2019 ජුනි 15 වන සෙනසුරාදා

දරුවන්ට ගුණ ආහාර

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 6613

අමතර ආහාර හඳුන්වාදෙන විට ආරම්භයේදී එය හොඳින්ම මත් ගාගත් බත් තලපයට දොවාගත් මව්කිරි ස්වල්පයක් එකතු කර කවන්න. අනතුරුව මව්කිරි ලබාදිය හැක. ආහාර දීම ආරම්භයේදී එය ඝන තත්ත්වයේ දිය යුතුයි. එවිට වැඩිපුර ශක්තිය හා  පෝෂණය ලබාගත හැකි අතර එය කුඩා ප්‍රමාණයක් දීම තුළින් දරුවාගේ ජීර්ණය පහසු කරයි. ආහාර  මුලින්ම  තේ හැඳි 2 - 3 ප්‍රමාණයෙන් ආරම්භ කර ක්‍රමයෙන් එය ප්‍රමාණයෙන් හා වාර ගණන වැඩිකර ගත හැක. එහෙත් දරුවාට අවශ්‍ය ප්‍රධාන වේල් 2ක්වත් ආරම්භයේ සිට දිය යුතුයි. ආහාර දීමේ වාර ගණන තීරණය වන්නේ ආහාරයේ ශක්ති ප්‍රමාණය හා එකවර ලබාගත හැකි ප්‍රමාණය මතයි.

සාමාන්‍යයෙන් මුල් ආහාරයට තේ හැඳි එකක් දෙකක් පමණ පොල්තෙල් හෝ එළවළු තෙල් එකතු කිරීම මගින් ආහාරයෙහි ශක්ති සාන්ද්‍රණය වැඩිකරගත හැකිය. නියමිත වෙලාව තුළ අමතර ආහාර ගැනීමට පුරුදු පුහුණු විය යුතුය. විශේෂයෙන්ම එය පවුලේ අය ආහාර ලබාගන්නා අවස්ථාව වීම සුදුසුය.

අමතර ආහාරවල පෝෂ්‍ය ගුණය ගැන සැමවිටම දෙමාපියන් සැලකිලිමත් විය යුතුය. එම නිසා ආහාර විවිධ වර්ගවලින් යුක්ත විය යුතුය. සාමාන්‍යයෙන් අප පරිභෝජනය කරන ආහාරය කාණ්ඩ හයකට වෙන්කර ඇත. (1.ධාන්‍ය, අල, බතල 2. මාළු, මස්, බිත්තර, පියලි, ඇට වර්ග 3. එළවළු 4. පලතුරු 5. කිරි හා කිරි ආහාර 6. තෙල් බහුල ඇට වර්ග) මෙම සෑම කාණ්ඩයක්ම දිනක් තුළ ලබාදීමට වගබලාගත යුතුයි. සෑමවිටම නොයෙක් වර්ගයේ ආහාර සැපයීම මගින් සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම දිය හැකියි. නමුත් වරකට එක් අලුත් ආහාරයක් පමණක් හඳුන්වා දිය යුතු අතර දින තුන හතරක් පවත්වාගෙන යාමෙන් පසුව ගැටලුවක්, නැතහොත් තවත් ආහාරයක් හඳුන්වාදිය යුතුයි. එවිට දරුවා නව ආහාරයට පුරුද්දක් ලබාගන්නා අතර එහි රසයට හා ස්වභාවයට අනුගතවන අතර කලක් යනතුරු එම ආහාරවලට ඇති ආසාත්මිකතාවය හඳුනාගැනීමට උපකාර වනු ඇත. කෑමට ඇතිවන ආසාත්මිකතාව කුඩා වයසේදී විවිධ ස්වරූපයෙන් මතුවිය හැක. එය සමහරවිට අධිකව ඇඬීම හා පලු ඇතිවීම, වමනය, බඩේ කැක්කුම, බඩ බුරුල්ව යාම හා හතිය ලෙස පිළිබිඹු විය හැක.

විශේෂයෙන් යකඩ අඩංගු ආහාර හැකි ඉක්මනින් දරුවාට ලැබිය යුතුය. (මාස 7 ඇරඹීමේදී) විශේෂයෙන්ම යකඩ අඩංගු ආහාර ලෙස මාළු, හාල්මැස්සෝ, කුකුල් මස් හා මස් වර්ග, පීකුදු අක්මාව හැඳින්විය හැක. නමුත් මස් හෝ මාළු නොදෙනෙන පවුලක දරුවෙකුට යකඩ බහුල ආහාර ලෙස ගොටුකොළ, සාරණ, තම්පලා, සෝයා, කවුපි, පරිප්පු එකතු කළ හැකියි. යකඩ උරාගැනීමේ හැකියාව වැඩිකිරීම සඳහා විටමින් සී අඩංගු ආහාර, දෙහි, දොඩම් හා ගස්ලබු වැනි ආහාර කෑමවේලට එකතු කළ හැකිය. ධාන්‍යවල අඩංගු යකඩ ලබාගැනීම කාර්යක්ෂම කිරීම පෙඟවීමෙන්, පැළ කිරීමෙන් හෝ ප්‍රරෝහණය කර සකස් කිරීම තුළින් කළ හැක. විටමින් ඒ අඩංගු ආහාර ලෙස පීකුදු, වට්ටක්කා, කැරට්, කහ, බතල, ගස්ලබු, අඹ, පලා වර්ග හැඳින්විය හැකි අතර එම ආහාර වර්ග ආහාරයට අඩංගු කළ යුතුයි. බිත්තර හොඳින් තම්බා කහමදය දරුවා මාස 7ට අඩු වූ විට ලබාදිය හැකි අතර සුදුමදය මාස 9 සම්පූර්ණ වූ පසු දිය හැක. බිත්තර යනු සාපේක්ෂව මිල අඩු හොඳ තත්ත්වයේ ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසා දිනපතා ලබාදිය හැකිය.

අමතර ආහාරවේලට මේදය එකතු කිරීමේදී පොල්තෙල් හෝ පොල්කිරි තේ හැඳි එකක් දෙකක් එකතු කර ආහාරය පිසගත හැකිය. මීට අමතරව මාගරීන්, බටර් ආහාරයට එකතු කළ හැකිය. පිසූ ආහාර එකතු කිරීම තුළින්ද වෙනසක් කළ හැකිය. මේදය ආහාරයට එකතු කිරීම රඳාපවතින්නේ දරුවාගේ බර සලකා බැලීම තුළින්ය. දරුවාගේ බර ප්‍රමාණවත් නොමැති විට, වැඩිපුර මේදය අවශ්‍ය වන විට වැඩිපුර මේදය ආහාරයට  එකතු කිරීමට සැලකිය යුතුය. මේදය එකතු කිරීම තුළින් ආහාරය වඩාත් රසවත් වී දරුවා එය පහසුවෙන් ගැනීමට පෙළඹේ. කිරි ආහාර වශයෙන් මුදවපු කිරි, යෝගට් ආදිය කෙටි ආහාරයක් ලෙස ලබාදිය හැක. එහෙත් කිසිමවිටක ආහාරවලට සීනි හෝ ලුණු එකතු නොකළ යුතුයි. මාස 8  පසු වූ විට බ්ලෙන්ඩරය භාවිත කිරීමෙන් වළකින්න.  දරුවාගේ වර්ධනය හීනවීමක් නිරීක්ෂණය කළ විට ශක්තිජනක ආහාර, බිස්කට්, පාන්, බටර්, මාජරීන් කෙටි ආහාර ලෙස එකතු කළ යුතු අතර එක වරකට දෙන ආහාර ප්‍රමාණය වැඩි කළ යුතුය.

මව හෝ වැඩිහිටියෙකු දරුවාට ආහාර කැවීම කළ යුත්තේ මාස 9 හෝ නවයක් වනතුරු පමණි. ඉන් පසු දරුවා අතින් අල්ලා කන ආහාර ඔහුට ගැනීමට ඉඩ සැලසිය යුතුය. දරුවා වැඩීමේදී තනිව ආහාර ගැනීමට උනන්දු කළ යුතු අතර ඊට උදව් කළ යුතුය. දරුවෙක් අවුරුදු දෙක වන විට උදවු නොමැතිව තනිව ආහාර ගැනීමට පුරුදු විය යුතුය. දරුවා ආහාර ගැනීම ඉගෙන ගත යුතුය. එම නිසා ඉවසිල්ලෙන් හා උනන්දුවෙන් ආහාර දිය යුතුය. විශේෂයෙන් ආහාර දීමේදී බඩගිනි ඇතිවිට දක්වන ලක්ෂණ හඳුනාගෙන ආහාර දිය යුතු වන අතර බලෙන් ආහාර දීම නොකළ යුතුය. දරුවාට ආහාර අතපත ගෑමට ඉඩදිය යුතු අතර අත සෝදා පිරිසිදු ආහාර දීමද කළ යුතුය. ආහාර දීමේ කාලය තුළ ආදරය ප්‍රකාශ කිරීම හා ඉගැන්වීමට අවස්ථාවක් කරගැනීම ඉතා වැදගත් වේ. සෑමවිටම දරුවා සමඟ කතා කරමින්, ආදරය හා කරුණාව දක්වමින් ආහාර දිය යුතුය. දරුවා දෙස ඇසට ඇස බලා (eye contact) ආහාර ලබාදීම සිදුකරන්න. ආහාර ප්‍රතික්ෂේප කරන්නේ නම් ආහාර වෙනස් ආකාරයට සකස්කරදීම විධිමත් කරන්න. වෙනස් ආහාර එකතු කර රසය වෙනස් කර, ස්වරූපය වෙනස් කර දීම කරන්න.

විශේෂයෙන්ම ආහාර ගන්නා විට දරුවාගේ අවධානය වෙනතකට යොමු නොකරන්න. ආහාර දීමට විශේෂ වූ තැනක් පුරුදු කර ක්‍රමයෙන් පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ ආහාර ගැනීමට දරුවා පෙළඹවිය යුතුයි. එය දරුවාට අලුත් අත්දැකීමක් හා පුරුද්දක් වන අතර එය ඔහු ආහාර ගැනීම උනන්දු කිරීමක් වනු ඇත.

කෑම සකස් කිරීමේදී කරුණු කිහිපයක් ගැන සැලකිලිමත් විය යුතුයි. සනීපාරක්ෂකව හා නිවැරදි ආහාර පරිහරණය කිරීම. කෑම බීම සකස් කිරීමට පෙර දෑත් හොඳින් සබන් ගා පිරිසිදු විය යුතු අතර දරුවාගේ දෑත් ද හොඳින් පිරිසිදු කළ යුතුය. කෑම සෑමවිටම හොඳින් ආවරණය කොට තැබිය යුතුය. කෑම පිසූ විගසම ලබාදිය යුතුය. කෑම/ දියර ලබාදීම සඳහා බෝතල් භාවිත නොකළ යුතුයි.

අමතර ආහාර දීමේදී ආහාරයේ සාන්ද්‍රණය හා උකු බව ගැන සැලකිලිමත් විය යුතුයි. ආහාරය හොඳින් පිසූ මෘදු ගතියෙන් යුක්ත විය යුතුය. එය මව්කිරි සමඟ මිශ්‍ර කර දිය යුතුයි. මාස 7 වන විට කැබලි හැපෙන සේ සකස් කළ ආහාර දිය යුතුයි. මාස අට නවය වන විට අතින් අල්ලා කන කෑම ලබාදිය යුතුයි. ඉන් පසු කෝප්පය හා හැන්ද භාවිතා කර ආහාර දිය යුතුයි. වසරක් පමණ වන විට පවුලේ අනෙක් සාමාජිකයන් සමඟ ආහාර ගන්නා මට්ටමට පැමිණිය යුතුයි.

මොනවාද හොඳ ආහාර?

♦ ශක්තිය හා ඛණිජ ලවන සහිත ආහාර

♦ පිරිසිදු හා ආරක්ෂක ආහාර

♦ රසකාරක, සීනි, ලුණු නොමැති ආහාර

♦ දිරවීමට පහසු ආහාර

♦ දරුවාට ප්‍රිය ආහාර

♦ පහසුවෙන් සොයාගත හැකි හා මිල දරාගත හැකි ආහාර

♦ සෑදීමට පහසු ආහාර

මාස 6 සිට අවුරුදු 2 වන කාල පරිච්ඡේදයේදී දරුවන්ගේ ආහාර ගැනීමේ රටාව දරැවා කායික හා ස්නායු වර්ධනය සමඟ දියුණු වේ. ඒ අනුව මාස 5-7 ත් කාලයේදී දරුවකුට කෑමට හැන්දක් ලබාදිය හැක. මාස 8 වන විට නම්‍යතා වැඩිවීමත්, තනිවම ඉඳගැනීමට හැකිවීමත් නිසා ආහාර මනාව පරිහරණයක් කර ගිලීමට හැකියාව ලැබේ. එවිට ඝන ආහාර ගුලි වශයෙන් ලබාගැනීමට හැකියාව ඇත. මාස 10 වන විට දරුවාට හැපීමේ හැකියාව ලැබේ. එම නිසා සමහර කුඩා කැබලි බවට පත් කර ඝන ආහාර ලෙස ගැනීමේ හැකියාව ලැබේ. මෙම කාලය තුළ කුඩා ආහාර කැබලි අහුලා තමන්ම කෑමට (Self-Feeding) පුරුදු වෙයි. දරුවාට අවුරුදු 1 වන විට ආහාර ඇඟිල්ලෙන් අල්ලාගෙන කෑමටත් හැම වර්ගයකම කෑම ආහාරයට ගැනීමටත් කෝප්පයකින් බීමටත් තනිව අත් දෙකෙන් අල්ලා බීමටත් හැකියාව ලැබේ. මේ අතින් ආහාර ගැනීම දෙවන අවුරුද්ද තුළදී මැනවින් වර්ධනය වන අතර අවුරුදු දෙකක් වන විට ආහාර හා ආහාර නොවන දේවල් වෙන්කර හඳුනාගැනීමේ බුද්ධිය වර්ධනය වේ.

දරුවකු රෝගී වූ විට කෑම රුචිය අඩු විය හැකිය. එහෙත් ඉක්මන් සුවය සඳහා වෙනදාටත් වඩා වැඩි ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වේ. එම නිසා පෝෂ්‍ය ගුණයෙන් වැඩි  ආහාර කුඩා ප්‍රමාණයෙන් වැඩි වාර ගණනක් ලබාදිය යුතුය. රෝගය සුව වී සති දෙකක් පමණවත් යනතුරැ වැඩිපුර එක් ආහාරවේලක්වත් දිය යුතුය. දරුවාගේ බර අඩාල වී ඇතිනම් මෙම වැඩිපුර ආහාරවේල දරුවාගේ බර වැඩි වී මාස 6 යනතුරුවත් ලබාදිය යුතුය.

► ළමා රෝග විශේෂඥ
වෛද්‍ය චින්තක රාජපක්ෂ