2019 ජුනි 01 වන සෙනසුරාදා

පිරිමිකම නසන මහ ලෙඩේ

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 3162

පිරිමියෙකුට නිසි ලිංගික කාර්යයක යෙදීම සඳහා තම ශීෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් විය යුතුය. සමහර විට ප්‍රාණවත් කිරීමට ඇති අපහසුව, ප්‍රාණවත් වූ ශීෂ්ණය ලිංගික කාර්ය අවසාන වනතෙක් ඍජුව තබාගැනීමට නොහැකි වීම. එසේත් නොමැති නම් ලිංගික කාර්යයේ යෙදෙන අතර ප්‍රාණවත් වූ ශීෂ්ණයේ එම ප්‍රාණවත් ගතිය නැතිවීම, ලිංගික බෙලහීනතාවයක් ලෙස හඳුන්වනු ලැබේ. මෙම බෙලහීනතාව අඹු සැමියන් අතර බොහෝවිට රහසක්ව පවතී. අඹුසැමියන් අතර ගැටලු ඇතිවී සමහර විට පවුල් අවුල්වීම, දික්කසාදවලින් කෙලවර වීම වැනි තත්ත්වයන්ගෙන් මෙය අවසන් විය හැකියි. මෙවැනි ගැටලු විසඳාගැනීමට ඇති ප්‍රධාන බාධාව නම් මෙම ප්‍රශ්නයට මුහුණ දුන් අඹුසැමියන් සමහර වෛද්‍යවරුන්ට යොමුවූ විට බොහෝ අවස්ථාවල “ව්‍යාඝ්‍රා” (රසායනික නම සිඩනෆිල් - Sidenafil) නැමති ඖෂධය ලබාදී ඉන් පමණක් මෙම තත්ත්වය සුවකිරීමට උත්සාහ ගැනීමයි.

මෙය හොඳ සාර්ථක ක්‍රමයක් නොවේ. මන්දයත් ලිංගික බෙලහීනතාවයට මානසික හා ශාරීරික යන කරුණු දෙකම බලපාන බැවිනි. ඕනෑම වෛද්‍යවරයකුට පහසුවෙන් ඖෂධයක් නියම කළ හැකිය. නමුත් සාර්ථක ප්‍රතිකාරයකට ලිංගික බෙලහීනතාවයට හේතුවන කරුණු නිසි ලෙස සොයාගත යුතු අතර මෙහිදී මනෝචිකිත්සක ලිංගික ප්‍රතිකාර ක්‍රමද (Sex Therapy) භාවිතා කළ යුතුය. ලිංගික බෙලහීනතාවය අවු. 35ට අඩු පිරිමින්ගේ 10% ප්‍රමාණයකට ද අවු. 60ට වැඩි පුද්ගලයන්ගෙන් 50%කට වැනි ප්‍රමාණයකට ද ඇතිවිය හැකි බව සමීක්ෂණවලින් පෙන්වා දී ඇත.

ලිංගික බෙලහීනතාවය ඇතිවීමට බලපාන කරුණු රාශියක් පිළිබඳ අපි එකින් එක විමසා බලමු. මෙම තත්ත්වය ඇතිවිය හැකි බොහෝ හේතූන් ඔබගේ හැසිරීම් සහ චර්යාවන් වෙනස් කරගැනීමෙන් අවම කර ගතහැකි හෝ සනීප කරගත හැකි බව බොහෝදෙනා නොදන්නා රහසකි. 

පහත සඳහන් හේතූන් ලිංගික බෙලහීනතාවය ඇතිවීමට ප්‍රධාන හේතු ලෙස සොයාගෙන ඇත. මානසික අවපීඩනය, මුත්‍රාශයේ ඇතිවන ආසාදන, අධික රුධිර පීඩනය, කොලස්ටරෝල් වැඩිවීම, දියවැඩියාව, දුම්පානය, තරබාරු බව, ශරීරයට නිසි ව්‍යායාමයක් නොමැතිවීම සහ මනසේ ඇති නොයෙකුත් වැරදි විශ්වාසයන් සහ භීතීන්ද මෙයට බලපාහැකිය.

ඔබ තුළ ලිංගික ආශාව වර්ධනය වීමට බලපාන ප්‍රධාන ඉන්ද්‍රීය ඔබගේ මොළය වේ. ආශාව, තෘප්තිය දැනෙන්නේ ඔබේ මොළයටය. නීරෝගී සහ සන්සුන් මනසකට ලිංගික ආශාව විඳීමේ හැකියාව බොහෝ සේ වැඩිය. පිරිමියකුගේ ලිංගික ප්‍රාණවත් වීමට ශීෂ්ණයේ ඇති රුධිර වාහිණීවලට හොඳ රුධිර සැපයුමක් තිබිය යුතුය. ශීෂ්ණයේ ඇති රුධිර නාල හොඳින් විස්තාරණය වීම නිසි ලෙස සිදුවන්නේ මොළය තුළින් එන පණිවිඩය අනුවය. නමුත් මොළය තුළින් කොතරම් හොඳ පණිවිඩයක් ලැබුණත් ශීෂ්ණයේ ඇති රුධිර වාහිනීවල කොලස්ටරෝල් තැම්පත් වී යම් සිරවීමක් සිදුවී ඇත්නම් ප්‍රාණවත් වීමට අපහසුය. ඕස්ට්‍රේලියාවේ විශේෂඥයන් විසින් කරන ලද එක් සමීක්ෂණයකදී පෙන්වා තිබෙන අයුරු අවු. 40ට අඩු යම් හෘදයා බාධයකින් පෙලුණු අයගෙන් බොහෝදෙනා ලිංගික බෙලහීනතාවයට ගොදුරු වන බවයි. අපි මෙහෙම බලමු ඔබට ශීෂ්ණය ප්‍රාණවත් වීමේ ගැටලුවක් ඇත්නම් ඔබගේ වයස අවු.40ට අඩු නම් යම් හෘදයාබාධයකට ඔබ ගොදුරැ වී ඒ ගැන තවමත් නොදැනුවත්වී සිටීමට ඇති හැකියාව අතිශයින්ම වැඩි බව මතක තබාගත යුතුය.

ළමා කාලයේදී ඔබ යම්කිසි ලිංගික හෝ මානසික හා ශාරීරික අපයෝජනයන්ට ගොදුරු වී ඇත්නම් වැඩිහිටියකු ලෙස යම් දිනක සාර්ථක ලිංගික ජීවිතයක් ගතකිරීමට ඇති බාධාවන් බොහෝය. අපි නිදසුනක් ගෙන මෙය බලමු නිමල්ගේ වයස අවු. 30යි. විවාහ වී දැනට අවු. 2යි. තවමත් දරුවන් නැත. නිමල්ට තිබූ ගැටලුව නම් තම භාර්යාව සමඟ එකතු වීමේදී විනාඩි දෙකක් වැනි කාලයක් තුළදී ශීෂ්ණය ප්‍රාණවත් වීම නැතිවීමයි. නිමල් තවදුරටත් ඔහුගේ ප්‍රශ්නය මෙසේ විස්තර කළේය.

“මට තවම මතකයි මගේ පුංචි කාලය. මගේ අම්මයි, තාත්තයි දෙන්නම උදේ වැඩට ගියා. බොහෝ විට මම ගෙදර මගේ මාමා සමඟ තනිවුණා. මාමා මාව ක්‍රමයෙන් ලිංගික අපයෝජනයට යොදාගත්තා. අකමැත්තෙන් වුණත් මට ඔහුට කැමති වෙන්න සිද්ධ වුණා. දැන් මට තිබෙන ලොකුම ගැටලුව මගේ භාර්යාව කෙරෙහි ලොකු ලිංගික උද්දීපනයක් හෝ ආශාවක් ඇතිකර ගැනීමට ඇති අපහසුවයි. පිරිමින් කෙරෙහි සැඟවුණු ආශාවන් මට තිබෙනවා. වෙලාවකට මම ගැනම මට දුක හිතෙනවා. මේ විනාශය මට සිදුවුණේ මගේ මාමා නිසා කියලා.”

ලංකාවේ දරුවන්ගෙන් 14%ක් පමණ නොයෙකුත් ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු වන බව සමීක්ෂණවලින් පෙනීගොස් තිබෙනවා. මින් 10%ක්ම මෙම තත්ත්වයට ගොදුරු වන්නේ ළඟම සිටින ඥාතීන්ගෙන් බව පෙනීගොස් තිබෙනවා.

ලිංගික කාර්යයේදී එය නිසි ලෙස කරගැනීමට නොහැකිවේයැයි යන භිය බොහෝ දෙනාට ඇති වන තවත් භීතියකි. මෙයට ගොදුරු වන බොහෝ තරුණයන්ට ඇති ප්‍රධානම ගැටලුව නම් ලිංගිකත්වය පිළිබඳ තියන ආකල්ප හා අත්දැකීම්ය. මොවුන්ට වෙනත් ලිංගික ගැටලුවක් නැත. එනම් නින්දෙන් ශීෂ්ණය හොඳට ප්‍රාණවත් වීම, උදෑසන අවදි වනවිට හොඳින් ප්‍රාණවත් වූ ශීෂ්ණය, ස්වයං වින්දනයේ යෙදීමට ඇති හැකියාව වැනි මේවාගේ ගැටලු නැත. අපි නිදසුනක් ගෙන බලමු. උපුල්ගේ වයස අවු. 25යි. විවාහ වී වසරයි. මීට පෙර ලිංගිකත්වය පිළිබඳ බොහෝ කරුණු අසා තිබුණද ඔහුට ලිංගික අත්දැකීම් තිබුණේ නැත. පළමු එක්වීමේදී ඔහුට සිතුණේ තමන්ට මෙම කාර්යය නිසි ලෙස කර ගැනීම අපහසු වුවහොත් විවාහය අසාර්ථක වේයැයි යන බියයි. උපුල් ඔහුගේ ගැටලුව මෙසේ පැවසුවා.

“අපි විවාහ වුණේ යෝජනාවකින්. මට ලොකු බරක් තිබුණා ඇයව නිසි ලෙස සතුටු කරන්න බැරිවුණොත් මම දුර්වල පුද්ගලයෙක් ලෙස ඇය මම හඳුනාගනීවී කියලා. ඉතින් පළමු රෑ අපි දෙන්නා එකතු වුණා. විනාඩි දෙකක්වත් ගියේ නෑ මගේ ශීෂ්ණයේ ප්‍රාණවත් බව නැති වුණා. මට ලොකු බයක් ඇතිවුණා. මෙම අවු. දෙකට මේ භීතියෙන් පෙළෙන නිසා තවමත් බබෙක් හදාගන්නත් බැරි වුණා. ඇයටත් දැන් මාව එපා වෙලා. මගේ බිරිඳට දැන් හරියට තරහා යනවා. ඇයට හරියට නින්ද යන්නෙත් නෑ. වෛද්‍යවරු කියනවා ඇය දැන් විශාදිය හෙවත් මානසික අවපීඩනයට ගොදුරු වෙලාලු. අපේ කේන්දරේ බලන්න අපි දෙන්නම ගියා. නත්ෂත්‍රකරු කීවා අපි දෙන්නම දැන් ඉන්නේ ඒරාෂ්ඨක කාලේ කියලා. ඔහුට අනුව මේ අපලේ ගෙවෙන්න තව අවු. 5ක් යනවා කීවා. නමුත් මනෝවිද්‍යාවට අනුව මේ ප්‍රශ්නය සිතේ ඇතිවන කනස්සල්ල සහ භීතිය සමඟ මනසේ ඇතිවන ආතතිය ද සමඟ ගොඩනැගෙන ලිංගික අප්‍රාණිකත්වය ලෙස හඳුනාගෙන තිබෙනවා. (Performance Anxiety) ලිංගික බෙලහීනතාවයට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ තම සහකාරිය පිළිබඳ නිසි ආකර්ෂණයක් නොමැති වීමය. මෙහිදී ඇය කෙරෙහි තිබෙන ආදරය පමණක් ප්‍රමාණවත් නොවේ. ලිංගික සන්නිවේදනය, පිරිසිදුකම, අකාරුණික ගතිගුණ, ලිංගික ක්‍රියාව පිළිබඳ අවබෝධය එහිදී ලැජ්ජාව සහ බිය අඩුවීම ආදිය ද වැදගත් කරුණුය. මෙය ද නිදසුනක් ගෙන බලමු.

සුපුන්ගේ වයස අවු. 25යි ඔහු තාරිකා සමඟ විවාහ වූයේ අවු. 5ක ආදරයකින් පසුවයි. නමුත් මෙසේ යාලු වී සිටින කාලය තුළ ඔවුන් දෙදෙනා ආදර සම්බන්ධතාවයෙන් බැඳී තිබුණත් ලිංගික එකතුවීමක් නොතිබුණි. සුපුන්ට විවාහ වී මාස දෙකක්වත් යාමට පෙර ලිංගික කාර්යයේදී ශීෂ්ණය අප්‍රාණික විය. සුපුන් මේ ගැන මෙසේ පැවසුවා.

“මට තාරිකා ගැන හරිම දුකයි. ඇය හරිම ලැජ්ජයි. ඇය ඇඳුම් ගලවන්නෙත් ලයිට් නිවලා. ඇය ලිංගිකව එකතු වෙන්න කැමති බොහෝ විට කාමරේ ලයිට් එක නිවලා. ඉතින් මම කොහොමද ඇය ගැන ලිංගික හැඟීමක් ඇතිකර ගන්නේ. ඇය පුදුම ලැජ්ජාකාරියෙක්. උත්සවයකට, පාටියකට ගියත් කොන්වෙලා ඉන්න බලන්නේ. මනෝවෛද්‍යවරු කීවේ ඇය සමාජභීතිකාවෙන් පෙලෙනවා කියලා. මට දැන් ඇය කෙරෙහි ලොකු ලිංගික ආකර්ෂණයක් හෝ ආශාවක් නෑ.

තාරිකාගේ සමාජ භීතිකාව සාර්ථක ලිංගිකත්වයට බාධාවක් ඇති බව මෙහිදී පෙනෙනවා. සාර්ථක ලිංගිකත්වයක් යනු අපගේ ඉන්ද්‍රීය පහම පිනවීමකි. තාර්කාගේ මේ අසාමාන්‍ය ලැජ්ජාව සුපුන්ට නිසි ලෙස ලිංගික ප්‍රාණවත් වීමට බාධාවක් වී ඇත.

පිරිමින්ට ඇති වන ලිංගික අප්‍රාණිකත්වය පිළිබඳ බොහෝ කරුණු ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න.

► කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය
නයනානන්ද කුමාරනායක