2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ඇයි මේ අබල දුබල

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 323

පිරිමින් බොහෝදුරට කතාකරන්ට ලජ්ජා වන ලිංගික ගැටලුවක් ගැන අපි ගිය සතියේ කතාව ඇරැඹුවා. ඒ අප්‍රාණිකත්වය ගැනයි. පිරිමින් අතර මහා සෞඛ්‍ය ගැටලුවක් ලෙස සැලැකෙන අප්‍රාණිකත්වය හෙවත් නෂ්ඨකාමය නැතිනම් අබල දුබලකම නමැති මේ තත්ත්වය ඇතිවන්නේ කෙසේද? මේ සඳහා ප්‍රධාන හේතු 5ක් දැක්විය හැකි බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පෙන්වා දෙයි. අප්‍රාණිකත්වයට බලපාන මේ හේතු මොනවාද?

රුධිර නාලගත රෝග
පුරුෂ ලිංගය ප්‍රාණවත් වන්නට ඒ තුළ පිහිටා ඇති කෝටරක තුළට හොඳින් රුධිරය ගලාවිත් පිරී යා යුතුය. හරියටම වියලි ස්පොන්ජ් කැබැල්ලක් ජලයට දැමූවිට එය ජලය උරාගන ඉදිමෙන්නාක් මෙනි. ඉතින්, රුධිර නාලගත යම් රෝගයක් ඇත්නම් මේ තත්ත්වය නිසි පරිදි සිදුවන්නේ නැත. ඇතරෝස්ක්ලෙරෝසියා ලෙස හඳුන්වන කොලෙස්ටරෝල් අධික වී ඒවා රුධිරනාල තුළ තැන්පත්වීම හේතුවෙන් නාල සිහින්වීමත්, දියවැඩියාව සහ අධිරැධිර පීඩනයත් මේ සඳහා බලපාන රෝගාබාධයන්ය. මතක තබාගන්න ඔබට රුධිර නාලගත හෝ හෘදය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානමක් ඇතිබව කලින්ම අනතුරැ අඟවන හොඳම සාධකය මේ කියන අප්‍රාණිකත්වයයි. මේ සඳහා කළ යුත්තේ සුදුසුකම් ඇති වෛද්‍යවරයකු හමුවීමයි. දැන් බලමු අනෙක් කාරණා.

අයහපත් චර්යාවන්
දුම්පානය, මෙතනදී මුල් තැනට ගත හැකි එපාම කරපු චර්යාවයි. මේ නිසා අධි රුධිර පීඩනය ඇති වීම මෙන්ම රුධිරගත කොලෙස්ටරෝල් ඉහළ යාමද සිදුවෙයි. අනෙක් කාරණය හැටියට මත්පැන් සහ මත්ද්‍රව්‍ය, මත්කුඩු භාවිතය දැක්විය හැකියි. මේ නිසා රුධිර නාලගත රෝගී තත්ත්වයන් පමණක් නොවේ ස්නායු දුර්වල කෙරෙන රෝගී තත්ත්වයන්ද හටගනී. එහි කෙළවර අබල දුබලකමයි.

ස්නායුගත රෝග
දියවැඩියාවත්, මල්ටිපල්ස්කේලෙරෝසිස් ලෙස හඳුන්වන ස්නායු රෝගී තත්ත්වයත්, කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු රජ්ජුව හෝ උකුල පෙදෙසට රුධිරය සැපැයීම පාලනය කරන ස්නායු විනාශවීම නිසාද අබල දුබලකම හටගනියි.

ශල්‍යකර්ම සහ වෙනත් ප්‍රතිකර්ම
පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආබාධත්, උකුල ආශ්‍රිතව ඇතිවන පිළිකා වැනි රෝග සඳහා කරන විකිරණ ප්‍රතිකාරත් හේතුවෙන්ද මෙය ඇතිවෙයි.

සමහර ඖෂධ
මානසික අවපීඩනය, හෘද රෝග, ආමාශගත ගැස්ට්‍රික් අල්සර් වැනිරෝග සඳහා මෙන්ම පිළිකාව සහ අධි රුධිර පීඩනය වැනි රෝග සඳහා භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ග භාවිතයේදී සමහරැන්ට ලිංගික අප්‍රාණිකත්වය හටගත හැකියි. මේ නිසාම තමන් ගන්නා ඖෂධ වර්ග පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉතාමත් වැදගත් බව මතක තබා ගත යුතුයි.

දියවැඩියාව
දියවැඩියාව ඇතිවිට ඒ සමග අත්වැල් බැඳගන එන තත්ත්වයක් තමා අබල දුබලකම. දියවැඩියා රෝගීන් අතරින් සියයට පණහක් පමණ මේ තත්ත්වයට මුහුණ දෙන බව තහවුරු වී තිබෙනවා. මේ නිසා දියවැඩියාවත් ඉහත කී ප්‍රධාන හේතු 5ට අමතරව සුවිශේෂී ලෙස සැලකීම ඉතා වැදගත්. අපි ඊළඟට මේ අප්‍රාණිකත්වය සඳහා බහුල වශයෙන්ම බලපාන ප්‍රධානම හේතුව ගැන කතා කරමු.

උපදෙස්: විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
 සුගත්