2019 ජුනි 08 වන සෙනසුරාදා

පිරිමි බය කරන බෙලහීනතාව - දෙවැනි කොටස

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 1546

පිරිමින්ගේ ඇතිවන ලිංගික අප්‍රාණිකත්වය හෙවත් ලිංගික කාර්යයේදී ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් කර ගැනීමට ඇති නොහැකියාව හෝ ප්‍රාණවත් වූ ශිෂ්ණය ලිංගික කාර්ය අවසාන වන තෙක් පවත්වා ගැනීමට ඇති නොහැකිව ලිංගික බෙලහීනතාවය (Erectile Impotence) ලෙස පසුගිය සතියේ අපගේ ලිපියෙන් හඳුනා ගත්තෙමු. මෙයට බලපාන ශාරීරික හා මානසික හේතු පිළිබඳවත් යම්තාක් දුරට එම ලිපියෙන් විග්‍රහ කළෙමු. ලිංගික බෙලහීනතාවය වටා අපගේ ආකල්ප, විශ්වාස සහ පරිසරාත්මක සාධක බොහොමයක් ඇති බව දැනටමත් අවබෝධ වී ඇත. ලිංගික බෙලහීනතාවයට කෝකටත් තෛලයක් ලෙස ‘ව්‍යාඝ්‍රා’ (Sildenafil) පෙති ගිලීමේ මිත්‍යාවද පළමු ලිපියෙන් යම්තාක් දුරට විස්තර කළෙමු. අපි අද ලිපියෙන් තවදුරටත් ගැඹුරෙන් ලිංගික බෙලහීනතාවය පිළිබඳ කරුණු විමසා බලමු.

සාර්ථක ලිංගිකත්වයකට නිවැරදි ආකල්ප වර්ධනය කුඩා කල සිටම සිදුවිය යුතුය. සමහර වැරදි ආකල්ප අපගේ මනසට කුඩා අවදියේම ඇතුළුවීම ලිංගිකත්වයට බාධාවකි. නිවැරදි ආකල්ප දරුවා තුළ වර්ධනය කිරීම දෙමාපියන්ගේ රාජකාරියකි. ලිංගිකත්වය පිළිබඳ කරුණු දරුවාගේ මනසට කුඩා අවධියේ සිටම ක්‍රමක්‍රමයෙන් ඇතුළු වේ. ඒවා වැරදි ලෙස දැකීම දරුවාගේ ආකල්ප වර්ධනයට විශාල බාධාවකි. මෙය පහත කතාවලින් අවබෝධ කර ගනිමු.

පසන්ගේ කතාව

පසන්ගේ වයස අවුරුදු 20යි. ඔහු ගණකාධිකාරීවරයකු වීමට වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටී. පසන් සමඟ නිමේෂා ප්‍රේමයෙන් බැඳී දැනට අවුරුදු 2කි. දෙදෙනා අතර ලිංගික සබඳතාවයක්ද පැවතුණි. නමුත් පසන්ට තිබූ ගැටලුව වූයේ නිමේෂා සමඟ ලිංගික සංසර්ගයට යාමේදී ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් නොවීමයි. ඔහුගේ ගැටලුව මෙසේ ඔහු ඉදිරිපත් කළේය.

“මම නිමේෂාට ආදරෙයි. අපි දෙන්නා අතර වෙන කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඇය සමඟ ලිංගික සංසර්ගයේ යෙදෙන විට විනාඩි දෙකක්වත් යාමට පෙර ශිෂ්ණයේ ප්‍රාණවත් වීම නැති වෙනවා. මට මේක ලොකු ගැටලුවක්. මට එකපාරටම හිතෙනවා මෙහෙම නිමේෂාත් එක්ක එකතුවෙන එක වැරදියි කියලා. නිමේෂාගෙ නිරුවත දකින විට ක්ෂණිකව මම කලබල වෙනවා. දැඩි ආශාවක් සමඟ බයක් දැනෙනවා.” අපි තවදුරටත් පසන්ගේ ළමා කාලය පිළිබඳව විමසා බැලුවේය.

“එතකොට මගෙ වයස අවුරුදු 10ක් විතර ඇති. අම්මා නානකොට, ඇඳුම් මාරු කරනකොට ඇය දිහා බලන් ඉන්න මම හරි ආසයි. මම මෙහෙම බලන් ඉන්නවා කියලා මට ගහපු වාර ගණන අනන්තයි. ඉන් පස්සෙ මට කාන්තාවකගෙ ඇඳුම් නැති පින්තූරයක් දැක්කත් අමුතුම බයක් එනවා.”

පසන්ගේ භීතිය සහ ලිංගික අප්‍රාණිකත්වයට හේතුව අම්මා විසින් දරුවා තුළ ලිංගිකත්වය පිළිබඳ ඇතිකර තිබෙන භීතියයි. මනෝ විශේෂඥයන්ට අනුව කුඩා දරුවකුට ඔහුට හෝ ඇයට ඇතිවන කුතුහලය නිසා දෙමාපියන්ගේ නිරුවත දැකීමට යම් ආකාරයක ආශාවක් ඇතිවේ. එසේ දැකීම දරුවාගේ මනසට කිසිම හානියක් ඇති නොකරයි. මෙය කුතුලය අවම කර ලිංගිකත්වය පිළිබඳ නිවැරදි ආකල්ප ඇති කිරීමට ඉවහල් වේ.

රශ්මිගේ කතාව

රශ්මිගේ වයස අවුරුදු 25යි. රශ්මි විවාහ වී වසර දෙකකි. සුනිමල්ට තිබූ ගැටලුව නම් තම බිරිඳ සමඟ එකතු වීමේදී ලිංගික කාර්යයේ නිසි ලෙස යෙදීමට අවශ්‍ය තරම් ශිෂ්ණයේ ප්‍රාණවත් වීම නැති වීමයි. සුනිමල් ඔහුගේ කතාව මෙහෙම කීවේය.

“මම මගේ බිරිඳට හරිම ආදරෙයි. ඒත් මට ඇය සමඟ ලිංගිකව එකතුවන විට අමුතුම බයක් සහ ලජ්ජාවක් දැනෙනවා. ලිංගික සංසර්ගයේදී ඇය මාව හරිම ඕනකමකින් උත්තේජ කරනවා. ඒත් sex කරන්න තරම් අවශ්‍ය තරමට මගේ ශිෂ්ණය ශක්තිමත් වෙන්නෙ නැහැ. ශුක්‍රාණු පිට කරන්නෙත් හරිම අමාරුවෙන්.” අපි සුනිමල්ගෙන් ඔහුගේ ළමා කාලය පිළිබඳ තවදුරටත් කරුණු විමසුවෙමු. ඔහු මෙසේ කීවේය.

“එතකොට මගේ වයස අවුරුදු 12ක් විතර ඇති. උදේ නැගිටින විට මගේ ශිෂ්ණය ප්‍රාණවත් වෙලා තියෙනවා. ඉතින් සමහර දවසට මම අතින් පිරිමැද ස්වයං වින්දනය කරනවා. දවසක් මෙහෙම කරගෙන ඉන්න විට මගේ අම්මා කාමරේට ආවා. ඇය මේක දැකලා මට හොඳට බැන්නා. ඕවා කළාම ශරීරය සහ මනස දෙකම දුර්වල වෙනවා කියලා අම්මා කීවා. මට ලොකු බයක් වගේම ලජ්ජාවක් ඇතිවුණා. මම කරන්නෙ ලොකු වරදක් කියලා නිතරම මට හිතුණා. ඉතින් ඊට පස්සෙ මේ ගැන යාළුවන්ගෙනුත් ඇහැව්වා. හුඟක් යාළුවෝ කීවෙ ස්වයං වින්දනය කිරීමෙන් ධාතු පිටවීම නිසා ශරීරය දුර්වල වන බවයි. ඒ ඇතිවුණු බය මට තවම තිබෙනවා.”

පිරිමි දරුවකුගේ වයස අවුරුදු 10ක් 15ක් වගේ අතර ලිංගික ආශාවන් උද්දීපනය වෙනවා. මෙහිදී එම ආශාවන් සමඟ ප්‍රාණවත් වූ ශිෂ්ණය ඔවුන්ට අලුත් අත්දැකීමක් වන අතර එහිදී ස්වයං වින්දනයේ යෙදෙනවා. ද්විතීක ලිංගික ලක්ෂණ සමඟ හෝමෝනවල ඇතිවන වෙනස් වීමද සමඟ මෙම ආශාව සම්පූර්ණයෙන්ම ස්වාභාවික ආශාවක්. එය කිසිසේත්ම මනසට හෝ ශරීරයට හානිකර නෑ. ස්වයං වින්දනය පිළිබඳ වැරදි ආකල්ප සමාජය තුළ එමටයි. දෙමාපියන් මේ ගැන ප්‍රවේශමෙන් ක්‍රියා කළ යුතු වෙනවා.

අඹු සැමි සබඳතාවයකදී ඇතිවන සමහර මානසික ගැටලු පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකත්වයට තවත් ප්‍රබල හේතුවක්. ජීවත් වන පරිසරය සහ එහි වටා සිටින පුද්ගලයන් සාර්ථක ලිංගික ජීවිතයකට ඉවහල් වන සාධක බව බොහෝ දෙනා දන්නෙ නැහැ. මෙහි පහත එන මාධවගේ කතාව මීට කදිම නිදසුනකි.

මාධවගේ කතාව

මාධවගේ වයස අවුරුදු 35යි. ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන මාධව විවාහ වී දරුවන් දෙදෙනෙක් සිටිනවා. මාධව දිලිනි සමඟ අවුරුදු 5ක ආදර සම්බන්ධතාවයකින් පසු විවාහ වී තිබෙනවා. දැනට අවුරුදු 3ක් පමණ කාලයක් තුළදී බිරිඳ සමඟ එකතු වීමේදී ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් කර ගැනීමට නොහැකි බව අපට පැවසුවා. මාධව අපට මෙසේ පැවසීය.

“දැන් අවුරුදු 5ක් වෙනවා මම ඉන්නෙ බිරිඳගෙ ගෙදර. ඉස්සර අපි හිටියෙ මාතර අපේ ගෙදර. දරුවො දෙන්නා පාසලකට දාන්න ඕන නිසා කොළඹට ආවා. බිරිඳගෙ මහගෙදර තියෙන්නෙ කොට්ටාවෙ. අපි දැන් ඉන්නෙ කොට්ටාවෙ. මේ ගෙදර මහ අපායක්. මගේ බිරිඳගෙ තාත්තත් බේබද්දෙක්. මාමයි නැන්දම්මයි අතර හැම තිස්සෙම රණ්ඩු. අපිට කිසිම වැඩක් නිදහසේ කරන්න බැහැ. නැන්දම්මා හරිම නපුරුයි. හරිම කුහකයි. අපි දෙන්නා තනියම කාමරේ කතා කර කර හිටියත් එතනටත් ඇවිත් එබෙනවා. මේක මගේ මනසට හරිම පීඩනයක්. මගේ බිරිඳ ගැන එච්චර ආශාවක් දැන් ඇතිවෙන්නෙ නැහැ. ඇයත් මේ නැන්දම්මගෙ දුව කියල තමයි මට නිතරම හිතෙන්නෙ. ලිංගිකව එකතු වෙන්න ගියත් මට ලොකු ආදරයක් ආශාවක් ඇය ගැන ඇතිවෙන්නෙ නැහැ. එකතුවෙලා විනාඩි තුනක් හෝ හතරක් යන්නත් ප්‍රථමව ප්‍රාණවත් වීම නැතිවී යනවා.”

පිරිමින්ගේ ලිංගික බෙලහීනතාවයට දෙදෙනා අතර ඇති සම්බන්ධතාවය සහ ජීවත් වන පරිසරය ඉතා වැදගත් සාධකයක් බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. ආදරය ප්‍රේමය සහ ආශාව තනිව බෙදාගත හැකි සුසංයෝගයක් නොවේ. එකිනෙකා අතර බෙදාගෙන රසවිඳිය හැකි සම්බන්ධතාවයකි. මිනිසාට ජීවිතය විඳීමට සාමූහිකත්වයේ ඇති වැදගත්කම මෙම කතාවෙන් පැහැදිලි වේ.

පිරිමින්ගේ ලිංගික බෙලහීනතාවය පිළිබඳ තවත් විස්තර ඊළඟ ලිපියෙන්.

►කිරිබත්ගොඩ මූලික රෝහලේ
මානසික වෛද්‍ය
නයනානන්ද කුමාරනායක