2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

වැඩි නින්ද මාරකයක්!

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 391

අවුරුදු පහක් වැනි ඉතා කෙටි කාලයකින් කෙනෙක් මරණය කරා ළඟා කරවිය හැකි භායානක සාධක හයක් ගැන වෛද්‍යවිද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ. මෙතෙක් කල් ඉක්මන් මරණයට හේතුවක් ලෙස ඉදිරිපත් කර තිබූ දුම්බීම, මත්පැන් පානය, ක්‍රියාශීලි නොවන ජීවන රටාව, දුර්වල ආහාර රටාව බඳු සාධක අතරට ඔවූහු අලුතෙන්ම වඩාත් තීරණාත්මක සාධක දෙකක් එක්කරති. අඩුවෙන් මෙන්ම වැඩියෙන් නිදා ගැනීමත්, එකම තැන පැය හතකට වැඩි කාලයක් ඉඳගෙන සිටිමත්ය. 

සිඩ්නි සරසවියේ ආචාර්ය මෙලොඩි ඩින්ග් ඇතුළු පිරිසක් විසින් මෙම පර්යේෂණය මෙහෙයවා තිබේ. එය වසර 6ක් වැනි දීර්ඝ කාලයක් පුරා මිනිසුන් 250000කටත් වැඩියෙන් පරික්ෂාවකට ලක්කරමින් කරන ලද මහා පරිමාණ  පර්යේෂණයක ප්‍රතිඵලයකි. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රධාන සාධක 6කට කෙලින්ම ගොදුරු වීමෙන් කෙනෙකුට වසර 5ක් වැනි සුළුකාලයක් තුළදී වළපල්ලට යා හැකි බවය.

සිඩ්නි සරසවියේ වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දෙන මෙම සාධක 6 වන්නේ මධ්‍යසාර භාවිතය, දුම්පානය, දුර්වල ආහාර රටාව, අක්‍රිය ජීවිත රටාව, දවසේ පැය 7කට වැඩි කාලයක් එකතැන ඉඳගෙන සිටීම වගේම පැය 9කට වඩා වැඩි කාලයක් නිදාගැනීම යන සාධකයන්ය.

මේ කියන නරක සාධක 6ටම ගොදුරු වූ කෙනෙක් එම සාධක වලින් වැළැකී සිටින කෙනෙකුට වඩා ඉක්මණින් මරණයට පත්වීමේ අවධානම පස්ගුණයකින් වැඩි බවත් මේ පරික්ෂණය මගින් පෙන්වාදී තිබේ.
ඕනෑවට වැඩි නින්ද මෙන්ම අවශ්‍ය පමණට නැති නින්ද යන සාධක දෙක වෙන වෙනම අවදානම් සාධක ලෙස බලපානා බවද එය කියයි.

මේ අතර පසුගිය මාසයේ ඇමෙරිකාවේ මිචිගන් හි පිහිටි ජාතික පිළිකා ආයතනයද අලුත් හෙළිදරව්වක් සිදුකරන ලදී. එයින් පෙන්වා දී තිබුණේ දිනකට පැය 3 ½කට වැඩියෙන් රෑපවාහිනිය නරඹමින් සිටින උදවිය හට හෘද රෝග පිළිකා රෝග පමණක් නොව, දෙවැනි මට්ටමේ දියවැඩියාව, ඉන්ෆ්ලුවෙන්සාව, නියුමෝනියාව මෙන්ම අක්මාවේ රෝග සහ පාකින්සන් රෝගය ද වැළදිමේ අවදානම ඉහළ බවකි.

දිනකට පැය 3ත් 4ත් අතර කාලයක් රූපවාහිනිය හෝ පරිගණකය ඉදිරියේ ඉඳගෙන ගත කරන අය එයට වඩා අඩු කාලයක් ගතකරන අයට වඩා ඉකමන් මරණයකට ගොදුරුවීමේ අවදානමකට 15 කින් පමණ ඉහළ බවයි එම
පර්යේෂණ තහවුරු කරනුයේ.

මේ පර්යේෂණවල එළිදරව් කිරීම්වල අනුව වැඩි නින්ද වගේම අඩු නින්දත් ක්‍රියාශීලි නොවන අක්‍රිය ජීවිතයක් එකතැනකට ගාල් වී කරන ඒකාකාරී කටයුතුත් යන සියල්ල එක්වූ විට ලැබෙන ප්‍රතිඵලයවන අලස බව ඉක්මන් මරණයට හේතුවක් බව තහවුරු වී තිබේ.

 සුගත් පී. කුලතුංගආරච්චි