත්‍රික ප්‍රදාහ (Inflammatory bowel disease) නිසා ඇතිවන සන්ධි ප්‍රදාහ.

Gout යුරික් ඇසැඩ් සන්ධි මත තැන්පත් වීමෙන් ඇතිවේ. වකුගඩුවලටද හානි පැමිණිය හැක.

Septic arthritis - සන්ධිවලට විෂබීජ ඇතුළු වීමෙන් සිදුවේ.

TB arthritis - ක්ෂය රෝග විෂබීජ සන්ධිවලට ඇතුළු වීමෙන් ඇතිවේ.

► වෛද්‍ය සුමුදු බණ්ඩාරනායක
කායික රෝග විශේෂඥ - රජයේ මූලික රෝහල
, කුලියාපිටිය

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00